ජනතා ප්‍රශ්නවලට සාවධාන පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය

 ඡායාරූපය:

ජනතා ප්‍රශ්නවලට සාවධාන පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය

ලොව බොහෝ රටවල විශේෂයෙන් ම ඌණ සංවර්ධිත රටවල අපරාධ මර්දනය සඳහාත් පොදු ජනතාවට වඩා යහපත් ජීවන තත්ත්වයක් ලබා දීම සඳහාත් බාධා කරන සාධක කිහිපයක් ඇති බැව් හඳුනා ගත හැකිය. නීති පද්ධතියේ පවත්නා දුබලතා, නීතිය හා සාමය රකින ආයතනවල වංචා සහ දූෂණ සහ අධිකරණ ක්‍ෂෙත්‍රයේ උදාසීනත්වය, මෙන්ම තමන් නැගී සිටින අතරේ දෙපයින් වැටී සිටින ජනතාව ගැන අවබෝධය මඳකම ඒ අතර ඉදිරියෙන් සිටිනු දැකිය හැකිය. අධිකරණය දූෂිත බවට ඇතැම් විට චෝදනා නැඟේ. එවැනි අවස්ථාවල අදාළ බලධාරීන් කරන්නේ තමන් කිසිදා සිහිනෙන් හෝ වරදක් නොකළ සර්ව පාරිශුද්ධ අය සේ එබඳු චෝදනා එල්ල කළවුන් ලුහුබැඳ ඔවුන් දඬු කඳේ ගසන්නට සාධක සෙවීමය.   

සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නට උත්සාහ කිරීමේදී සහ එසේ ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා එල්ල වන අවස්ථා ද දැන් සුලබය. සිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දූෂණ සොයන එෆ්බීඅයි නිලධාරීන්ට එරෙහිව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් ක්‍රියාමාර්ග ඊට හොඳ නිදසුන් සපයයි.   

පසුගිය පෙබරවාරි මුල් සතියේ මාල දිවයිනේ අධිකරණය සහ විධායකය අතර බරපතළ ගැටුමක් උද්ගත විය. එරට අග විනිසුරු ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් විසින් විධායකයට අරුචිකර තීන්දුවක් දුන් අතර ජනාධිපතිගේ නියෝගයෙන් පොලිසිය විසින් අගවිනිසුරු අත්අඩංගුවට ගන්නා ලදි. එවිට අනෙක් විනිසුරන් කළේ, මුල් තීන්දුව වෙනස් කර ජනාධිපතිවරයාට හිතකර තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමය.   

අපේ රටේද ඇතැම් නීති කෘත්‍යයන් පවත්වා ගෙන ගියේ විධායකයට අවශ්‍ය පරිදි බවට චෝදනා නැගිණි. තවමත් ජනතාව එම චෝදනාවලින් විධායකය නිදහස් කොට නැත.   

එහෙත් ඇතැම් රටවල විනිසුරන් පාලනය ඉදිරියේ එපරිද්දෙන් දණ නමන්නට තරම් නිවට නැත. ඊට හොඳ උදාහරණ පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය සපයයි.   

පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 13දා එරට අග්‍රාමාත්‍ය වරයාව සිටි නවාස් ශරිෆ්ට ජීවිතාන්තය දක්වා ප්‍රජා අයිතිය අහෝසි කෙරෙන දණ්ඩනයක් පැනැවීය. ඒ ඔහු එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62(1)(f) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද’යි තීරණය කරමිනි. පසුගිය වසරේ ජුලි 28දා එම අධිකරණයම ඔහුගේ ප්‍රජා අයිතිය එතැන් සිට වසර දහයකට අත්හිටුවා තිබිණී. සදහටම ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා ඉහත සඳහන් 62(1)(f) ව්‍යවස්ථාව උපයෝගී කැර ගැනීම අපූර්ව කාරණාවකි.   

මෙහි ඇති විශේෂය නම් වත්මන් පාකිස්තාන අගවිනිසුරු මියාන් සඛිබ් නසර් එම තනතුරට නිර්දේශ කරන ලද්දේ නවාස් ශරිෆ් විසින් වීමයි. ඔහුගේ පූර්වගාමියා වූ අසිෆ් අලි-සර්ධාරි, නසර් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකට පත් කිරීම නිර්දේශ කිරීමෙන් වැළැකී සිටියේය.   

