රුසියාව යළිත් පුටින්ට?

 ඡායාරූපය:

රුසියාව යළිත් පුටින්ට?

ලොව වැඩිම භූමි ප්‍රමාණයකට හිමිකම් කියන රට මෙන්ම ලොව යුධ බලයෙන් දෙවැනි  ස්ථානයේ සිටින ජාතිය ලෙසත්, බල තුලනය උදෙසා ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කරන  රාජ්‍යයක් ලෙසත් ලෝක දේශපාලනය තුළ රුසියාවට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.  ආරක්ෂක වියදම් ලෙස 2018 වර්ෂයට ඩොලර් බිලියන 46ක් වෙන් කළ, මිලදී ගැනීමේ  හැකියාව ඇති රටවලින් ලොව හය වන ස්ථානයේ සිටින රාජ්‍යයක් ලෙසත් රුසියාවේ  දේශපාලන වෙනස්කම් ලෝක දේශපාලනයේ සංවේදී මාතෘකාවන් බවට පත් වේ.
වසර  6කට වරක් පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණය ඇරඹී ඇත. ජාත්‍යන්තර කාල කලාපයන්  කිහිපයකට ගැනෙන රුසියාවේ ජනාධිපතිවරණය රුසියාවේ නැගෙනහිර කලාපයට ආරම්භ  වූයේ සෙනසුරාදා (17) පස්වරු 8ට වන අතර එය රුසියාවේ බටහිර ප්‍රදේශයේ වේලාවට  අනුව ඊයේ පස්වරු 6ට අවසන් විය.
කාල කලාප 11කට හිමිකම් කියන රුසියාවේ  මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද  දායකයින් ගණන මිලියන 107.3ක් වේ. ඊයේ (18දා) උදෑසන මොස්කව් වලදී තම ඡන්දය  ප්‍රකාශ කළ 'මා රට වෙනුවෙන් යෝජනා කළ වැඩ පිළිවෙළෙහි නිවැරදිතාව ගැන මට  විශ්වාසයි' යනුවෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබේ.
රුසියානු මධ්‍ය  මැතිවරණ කොමිසමට අනුව මෙවර ඡන්ද මධ්‍යස්ථාන 97 000කට අධික ප්‍රමාණයක් ඡන්ද  ප්‍රකාශ කිරීම සඳහා විවෘතව පැවති අතර ඡන්ද දායකයන්ට අපේක්ෂකයන් 8  දෙනෙකුගෙන් අයෙක් එරට ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමේ හැකියාව ලැබී ඇත. මෙම  මධ්‍යස්ථාන වලට අමතරව වෙනත් රටවල ජීවත්වන රුසියානු පුරවැසියන්ට ඡන්දය  ප්‍රකාශ කිරීමේ පහසුකම් සැපයීම් සඳහාද කටයුතු කර තිබිණ. ඒ අනුව රටවල් 145ක  ජීවත්වන රුසියානුවන්ට මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව  හිමිව පැවතිණ. රුසියාවේ දීර්ඝ ගමන් දුම් රිය 38කදී, රෝහල් සහ හමුදා  මධ්‍යස්ථානවලද ඡන්ද දායකයන්ගේ පහසුව තකා මධ්‍යස්ථාන පිහිටුවා තිබූ අතර  උතුරුදිග රුසියාවේ දුෂ්කර මාර්ග සහිත ස්ථානවල පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන  වලට මැතිවරණ සේවකයන් සහ අවශ්‍ය උපකරණ ප්‍රවාහනය සඳහා හෙලිකොප්ටර් යානා  යොදවා තිබිණ. මෙවර සිදු වූ තවත් විශේෂිතම කාරණයක් වූයේ මේ වනවිට ජාත්‍යන්තර  අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවයේ නියුතු රුසියානු අභ්‍යවකාශගාමියෙකු වන  ඇන්ටන් ෂ්කප්ලෙරව් හටද අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටම සිය ඡන්දය ප්‍රකාශ  කිරීමේ අවස්ථාව සලසා තිබීමයි.
කෙසේ වෙතත් මෙවර රුසියානු  ජනාධිපතිවරණයේදි අතිශය පැහැදිලි බහුතරයකින් වර්තමාන ජනාධිපති ව්ලැඩ්මීර්  පුටින් ජයගන්නා බව සියලුම මාධ්‍ය පාහේ සඳහන් කර ඇති වාතාවරණයක දැනටමත් වසර  18ක් පුරා රුසියාව පාලනය කළ ඔහුට 2024 දක්වා එරට රාජ්‍ය නායකයා වීමේ වරම  හිමි වනු ඇත. හිටපු සෝවියට් එකාධිපති පාලකයකු වූ ජෝෂප් ස්ටාලින්ට පසු  රුසියාව වැඩිම කාලයක් පාලනය කළ රාජ්‍ය නායකයා බවට පත් වීමට මේ අනුව පුටින්ට  හැකියාව ලැබේ.  
චීනයේ ෂි ජින්පින් සහ රුසියාවේ ව්ලැඩ්මීර් පුටින්  විසින් දීර්ඝ කාලීනව බලය තහවුරු කරගැනීමේ සැලසුම් එලෙස එකම කාල පරිච්ඡේදය  සාර්ථක කර ගැනීම ලෝක දේශපාලනයේ ඉදිරි දශකයේ දිශාව පිළිබඳව පුරෝකථන සැපයීමට  සමත් වනු ඇත.

මාතෘකා