ජාරෙඩ් කුෂ්නර් මේ කවුද? මොනවාද කරන්නේ?

 ඡායාරූපය:

ජාරෙඩ් කුෂ්නර් මේ කවුද? මොනවාද කරන්නේ?

1981 ජනවාරි 10දා අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රකට ව්‍යාපාරික පවුලක උපන් ජාරෙඩ් කෝරේ කුෂ්නර් 2009 ඔක්තෝබර් මාසයේ දිනක තවත් ප්‍රකට  බිලියනපති ව්‍යාපාරික පවුලක් වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ දෙවැනියා ලෙස 1981 ඔක්තෝබර් 30දා උපත ලැබූ ඉවානි මාරි ට්‍රම්ප් හෙවත් ඉවන්කා සමග විවාපත් වූයේය.

ජාරෙඩ්ගේ සීයා ජෝසෆ් කුෂ්නර් නාසින්ගේ යුදෙව් සමූලඝාතන සමයේ බෙලරුසියාවේ සිට අමෙරිකාවට සංක්‍රමණය වූ  ඕතොඩොක්ස් ජුදාගම අදහන යුදෙව්වෙකි. එම පරපුර එම ආගම අත්හැර නොමැති බැවින් ඉවන්කාටද සිය විවාහයෙන් පසු ආගම වෙනස් කරන්නට සිදු විය.

2008 සිට ඔහු කුෂ්නර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරියා විය. එම ව්‍යාපාරය දේපළ වෙළෙඳාමේ යෙදී සිටින එකකි. එය සතුව විශාල ප්‍රමාණයේ වත්කම් මෙන්ම ණය කන්දරාවක් ද තිබෙන බව සඳහන්ය. 2006 වසරේ ඔහු විසින් මිල දී ගන්නා ලද -නිව්යෝර්ක් ඔබ්සෝවර් පුවත්පත ඒ සමූහ ව්‍යාපාරයට අයත් නොවන අතර ඔහු එහි හිමිකාර කළමනාකරු විය.

ඉවැන්කා 2005 වසරේ සිය පියා සභාපතිත්වය දැරූ ට්‍රම්ප්  ඕගනයිසේෂන් හි විධායක බලැති උප සභාපතිධුරයේ වැඩ භාර ගත්තාය. ඇය ‘ඉවැන්කා ට්‍රම්ප් ෆයින් ජුවෙලරි’ නම් දියමන්ති සහිත ස්වර්ණාභරණ වෙළෙඳසැල් ජාලයක් හිමි සමාගමක සහ ‘ඉවැන්කා ට්‍රම්ප් ෆැශන්ස්’ නම් වෙළෙඳසැල් ජාලයක් හිමි සමාගමක ද හිමිකාරිය වන්නීය.

පසුගිය වසර අවසානයේ ඔවුන් විසින් රජය වෙත කරන ලද හෙළිදරව් අනුව ඔවුන්ගේ පවුලේ වත්කම් ඇඩො මිලියන 785කි.

2016 නොවැම්බර් මුල් අඟහරුවාදා පැවැති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් කිසිදා දේශපාලනයට සම්බන්ධයක් නොතිබි 72 හැවිරිදි ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් නමැති වෙළෙඳ කුවේරයා ජයග්‍රහණය කළේය. එරට ව්‍යවස්ථාව අනුව ජයග්‍රහණය කරන ජනාධිපතිවරයකු දිව්රුම් දිය යුතු වන්නේ ඊළඟ වසරේ ජනවාරි 20දා ය. මේ දින දෙක අතර කාලය සංක්‍රාන්ති සමය ලෙස සැලකෙන අතර නීත්‍යනුකූලව බලය පැවරීම සිදු කෙරෙන්නේ දින 50 - 55 පමණ වන ඒ කාල සීමාවේදීය.

අමෙරිකාවේ ජනාධිපතිවරයාගේ පවුල එරට ව්‍යවහාරයෙන් ‘ප්‍රථම පවුල’ය. එයට ජනාධිපතිගේ කලත්‍රයා සහ විවාහක අවිවාහක භෙදයකින් තොරව සියලු දරුවන්ද, එකට ජීවත් වන්නේ නම් මේ පවුලට දෙමාපියන්ද ආච්චිල සීයලාද වැනි ජනාධිපතිවරයාග් ලේ නෑයෝ, දරුවන්ගේ කලත්‍රයෝ සහ දරුවෝද ඇතුළත් වෙති. ඒ ගණයට අයත් තැනැත්තන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම එරට නීතිය අනුව තහනම්ය.

ජෙරාඩ් කුෂ්නර් සහ ඔහුගේ පවුල ජීවත් වන්නේ ජනාධිපති මන්දිරයේ නොවන බැවින් ඔහු ප්‍රථම පවුලේ සාමාජිකයකු නොවේ. එහෙත් ඉවන්කා ජනාධිපතිවරයාගේම දියණිය වන බැවින් ඊට අයත්ය.

ඒ කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් තමා දිව්රුම් දුන් දිනයේම බෑණාටද, මාර්තු 29 දින දුවටද වශයෙන් මේ දෙදෙනාටම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු පිරි නැමීය.