පාකිස්තාන ශ්‍රෙෂ්ඨාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම විශාල බලයක් ලැබී තිබේ. එහෙත් ප්‍රශ්නය ඇත්තේ ඒවා ක්‍රියාත්මක කරන්නට තරම් ඍජු කොන්දක් සහිත විනිසුරන් නොමැති වීමය’යි විචාරකයෝ පෙන්වා දෙති. අගවිනිසුරු නසර් ගේ ඍජු තීරණ ඇතැම් දේශපාලනඥයන්ට හලාහල වුවත් පොදු ජනතාව ඒවා ගැන ආනන්දයට පත් වැ සිටින බව ප්‍රකටය.   

පාකිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 184(3) ව්‍යවස්ථාව මෙසේය: ‘මෙහි මින් මතු මෙම ව්‍යවස්ථාවේ 199 ව්‍යවස්ථාවේ කවරක් සඳහන් වෙතුදු ශ්‍රේෂ්ඨාධිකරණය, I පරිච්ඡේදයේ II කොටසේ සඳහන් මූලික අයිතිවාසිකම් යටතේ ප්‍රතිපාදන සලස්වා ඇති පරිදි පොදු වැදගත් කමකින් යුතු ප්‍රශ්න අදාළෙය’යි තීරණය කරන්නේ නම් එම ව්‍යවස්ථාවේ සඳහන්, දැක්වෙන ස්වභාවය අනුව නියෝග කරන්නට තමන් වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කළ යුත්තේය. (shall)   

ඒ අනුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය පොදු වැදගත් කමක් ඇති කාරණාවලෙදී මැදිහත් වී නිසි නියෝග නිකුත් කරයි. මෙය හැඳින්වෙනුයේ ‘සුඔ මොටු’ යන නමිනි. තමන් තනිව ඉදිරිපත් වී ක්‍රියාත්මක වීම යන අරුත් ඇති මෙය ඉන්දියාවේ සහ පාකිස්තානයේ අධිකරණ පද්ධතිවල ක්‍රියාත්මක වෙයි.   

1973 සිට මේ දක්වා පවතින පාකිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 184(3) යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් සාධාරණය ඉටු කරවා ගැනීමට ජනතා සංවිධානවලට හැකියාව තිබේ. එහෙත් එම ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කෙරෙන සැම පෙත්සමක‍්ම සුඔමොටු ගණයට අයත් නොවන බව සැලකුව මනය.   

මේ ක්‍රමය යටතේ මුලින් ම ඉදිරිපත් කොට ඇති පෙත්සම ලෙස සැලකිය හැක්කේ 1994 වසරේ ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට එරෙහිව ඉදිරිපත් කැරුණු පෙත්සමකි. එහි දී අගවිනිසුරු නසිම් හසන් ෂා තීරණය කොට ඇත්තේ ඉතාම බරපතළ ගණයේ අපරාධකරුවකුට වුවත් ස්වයං අභිමානයක් ඇති බැවින් ඒ හිමිකමට ගරු කළ යුතු බවය.   

2006 වසරේ පාකිස්තාන වානේ සමාගම ජනසතු කිරීමට එරෙහිව එහි සේවකයන්ගේ වෘත්තිය සමිතියක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම කටයුත්ත වහාම අත්හිටුවා සේවකයන්ට සහන සැලසෙන පරිදි ඉටු කරන ලෙස රජයට නියම කළේය.   

එවකට අගවිනිසුරු වූයේ ඉෆ්තිකාර් මුහමද් චෞද්රිය. ඔහුද එවක රජය සමග ගැටුම් ඇති කැර ගත් විනිසුරෙකි. 2007 වසරේ නොවැම්බර් 04දා ජනාධිපති ෆර්වෙස් මුෂාරෆ් රටතුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ විට 184(3) යටතේ ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බලා හදිසි නීතිය නීත්‍යනුකූල නොවේයැ’යි තීන්දු කළේ ඔහු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. එවිට ජනාධිපතිවරයා ඔහු අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත් කොට තීන්දුව වෙනස් කරන ලෙස බල කළ නමුත් ඔහු ඊට නොනැමුණේය. අගවිනිසුරු චෞද්රිට ඊළඟ වසරේ මාර්තු මැද තෙක් නිවාස අඩස්සියේ සිටින්නට සිදු විය.   

