තලිබාන් පිටුපස සිටින බලවේගය රුසියාවද?

 ඡායාරූපය:

තලිබාන් පිටුපස සිටින බලවේගය රුසියාවද?

රුසියාව, තලිබාන් ව්‍යාපාරයට උදව් කරන බව ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින ඇමෙරිකානු හමුදාවේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.
රුසියාව අවි ආයුධ මගින් පවා තලිබාන් කැරලිකරුවන්ට ආධාර කරන බව ජනරාල් ජෝන් නිකොල්සන් පවසයි. 'රුසියන්වරුන් ඇෆ්ගන් රජය පෙරළා දැමීමට පවා කටයුතු කළ ආකාරය තමා දැක ඇතැයි" ජනරාල්වරයා සඳහන් කර තිබේ.
තජිකිස්තාන් දේශසීමාව ඔස්සේ තලිබාන් ව්‍යාපාරයට රහසිගතව අවි සැපයෙන බව සඳහන් කළ ජනරාල් නිකොල්සන්, එය කොපමණ ප්‍රමාණයකින් සිදුව ඇද්ද යන්න කිව නොහැකි බවත් සඳහන් පවසයි. කෙසේ වෙතත් එවැනි ප්‍රකාශන තහවුරු කිරීම සඳහා සාක්ෂි නැතැයි පවසන රුසියාව එක්සත් ජනපද චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
ජනරාල් නිකොල්සන් මෙවර ඉහත කී චෝදනා ඉදිරිපත් කරන්නේ රුසියාව සහ 'නේටෝ' බලවතුන් අතර සබඳතා ගැටුම්කාරී අතට හැරෙමින් පවතින පරිසරයක් තුළය.
රුසියාවේ කේජීබී රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ඔත්තුකරුවකු වූ සෙර්ගේයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය යූල්යා ඉලක්ක කර ගනිමින් එක්සත් රාජධානියේ සැලිස්බරි නගරයේ දී එල්ල කෙරුණ මාරක 'නර්ව් ඒජන්ට්' විෂ රසායන ප්‍රහාරය පිටුපස සිටි බවට බ්‍රිතාන්‍යය රුසියාවට චෝදනා කරන අතර එය මුල්කර ගනිමින් දෙරට ආරවුලක සිර වී සිටිති.
එවැනි ආරාවුලක් පවතින අතරවාරයේ වාර්තාවක් නිකුත් කරන එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ බුද්ධි කමිටුවක්, 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ රුසියානු ප්‍රකෝපකාරීන් ඊට මැදිහත්ව ඇති බව සිය නිගමනය බව කියා සිටියි.
"ඇෆ්ගන් භූමියේ සටන් වැදී සිටින ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (ISIS) ප්‍රහාරකයන්ගේ සංඛ්‍යාව විශාල කරලා අතිශයෝක්තියෙන් සඳහන් කෙරෙන වාර්තාවක් අපි දැකල තියෙනවා" යැයි ජනරාල් නිකොල්සන්, සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.
ජනරාල් නිකොල්සන් විශ්වාස කරන ආකාරයට තලිබාන් ව්‍යාපාරය කෙරෙහි රුසියාවේ මැදිහත්වීම මෑතදී ගන්නා ලද පියවරකි. රුසියාව තජිකිස්තානයත් සමඟ ඇෆ්ගන් දේශසීමාවේ යුද අභ්‍යාස මාලාවක් ක්‍රියාවට නැංවූ බව ජනරාල්වරයා පවසයි.
"ඒවා ත්‍රස්ත විරෝධී යුද අභ්‍යාස වුනා. නමුත් රුසියාව වැඩ කරන ආකාරය අපි දැකල තියෙනවා. ඔවුන් අවි ආයුධ විශාල ප්‍රමාණයක් ගෙනාවා. ඔවුන් ආපසු යද්දී එයින් කොටසක් අරගෙන ගියේ නැහැ"
ජනරාල් නිකොල්සන්ගේ එම ප්‍රකාශය මගින් හැඟවෙන්නේ රුසියාව දමා ගිය අවි ආයුධ සහ වෙනත් උපකරණ දේශ සීමාව හරහා තලිබාන් ව්‍යාපාරයට සැපයුණ බවය.
මේ අතර, තලිබාන් ව්‍යාපාරයත් සමඟ පවතින සබඳතා කපා හරින ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාකිස්ථානයට බල කරයි.
"පාකිස්ථානය අපට බොරුකීම සහ මුළා කිරීම හැර වෙනත් කිසිවක් දීලා නැහැ. ඇෆ්ගනිස්ථානයට හානි කිරීම සඳහා පාකිස්ථානය ත්‍රස්තවාදීන්ට ක්‍ෂේමභූමියක් හදා දීල තියෙනවා" ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජනවාරි මාසයේ එවැනි ප්‍රකාශයක් ඇතුළත් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින් පාකිස්ථානයට සැපයෙන ඩොලර් කෝටි ගණනක ආරක්ෂක ආධාර අත්හිටුවීමට පියවර ගත්තේය.
ඉස්ලාමාබාද් පාලනයෙන් ඈත්ව කටයුතු කිරීමට උනන්දු වෙන තලිබාන් ව්‍යාපාරය ස්වාධීන බලවේගයක් හැටියට පෙනී සිටීමට තැත් කරන සංවිධානයකි.

මාතෘකා