අනාවැකි කිව නොහැකි ට්‍රම්ප් - කිම් සාකච්ඡා

 ඡායාරූපය:

අනාවැකි කිව නොහැකි ට්‍රම්ප් - කිම් සාකච්ඡා

පසුගිය සතිය පුරාම ලොව පුරා මාධ්‍ය වාර්තාවල ප්‍රමුඛස්ථානයක් ගෙන තිබුණේ තවමත් දිනයක්, තැනක් නිශ්චිතව යොදා නොමැති ට්‍රම්ප් - කිම් ඉහළ පෙළේ සාකච්ඡාය.  
1982 ජනවාරි 08දා උපත ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු සමූහාණ්ඩුවේ වර්තමාන නායක කිම් ජොං උන් එහි පූර්ව නායක කිම් ජොං ඉල්ගේ (16 පෙබරවාරි 1941 - 17 දෙසැම්බර් 2011) දෙවන පුත්‍රයාය. 1946 ජුනි 14 දින උපන් වර්තමාන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජ්‍යෙෂ්ඨ කිම්ට වඩා බාල වන්නේ වසර 5කින් වන අතර කනිෂ්ඨ කිම්ට වඩා වසර 34කින් වැඩිමල්ය. කනිෂ්ඨ කිම් සිය රටේ පාලනය භාරගන්නා විට ඩොනල්ඩ් ට්‍රම්ප් හුදු ව්‍යාපාරිකයකු විනා දේශපාලනයට පා තැබූවකු වත් නොවීය.  
පසුගිය සැප්තැම්බරයේදී ජනාධිපති ට්‍රම්ප්, කිම් හැඳින්වීමට ‘රොකට් ඇච්චා’ (little rocket boy) යන පදය අවමන් සහගත ලෙස භාවිත කළේය. ඊට පිළිතුරු දෙන්නට කිම් තරමක් කල් ගත් අතර ට්‍රම්ප් හැඳින්වීමට ඔහු භාවිත කළේ මේ වන විට භාවිතයෙන් ගිලිහී ගොස් ඇති 14වන සියවසේ පමණ ඉංග්‍රිසියට එක් වූ සේ සැලකෙන ‘නාකිහමා’ ලෙස සිංහලට පරිවර්තනය කළ හැකි dotard යන වදනයි.  
ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියාවට ප්‍රහාර එල්ල කළ යුතුය යන ස්ථාවරයේ දිගටම සිටියේය.  
මෙලෙස දෙදෙනා අතර අවමන් සගත වචන හුවමාරු සිදුවෙමින් පවතින විට කිම් ප්‍රකෝප කිරීමෙන් වැළැකී සිටීම සුදුසු බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුතින් අමෙරිකානු ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.  
නායක කිම් 2018 වසර ඇරඹුණු දා සිය අලූත් අවුරුදු පණිවුඩයේදී තමාගේ සුපුරුදු සැර වාග් විලාසයෙන් බැහැරව සමාන්‍ය ස්වරයකින් කථා කළ බව මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකා එක්සත් ජනපදයේ ඕනෑ තැනකට ප්‍රහාරයක් එල්ල කළ හැකි අවි සිය රට සතුව ඇති බව පවසා ඇති ඔහු එය බොරුවක් නොවන බවත්, යථාවක් බවත්, එහි බොත්තම ඇත්තේ සිය ඩෙස්කුව මත බවත් සඳහන් කොට ඇත. ඒ නිසා අමෙරිකාව තමන්ට තර්ජනය කිරීම් ඉදිරියට නොකළ යුතුය. කෙසේ වෙතත් දකුණු දේශ සීමාවේ සිය සහෝදරයා සමග සාකච්ඡාවට තමන් කැමති බවත් ඉදිරි මාසවල සියොල්හි පැවැත්වෙන ශිශිර ඔලිම්පික් තරගාවලියට සිය රටෙන්ද කණ්ඩායමක් සහභාගි කරවන බවත් පැවසූ බවද වාර්තා විය.  
අමෙරිකානු ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර වශයෙන් ‘බලමු. බලමු’ යි පවසා ඇති අතර දකුණු කොරියානු අගමැති කාර්යාලය එම යෝජනා ඉත සිතින් පිළිගන්නා බව සැණෙකින් ප්‍රකාශ කොට තිබිණි.  
එක්සත් ජාතීන් විසින් මෙ වන විට පනවා ඇති අතිමහත් සම්බාධක තොගය නිසා පිටතට නොපෙන්වුවාට උතුරු කොරියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ප්‍රකට කරුණකි. රාජ්‍ය නායකයා ලෙස කිම්ටද එය නොදැනෙන්නට හේතුවක් නැත. එසේ ම උතුරු කොරියාව විසින් සිය සමත්කම් පෙන්වනු වස් කරන නොයෙකුත් පර්යෙෂණ හා අත්හදාබැලීම්වලින් දකුණු කොරියානු ජනයා ද පීඩාවට පත්ව සිටිති. ඒ සම්බන්ධයෙන් එරට ජනයාගෙන් නැගෙන මැසිවිල්ලට දකුණු කොරියානු රජයට ඉවත බලා ගනු නොහැකිය. අමෙරිකාව විසින් උතුරු කොරියාවට ප්‍රහාරයක් එල්ල කරන ලැබුවහොත් උතුරු කොරියාව මුලින්ම ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇත්තේ දකුණට සහ ජපානයට බවට සාමාන්‍ය මතයක්ද පවතී.   
