ලෝකය කම්කරු දිනය සැමරූ හැටි

 ඡායාරූපය:

ලෝකය කම්කරු දිනය සැමරූ හැටි

මැයි මස පළමුදිනට යෙදී තිබෙන්නේ 'ලෝක' කම්කරු දිනය වන නමුත්, එම දිනය සැමරෙන ආකාරය රටින් රටට සංස්කෘතික, ආර්ථික සහ දේශපාලනික වෙනසකම් අනුව හැඩ ගැසෙයි.  කම්කරු දිනය සැමරීම වෙනුවෙන් ලොව පුරා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානකර තිබුණි. රටවල් රැසක් එකිනෙකට වෙනස් ආකාරයෙන් මෙම දිනය සැමරීමට කටයුතු කර තිබිණ.
ඉන්දියාව
කම්කරු දිනය වෙනුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කම්කරු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ඉන්දියාවේ උතුරු කන්පූර් නගරයේ සමූහ විවාහ මංගල උත්සවයක් පැවති අතර එහිදී යුවල 400 කට වැඩි පිරිසක් විවාහ ගැණින.  
කියුබාව
මෙවර ජාත්‍යන්තර කම්කරු දින සැමරුම්වලදී වැඩි අවධානයක් කියුබාව දෙසටද යොමු වීමට හේතු වූයේ එරට ජනාධිපතිධුරය කැස්ත්‍රෝ පවුලෙන් පිටතට ලැබී දින කිහිපයකින් මෙම සැමරුම සිදු වීම හේතුවෙනි.
මෙහිදී හිටපු ජනාධිපති රාහුල් කැස්ත්‍රෝ සහ වර්තමාන ජනාධිපති මිගුවෙල් ඩයස් කැනල් එක්ව මැයි දිනැ රැළියට නායකත්වය දෙනු දක්නට ලැබිණ. 
හවානා අගනුවරට එකතු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කියුබානු ධජය ලෙළවමින් විමුක්ති ගී ගයමින් මැයි දින පෙළපාලියට සහභාගි වනු දක්නට ලැබිණ. 'අපගේ සමාජවාදය වෙනුවෙන් එක්සත්ව' යනුවෙන් සඳහන් කළ බැනර ඔවුන්ගේ අත්වල රැඳි පැවතිණ.
තුර්කිය
තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර ප්‍රකට චතුරස්‍රයට ඇතුළු වීමට උත්සහ කළ මැයි දින පෙළපාලිකරුවන් රැසක් අත් අඩංගුවට ගැනීමට එරට පොලිසිය කටයුතු කර ඇත. 
කාම්බෝජය
කාම්බෝජයේ අගනුවර ඇඟලුම් සේවකයන් දෙදහසක පමණ පිරිසක් එරට ජාතික මන්ත්‍රණ සභාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එරට කැරළි මර්ධන පොලිසිය මඟින් ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත. ස්ථිරසාර කම්කරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමේ ඔවුන්ගේ අරමුණ වී තිබිණ.
ෆිලිපීනය
ෆිලිපීනයේ මැනිලා අගනුවර ජනාධිපති මන්දිරය අසලට එක් රැස් වූ පන් දහසකට අධික පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ. කොන්ත්‍රාත් පදනම යටතේ රැකියා ලබා දීම හේතුවෙන් සේවකයන්ට රැකියාවේ අස්ථාවර භාවය නිසා ඇති වන අපහසුතා වැලැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට බලපෑම් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබිණ. 
ප්‍රංශය
මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයේදී වැඩිම අවධානය දිනාගත් කම්කරු දින සැමරීම් සහිත රට බවට පත්වූයේ ප්‍රංශයයි. ඊට හේතුව පසුගිය සති කීපය පුරා එරට පවතින වැඩ වර්ජන රැල්ලයි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් යෝජනා කරන ලද කම්කරු ප්‍රතිසංස්කරණවලට එරෙහිව එරට විරෝධතා පැවතීම නිසා මෙවර පැරිසියේ කම්කරු දින සැමරුමට වැඩ කරන ජනතාව අති විශාල පිරිසක් සහභාගී වී තිබිණ. 
55 000කට අධික ජනාතවක් සහභාගි වූ රැළිය ඉතා සාමකාමීව පැවතුණද වෙස්මුහුණු පැළඳි විරෝධතාකරුවන් සහ රාජ්‍ය විරෝධීන් යැයි සැලකෙන පිරිසක් අවට ඇති කඩ සාප්පුවලට පහර දෙමින් සාමකාමී විරෝධතාව කඩාකප්පල් කිරීමට කටයුතු කළහ. පිරිසක් මැක්ඩොනල්ඩ්ස් අවන්හලකට ගිනි තැබීමට කටයුතු කර තිබිණ. මේ අතර මෝටර් රථ ගණනාවක් ගිනි තබා විනාශ කර තිබිණ. මේ තත්වය මත විරෝධතා සහ මැයි දින රැළියේ අරමුණු කඩාකප්පල් විය. දෙසියයකට අධික පිරිසක් අත් අඩංගුවට පත් වූහ.  
ස්පාඤ්ඤය 
ස්පාඤ්ඤයේ නගර 70ක කම්කරු දින රැළි පැවති අතර ඉන් විශාලතම රැළිය මැඩ් රිඩ් අගනුවරදී පැවැත්විණ. එහි සටන් පාඨක බවට පත්වූයේ 'ජයග්‍රහණයට කාලයයි' යන්නයි. තිරසාර ජීවන සහ රැකියා තත්ත්වයක්, සාධාරණ වැටුපක්, සමාජ ආරක්ෂණය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඔවුන්ගේ අරමුණු බවට පත්විය. 
රුසියාව
රුසියාව, ජාත්‍යන්තර කම්කරු දින සැමරුමේදී වඩාත් උත්සවශ්‍රීයක් ගන්නා රටකි. අඟහරුවාදා මොස්කව් නුවරට එක්වූ එක් ලක්ෂ විසි දහසකට අධික ජනතාවක් කම්කරු දින සැමරුමේ නිරත වූයේ රජයට සහය දක්වමිනි. එසේම විරුද්ධ පක්ෂයේ දහස් ගණනක්ද අදහස් පළ කිරීමේ නිදහස කප්පාදුව සහ රටේ බිඳවැටීමට එරෙහි සටන් පාඨ කියමින් කම්කරු දින පෙළපාලි වල නිරතවූහ. 
ජර්මනිය 
ජර්මනියේ බර්ලින් නුවර බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුව අසළට රැස් වූ දහස් සංඛ්‍යාත වැඩ කරන ජනතාව ජාත්‍යන්තර කම්කරු දින සැමරුම්වල නිරත වූහ. බර්ලින් නගරය පුරා පොලිස් ආරක්ෂාව දැඩිකර තිබිණු අතර ඒ සඳහා පොලිස් නිළධාරීන් 1700ක ප්‍රමාණයක් අනුයුක්ත කර තිබිණ. මීට අමතරව හැම්බර්ග් සහ කොබ්ලෙන්ස් වැනි නගරවලත් මැයි දින රැළි සංවිධානය කර තිබිණ. 
ඇමෙරිකාව
පසුගිය වසරට වඩා මේ වසරේදී ඇමෙරිකාවේ වැඩි නගර ගණනක මැයි දින සැමරුම් දක්නට ලැබිණ. මීට හේතුව ලෙස විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුනේ ජනාධිපති ට්‍රම්ප් විසින් පැනවූ සංචාරක තහනම් හේතුවෙන් අඩු වැටුප් ලබන සේවකයන්ට සිදු වූ අසාධාරණයන්ය. විශේෂයෙන් ලොස් ඇන්ජලීස් නුවර සාපේක්ෂව වැඩි ජනතා සහභාගීත්වයක් දක්නට ලැබිණ.
නිව්යෝක් නුවරදී වෝල් ස්ට්‍රීට් දක්වා ගමන්ගත් රැළි කිහිපයක් දක්නට ලැබුන අතර සියැටල් පොලිසිය රැළියකදී ගල් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබිණ. 

මාතෘකා