ඉරාකයේ ISIS අන්තවාදීහු යළි හිස ඔසවති

 ඡායාරූපය:

ඉරාකයේ ISIS අන්තවාදීහු යළි හිස ඔසවති

ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය හෙවත් ISIS සංවිධානය තම අවසන් ප්‍රධාන බළකොටුවලින් පළවා හැරීමෙන් මාස කිහිපයකට පසු ඔවුන් ඉරාකය තුළ යළිත් හිස එසවීමේ අවදානමක් මතුව ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.  

ඉරාකයේ සහ සිරියාවේ ISIS ත්‍රස්තයින් සතුව පැවති විශාලම නගරය වූ මෝසුල් නගරය ඉරාක හමුදා සහ ඊට සහය දක්වන මිලීෂියා කණ්ඩායම් විසින් මුදවා ගන්නා ලද්දේ 2017 ජූලි මාසයේදී ය. මේ අතර ISIS සංවිධානය විසින් සිය අගනුවර ලෙස හඳුනාගත් සිරියාවේ රඛා නගරය ද එම වසරේ ඔක්තෝබරයේදී සම්පූර්ණයෙන් මුදවා ගැනීමට සිරියානු කුර්දි - අරාබි සන්ධානයක් වන සිරියානු ප්‍රජාතන්ත්‍රික බළකා (SDF) සමත් වූහ​. 2017 අවසන් වනවිට ISIS සංවිධානයේ බලය මෙම රටවල් දෙකේ ම කාන්තාර ප්‍රදේශ සමහරකට පමණක් සීමා වූයේය​.

ඉරාකයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ISIS ත්‍රස්තවාදීන් යළි හිස එසවීමේ තර්ජනය බැග්ඩෑඩ් අගනුවරට නැගෙනහිරින් පිහිටි දියාලා ප්‍රාන්තයේත්, කිර්කුක් නගරය ආසන්නයේත්, බටහිර ඉරාකයේ අන්බාර් ප්‍රාන්තයේත් ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන බව ය​.

මේ අතර සිරියාවේ ද​, ඩමස්කස් ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශ ඇතුළු ඇතැම් ප්‍රදේශයන් හි ත්‍රස්තයින් යළි හිස ඔසවා ඇත​. එමෙන් ම ඉරාක දේශසීමාව ආසන්නයේ සිරියානු කාන්තාර ප්‍රදේශයන්වල ද ISIS ත්‍රස්තයින් ක්‍රියාකාරී බව වාර්තා වේ.

සුපුරුදු උපායක්

පසුගිය දිනෙක දියාලා ප්‍රාන්තයේදී ඉරාක හමුදා වෙත එල්ල වූ ප්‍රහාරයක් සහ බැග්ඩෑඩ් සහ කිර්කුක් නගර අතරදී බස් රථයකට එල්ල වූ ප්‍රහාරයක් ඉරාකයේ සංවිධානයේ පුනරාගමනය පිළිබඳ ආසන්නතම අවස්ථා ලෙස හැඳින්විය හැකිය​.

මෙම අවස්ථා දෙකේදී ම දක්නට ලැබුණු පොදු උපක්‍රමය නම් ප්‍රහාරයන් සඳහා සහභාගී වූ ත්‍රස්තයින් ඉරාක යුධ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටීමය​. බස් රථයට එල්ල වූ ප්‍රහාරය අවස්ථාවේදී ඔවුහු ව්‍යාජ මුරපළක් පිහිටුවාගෙන අදාළ බසය නවතා ඊට පහර දුන් හ​. ISIS ත්‍රස්තවාදීන් ප්‍රකාශ කළේ මෙහිදී ආරක්ෂක අංශයන් හි 35 දෙනකු මිය ගිය බව වන නමුත් ඉරාක රජය පවසන්නේ මිය ගිය පිරිස සිවිල් වැසියන් බවයි. මේ අතර මිය ගිය සංඛ්‍යාව පිළිබඳව ද විවිධ වාර්තා පළ වී ඇත​.

ඉරාක යුධ හමුදාවේ 8 වන ඩිවිෂනයේ නිලධාරියකු ඉරාකයේ නිකාශ් (NIQASH) මාධ්‍ය ආයතනය සමඟ ප්‍රකාශ කර තිබුණේ, ISIS ත්‍රස්තයින් ප්‍රධාන නගරයන්ගෙන් පළවා හරිනු ලැබීමට පෙර ඒ සඳහා ඔවුන් සූදානම් වූ බව පෙනෙන බවයි. ඔවුන් කාන්තාරයේ සහ නිම්නයන්හි රහසිගත ස්ථානවල විශාල ආයුධ තොග සඟවා තබා ඇති බවත්, සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ අවි සහිත වූ එවන් එක් තොගයක් මෑතකදී තම ඩිවිෂනය විසින් සොයාගන්නා ලද බවත් එම නිලධාරියා කියා සිටියේ ය​.
මේ අතර මාර්තු මස දෙවන සතියේදී සිරියානු කාන්තාරය දෙසින් ඉරාක දේශසීමාව දෙසට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට ඉරාක මිලීෂියා කණ්ඩායම් සමත් වූහ​. මාර්තු 11වැනිදා සවස් යාමයේ එල්ල වූ මෙම ප්‍රහාරයේදී දෙපිරිස අතර පැය කිහිපයක සටනක් පැවති අතර ඉන්පසු ත්‍රස්තවාදීහු සිරියාව දෙසට පසු බැස ගියෝ ය​.