චෞද්රි සහ අනෙක් විනිසුරන් විසින් මේ සම්බන්ධයෙන් 184 (3) යටතේ පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ ඇතත් පසුව එය ඉල්ලා අස් කැර ගෙන තිබේ.   

මේ සිද්ධියෙන් පසුව නැවත සේවයේ පිහිටුවීමෙන් අනතුරුව අගවිනිසුරු චෞද්රි ආණ්ඩුවට එරෙහි නඩු ගැන විශේෂ උනන්දුවකින් කටයුතු කළ බව සඳහන්ය. සුඔ මොටු ක්‍රමය ඔහුගේ සමයේ ව්‍යාප්ත විය. ඔහු දිනකට පැය 16 - 18ක් පමණ උසාවියේ ගත කළේය. විනිසුරන් නඩත්තු කිරීම සඳහා ජනතාවගේ බදු මුදල්වලින් විශාල වැටුප් ගෙවනු ලබන්නේ දිනකට පැය කිහිපයක් පමණක් වැඩ කරන්නට නොවන බව සහ නීතිඥයන්ගේ ඉල්ලීම්වලට අවනත වෙමින් වින්දිත පැමිණිලිකරුවන්ට නඩුව එපා වනතුරුම ඇද ඇද සිටීමට නොවන බව ඉන් ලද හැකි ආදර්ශයයි.   

ඔහුගෙන් පසුව පැමිණි අග විනිසුරන් එතරම් උද්‍යෝගයකින් කටයුතු කර ඇති බවක් සඳහන් නොවන අතර 2016 දෙසැම්බර් 31 දින සිට එම ධුරය හොබවන වත්මන් අගවිනිසුරු මියාන් සඛිබ් නසර් නැවතත් කෙවිට අත දරයි.   
පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග පවත්වා තීන්දු දෙන ලද සුඔ මොටු ගොනු දෙකක් ගැන මෑතක වාර්තා පළ වී තිබිණි. එකක් නම් කරච්චි නගරයේ පානීය ජල ප්‍රශ්නය විසඳීමට මැදිහත් වී අදාළ ආයතනවලට නියෝග නිකුත් කිරීමයි. දෙවැන්න නම් ජ්‍යෝ ටීවී ආයතනයේ සේවක වැටුප් හිඟ මුදල්ද සමග අපේ‍්‍රල් 30දාට පෙර ගෙවා නිම කරන ලෙස එම ආයතනයට දැනුම් දීමයි. ඇත්තටම නම් මේවා නියෝග නොවේ. එහෙත් ඒවා කි‍්‍රයාත්මක නොකළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟ පියවර ගැන කල්තියා කිව නොහැකිය.   

පන්ජාබයේ කසුර් නගරයේ සයිනබ් අන්සාරි නමැකි සය හැවිරිදි දැරියක් අමානුෂික ලෙස දූෂණය කොට දස වධ දී මරා දැමීමේ සිද්ධියේ නඩු විභාගය කඩිනම් කරවන්නට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් විය. ඊට හේතු වූයේ පොලිසිය එය යටපත් කරන්නට කටයුතු කරමින් සිටින බවට ගොඩ නැගෙමින් තිබූ මහජන විරෝධයයි. සිද්ධිය වූයේ 2018 ජනවාරි 08 දිනය. පෙබරවාරි 17 දින පන්ජාබ් මහාධිකරණය විසින් චූදිතයාට මරණ දඬුවම සහ අනෙකුත් දඬුවම් නියම කරන ලදි.   