ශිශිර ඔලිම්පික් තරගවලට උතරු කොරියාව ද කණ්ඩායමක් ඉදිරිපත් කොට තිබිණි. ඒ සමග නායකයාගේ විශේෂ නියෝජිතයකු ලෙස ඔහුගේ නැගණිය වන කිම් යෝ ජොං ද සහභාගි වූවාය. ඇය ඉටු කළේ විශේෂ රාජ්‍යතාන්ති‍්‍රක දූත මෙහෙවරකි. දකුණු කොරියානු ජනාධිපති මූන් ජා-ඒ ඉං වෙත ඇය ගෙන ගිය පණිවුඩය රහසකි. සියල්ල වෙනස් වන්නට පටන් ගැනුණේ ඒත් සමඟය.  
ඉන්පසු දකුණෙන් දූත කණ්ඩායමක් උතුර බලා ගිය අතර එම කණ්ඩායම පසුව ධවල මන්දිරයට ගොස් ජනාධිපති ට්‍රම් වෙත ‘තත්ත්වය වාර්තා කළෝය.’  
නායක දෙපළ සාකච්ඡාවකට එළැඹෙන බව දෙපාර්ශ්වයෙන‍්ම ප්‍රකාශයට පත් කැරුණේ ඉන් අනතුරුවය. හැබැයි ට්‍රම්ප් කියන්නේ තමාගේ කොන්දේසිය එහෙමමයි කියාය. ‘සාකච්ඡාවලට එළැඹෙන්නට නම් උතුරු කොරියාව සියලු ආකාරයේ න්‍යෂ්ඨික ක්‍රියාකාරකම්වලින් බැහැර විය යුතුයි.’ උතුරු කොරියානු පාර්ශ්වයෙන් මෙතෙක් ඒ ගැන ඍජුව යමක් කියා නැත.  
ඇත්තටම උතුරු කොරියාව න්‍යෂ්ඨික ක්‍රියාකාරකම්වලින් මුළුමණින්ම බැහැර වේද? දැන් ලොව ඉදිරියේ ඇති ප්‍රශ්නය එයයි. එසේ නොමැති නම් මේ ‘රොකට් ඇච්චාගේ’ ලණුවක් පමණක් ද?  
උතුරු කොරියාවේ න්‍යෂ්ඨික ක්‍රියාකාරකම්වලට අවුරුදු 60ක් ඉක්මැවූ ඉතිහාසයක් ඇත. ඒ දිනවල අමෙරිකා එක්සත් ජනපදය විසින් දකුණු කොරියාවේ න්‍යෂ්ඨික අවි ස්ථානගත කිරීම නිසා උතුරට තම ආරක්‍ෂාව පිළිබඳ බියක් ඇති විණි. ඊට පිළියම් වශයෙන් තමන්ද න්‍යෂ්ඨික අවි භාවිතයට එළැඹිය යුතු බවට එරට විසින් තීරණය කරන ලදී. එසමයේ ලොව පළමු බලවතා ලෙස අමෙරිකා එක්සත් ජනපදය විසින් තමන් හඳුන්වා ගන්නා ලද අතර සෝවියට් සංගමයද නොදෙවෙනි තත්ත්වයේ සිටියේය. එසේම මේ දෙපාර්ශ්වය සැමවිටම ප්‍රතිමල්ලවයෝ වූහ. 1956 මැද භාගයේ සෝවියට් සංගමය දකුණු කොරියාවේ භෞතික විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් පිරිසකට පරමාණු ප්‍රාගුණ්‍යය පිළිබඳ පුහුණුවක් ලබා දුන් අතර දෙරට අතර න්‍යෂ්ඨික සහයෝගිතා ගිවිසුමක් අත්සන් තබන ලදි. 1962 වසරේ සෝවියට් ආධාරවලින් යොංබියොන් පරමාණුක බල ශක්ති අයතනය පිහිටුවන ලද අතර 1965 දී මෙගාවොට් 2 ධාරිතාවේ ප්‍රතික්‍රියක නිෂ්පාදනය කරන ලදි. 1974දී එමෙන් දෙගුණ ධාරිතාවක් සහිත ප්‍රතික්‍රියක එහි නිෂ්පාදනය විණි.  
පසුව යොංබියොන් බලගාරය විසින් අවි නිෂ්පාදනයද අරඹන ලදි. 1991 දෙසැම්බරයේ සෝවියට් සංගමය බිඳ වැටුණු අතර එතෙක් ලැබුණ මූල්‍යාධාර හා තාක්‍ෂණික උපදෙස් නොලැබී ගියේය.  
අද න්‍යෂ්ඨික ශක්තිය අතින් උතුරු කොරියාව අමෙරිකා එක්සත් ජනපදය වැනි ප්‍රබලයකුට පවා අභියෝග කරන මට්ටමට පැමිණ සිටියි. මේ දක්වා පැමිණි මග අති දීර්ඝ, දුෂ්කර මෙන් ම කම්කටොලුවලින්ද සපිරිය. දකුණු කොරියාව, ජපානය වැනි බලවත් ආර්ථික සහිත රටවල් අමෙරිකාවට ගැතිකම් කරද්දී ඊට එරෙහිව නැගී සිටින්නට එරටට ශක්තිය ඇත්තේ න්‍යෂ්ඨික බලය නිසා බව පිළිගත යුත්තකි. අනෙක් අතට අමෙරිකාවට ආසියාකරයේ ඇති ලොකුම හිසරදය උතුරු කොරියාව වන අතර එය හොඳින්ම යටත් කර ගැනීම පෙන්ටගනයේ අපේක්‍ෂාව වෙයි.  
ඉතින් කුමක් වනු ඇත්ද? කිව නොහැකිය. අවසානයේ සියලු අනාවැකි පුහු වන්නටද ඉඩ තිබෙන බව අපගේ වැටහීමයි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?