ඉරාක හමුදාවේ වැරදි

ඉරාක හමුදාව අතින් සිදු වූ ප්‍රධාන වරදක් හෝ අතපසුවීමක් හෝ ලෙස දැකිය හැක්කේ ප්‍රධාන නගරවල බලය තහවුරු කරතත්  ප්‍රත්‍යන්ත ප්‍රදේශයන්හි සම්පූර්ණයෙන් බලය තහවුරු කර නොගැනීමයි. මෙය වැරදීමක් ද එසේ නැතහොත් තමන්ට පිරිස් ශක්තිය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සිදු වූ දෙයක් ද යන්න පිළිබඳ වාද විවාද කලක් යනතුරු පවතිනු ඇත​. නමුත් ආරක්ෂක අංශයන් ද පිළිගන්නා කරුණ නම් ISIS ත්‍රස්තවාදීන් මෙසේ ප්‍රත්‍යන්තයන්හි ප්‍රතිසංවිධානය වීමට උත්සාහ කරන බව ය​.

මේ වනවිට ත්‍රස්තවාදීන් මීට කලකට පෙර සිටියාට වඩා දුර්වල තැනක සිටින අතර, ඔවුනට විශාල ප්‍රහාර කරා යාමට හැකියාවක් නොමැත​. නමුත් කුඩා ප්‍රමාණයේ ප්‍රහාර කරා යොමු වන අතර ඔවුන් යළි ප්‍රතිසංවිධානය වන බව ආරක්ෂක අංශ විශ්වාස කරති.

මෙම තත්ත්වය සිරියාව පිළිබඳ ද සත්‍ය තත්ත්වයකි. එනම් මෙම රටවල් දෙකේදීම ත්‍රස්තයින් ප්‍රතිසංවිධානය වීමේ උත්සාහයන් පවතී.

ත්‍රස්ත අභියෝගය​​

ඉරාක හමුදාවල අවධානය යොමුව පවතින එක් කරුණක් වන්නේ සිරියාවේ සිට ත්‍රස්තවාදීන් ඉරාකය වෙත ඇතුළු වීම වැළැක්වීම ය​. අන්බාර් ප්‍රාන්තයේ කාන්තාර ප්‍රදේශ හරහා මෙය සිදු වීමේ ඉඩකඩ ඉහළ ය​. එහෙයින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් ය​.

මේ අතර ඉරාක හමුදා අන්බාර්හි සිය මෙහෙයුම් ද තීව්‍ර කර තිබේ. පසුගිය මාර්තු 19 වනදා මෙසේ සිදු කෙරුණ මෙහෙයුම් අතරතුර සංවිධානයේ ප්‍රාදේශීය ප්‍රධානින් කිහිප දෙනකු අල්ලාගත් බව ද ඉරාක හමුදා සඳහන් කළේය​. මේ අතර ISIS ඉලක්ක වෙත දිගට ම ගුවන් ප්‍රහාර ද එල්ල කෙරෙමින් තිබේ.

ඉරාකයේ ත්‍රස්තයින්ට එරෙහිව සටන් කළ කණ්ඩායම් අතර පවතින විරසකයන් ද ඇතැම් විට දිගු කාලීනව ISIS ත්‍රස්තවාදීන්ට වාසි ගෙනදීමේ ඉඩක් ඇත​. විශේෂයෙන් ම ෂියා මිලිෂියා කණ්ඩායම් සහ සුන්නි අරාබීන් අතර ද​, කුර්දීන් සහ ඉරාක අරාබීන් අතර ද ඇති විරසකයන් මෙහිදී ඉරාකයේ ස්ථාවරත්වයට තර්ජනයක් කිරීමට ඉඩ ඇත​.

මෙම සියලු කණ්ඩායම් ISIS සංවිධානය පරාජය කිරීමේදී එක්ව කටයුතු කළ නමුත් පසු කාලීනව​, විශේෂයෙන් ම කුර්දීන් සහ ඉරාක රජය අතර​, පැරණි විරසකයන් යළි අලුත් වනු දැකිය හැකි විය​.
මෙම තත්ත්වය විශේෂයෙන් ම කිර්කුක් ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියා මර්දනයේදී ප්‍රශ්නයක් විය හැක​. එම ප්‍රදේශයේ විශාල තෙල් සම්පත් ඇති අතර අරාබි සහ කුර්දි ජනයා එහි වාසය කරති. කෙසේ වෙතත් නගරයෙන් ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ත්‍රස්ත ක්‍රියා හිස ඔසවන බවක් පෙනී යයි. පෙබරවාරි 18 වනදා රජයට සහය දක්වන මිලීෂියා කණ්ඩායමක් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරය මීට හොඳ නිදසුනකි. එහිදී මිලීෂියා සාමාජිකයෝ 27 දෙනකු මිය ගියෝ ය​.

මේ අතර සිරියාවේද කුර්දීන් සහ තුර්කි හමුදා අතර ඇතිව පවතින සටන් හේතුවෙන් ISIS විරෝධී කඳවුර දුර්වල වීමේ අවදානමක් මතු වී තිබේ. මෙම තත්ත්වය ISIS සංවිධානයට එරෙහිව විශාල සටනක් කළ කුර්දීන් සහ අරාබීන්ගෙන් සමන්විත SDF සංවිධානයට සැලකිය යුතු තර්ජනයක් බවට පත්ව ඇත​.

තවද ISIS සංවිධානයේ නායකයා වූ අබු බකර් අල්-බග්දාදි සොයාගැනීමට ද ආරක්ෂක අංශ මෙතෙක් සමත්ව නැත​. එය ද ත්‍රස්තයින් දිගටම සටන් කිරීම සඳහා පොළඹවන සාධකයකි.
එහෙයින්, ප්‍රධාන නගර අල්ලාගත්ත ද සිරියාවේ සහ ඉරාකයේ සංවිධානයට එරෙහි සටන් තවත් දිගු කලක් පවතිනු ඇතැයි යන බියක් මේ වනවිට ඇතිව තිබේ.

[චාමර සුමනපාල]