නියෝගයක් මගින්, විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය ලවා කරච්චි නගරයේ පානීය ජලය පිළිබඳ වාර්තාවක් සිය රාජකාරි මැදිරියට ගෙන්වා ගත් අගවිනිසුරු එය පිරික්සා බලා නාගරික පානීය ජලයේ ආසනික් ඇතුළු විවිධ විශ රසායනික මෙන් ම විශබීජ යනාදියද ඇති බව තත් වූ පරිද්දෙන් වටහා ගෙන ඒ තත්ත්වය නැති කරන්නට වහා පියවර ගන්නා ලෙස ප්‍රාන්ත ආණ්ඩුවට නියෝග කළේය. මෙය පසුගිය අවුරුදු 30 මුළුල්ලේ ම විවිධ සංවිධානවලින් ඉදිරිපත් කරන ලද එහෙත් ප්‍රාන්ත ආණ්ඩුව හෝ මධ්‍යම රජය නෑසූ කන්ව සිටි ඉල්ලීමකි.   

රටේ බන්ධනාගාරවල භාවිත වන පානීය ජලයේ ඇති අනාරක්‍ෂිත බව ගැන අගවිනිසුරු බන්ධනාගාර ප්‍රධානියාට දැනුම් දුන් බවද ඒආර්අයි රූපවාහිනියේ වෙබ් අඩවිය ජනවාරි 08දා වාර්තා කළේය.   

පාකිස්තානයේ ප්‍රමුඛ රූපවාහිනී ආයතනයක් වන ජ්‍යෝ ටීවී පසුගිය ජනවාරි සිට එහි සේවකයන්ට වැටුප් ගෙවා නොතිබිණි. සේවක වෘත්තිය සමිතිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ගැන දැනුම් දෙනු ලැබීය. ඒ ගැන විභාගයක් පැවැත්වු ශ්‍රේෂ්ඨාධිකරණය 37(c) ව්‍යවස්ථාව යටතේ සේවකයන්ට සාධාරණ වැටුප් ලැබීමේ අයිතිය ඇතැ’යි පිළිගෙන මුදල් නැත්නම් සිඟා හෝ ණයට ගෙන හෝ සේවක වැටුප් ගෙවිය යුතු බව අදාළ සමාගමට දැන්වීය. සේවකයා යනු ආයතනයක වැදගත්ම අංගය ලෙස සැලකිය යුතු බවටද වැඩිදුරටත් දන්වන ලදී.   

පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පිළිවෙත ප්‍රශංසාවට මෙන් ම විවේචනයටද බඳුන් වනු දැකිය හැකි බවද පාකිස්තානයේ පළ වන එක්ස්ප්‍රෙස් ට්‍රිබියුන් නමැති බ්ලොග් අඩවියක් පෙන්වා දෙයි. එහි සඳහන් වන පරිදි එරට යහපාලනයක් නොමැත. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී මෙබඳු තීන්දු ලබා දීම ජනතාවගේ සැනසිල්ලට හේතු වෙයි. එහෙත් එරට ප්‍රමුඛ පෙළේ පුවත් පතක් වන ඩෝන් පසුගිය පෙබරවාරි 04 දින කතුවැකියෙන් පෙන්වා දෙන්නේ නිසි නොනිසි සැම තැන සුඹ මොටු භාවිතය නුසුදුසු බවයි. මිලියන 200ක් ජනයාගේ ප්‍රශ්න එමගින් විසඳිය නොහැකි බව එය ගොඩ නගන තර්කයයි.   

ඉන් දින දෙකකට පසු අගවිනිසුරු විවෘත අධිකරණයේ දී පවසා ඇත්තේ දැනට ඉදිරිපත් වී ඇති සුඹ මොටු ගොනුවලට අදාළ තීන්දු ප්‍රකාශයට පත් කරන තෙක් අලූතින් එබඳු ගොනු විවෘත නොකෙරෙනු ඇති බවයි. ඒ එරට ප්‍රකට දේශපාලනඥයකු මෙන්ම නීතිඥයකුද වන බබාර් අවාන් විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.   

කෙසේවෙතත් ජනවාරි 31 දින වනවිට මානව හිමිකම් ගොනු 185ක් සහ සුඔ මොටු ගොනු 58ක් එහි ගොඩ ගැසී ඇති බව සඳහන්ය.

[එස්. නන්දලාල්]

මාතෘකා