ජනාධිපති ට්‍රම්ප් සිය පුත්‍රයාටත් වඩා විශ්වාසය තබා ඇත්තේ මේ බෑණා කෙරෙහි බව අමෙරිකානු මාධ්‍ය සඳහන් කරයි. ජනධිපතිවරණ සටනේ දී ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් උපස්ථම්භක වූයේ කුෂ්නර්ගේ උපාය මාර්ග - විශේෂයෙන් ම ඔහුගේ සංඛ්‍යාක (digital) පරිගණක පාලිත (online) සහ සමාජ මාධ්‍ය (social media) උපයෝගී කැර ගනිමින් සිදු කැරුණු දැවැන්ත මෙහෙයුම - බව අවිවාදිතය. සමාජ ජාල උපයෝගී කැර ගනිමින් ඔහු විසින් පවත්වාගෙන යන ලද අරමුදල් ඉහළ නැංවීමේ සංඛ්‍යාක දත්ත සංහිතාව ඉතා සාර්ථක ප්‍රතිඵල අත් කැර ගත්තේය.

එහත් කුෂ්නර් පත් වූ දිනයේ පටන්ම රටේ සාමාන්‍ය නීතිය බැහැර කරන අයකු බව සඳහන්ය. මුලින්ම එන්නේ ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකු ලෙස ඔහු විසින් සම්පූර්ණ කොට භාරදිය යුතු අංක 86 දරන රහස්‍ය ප්‍රකාශය නිසි ආකාරව ඔහු විසින් සම්පූර්ණ කොට නොදුන්නේය යන චෝදනාවයි. දෙවනුව පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු රුසියානු නිලධාරීන් සමග එක්ව ඩිමොක්‍රැටික් අපේක්‍ෂිකා හිලරි ක්ලින්ටන් පරාජයට පත් කිරීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට සම්බන්ධ වූයේය යන්නයි.

මැතිවරණ ව්‍යාපාරය පැවැති සමයේ කුෂ්නර් රුසියානු තානාපති සර්ජි කිස්ල්යැක් සහ රුසියානු රාජ්‍ය බැංකුවක් වන වීඊබී හි සභාපති සර්ජි ගොරකොව් මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ බව 86 දරන ආකෘතියේ සඳහන් කොට නැති අතර රහස් ඔත්තුසේවා නිලධාරීන් විසින් එය අනාවරණය කැර ගැනීමෙන් පසු සංශෝධිත පෝරමයක් බාර දී ඇත.

ජාරෙඩ් කුෂ්නර් ප්‍රසිද්ධියට එතරම් කැමැති පුද්ගලයකු නොවන බව පැවසේ. ඒ නිසා ඔහු ඍජුවම පරිපාලන කටයුතුවලට මැදිහත් වන බවක් පෙනෙන්නේ නැත. එහෙත් ඇතැම් වැදගත් නිලධාරී සාකච්ඡා පැවැත්වෙන්නේ ඔහුගේ ප්‍රධානත්වයෙනි.

ඊශ්‍රායෙලයේ අගනුවර ලෙස මින් ඉදිරියට අමෙරිකාව පිළිගන්නේ යෙරුසෙලම බව ජනාධිපති ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. එහි කැටයම්කරු කුෂ්නර් බව ඇතැමුන්ගේ මතයයි. හේතුව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට රුසියාව ආධාර කළ බවට වන චෝදනාවට අදාළ පරීක්‍ෂණ මේ වන විට සෑහෙන ප්‍රගතියක් අත් කැරගෙන සිටියි. එය සමහර විට මාමණ්ඩිට මෙන්ම බෑනණ්ඩිටද නරකට හිටින්නට පිළිවන. ජනාධිපති ට්‍රම්ප් දුම්මල වරම ගත්තාක් මෙන් සැමදාම එෆ්බීඅයි ආයතනයට දොස් පවරන්නේ ඒ නිසාය.

ජනාධිපති ට්‍රම්ප් කිසිදු හේතු දැක්වීමක් නොමැතිව පළපුරුදු රාජ්‍ය නිලධාරීන් සේවයෙන් පහ කරනු මේ දිනවල සුලබය. වෙනකක් තබා ඔහු තමා විසින්ම පත් කරනු ලැබූ රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවා පන්නා දැම්මේය. මෙසේ නිලධාරීන් ඉවත් කිරීම ගැන කීමට ඉංග්‍රිසියෙන් ‘ෆයර්’ යන වචනය පාවිච්චි කෙරේ. එහි තවත් අරුතක් වන්නේ බලවත් ආවේගය යන්නයි. ඒ කියන්නේ ට්‍රම්ප්ට ෆයර් වූ විට නිලධාරීන් ෆයර් කරන බවයි. ජනාධිපති ට්‍රම්ප් කෙළින් මුහුණ බලා නිලධාරියකු ඉවත් නොකරන බවත් එසේ කෙරෙන්නේම ට්වීටර් මගින් බවත් මාධ්‍ය පෙන්වාදී තිබේ. මේවා පිටුපස සිටින්නේ කුෂ්නර් බව සාමාන්‍ය පිළිගැනීමයි.

ජාරෙඩ් කුෂ්නර් කවුද? මොනවාද කරන්නේ? යන්න දැන් අමෙරිකානුවන්ට ගැටලුවක් වී ඇති සේය. ඔහු රාජ්‍ය සේවයේ අනුග්‍රහය ලබා ගනිමින් සිය පුද්ගලික ව්‍යාපාර වැඩි දියුණු කරමින් සිටින නිසා ඔහු දරන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් වහාම ඉවත් කරන ලෙස ඉල්ලමින් ඩිමොක්‍රැටික් ව්‍යවස්ථාදායකයන් 31 දෙනෙකු විසින් පසුගිය සතියේ ධවල මන්දිරයේ මාණ්ඩලික ප්‍රධානී ජෝන් කෙලී වෙත ලිපියන් යොමු කිරීම, ඔහුට එරෙහිව විරෝධයක් නැගෙමින් පවතින බවට මනා සාධකයකි. 

[එස්. නන්දලාල්]

මාතෘකා