බින් සල්මාන්ගේ බ්‍රිතාන්‍ය සංචාරය

 ඡායාරූපය:

බින් සල්මාන්ගේ බ්‍රිතාන්‍ය සංචාරය

සෞදි අරාබියේ කිරුළ හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන්, එම ධුරයට පත් වීමෙන් පසු ඔහුගේ පළමු නිල විදේශ සංචාරය ලෙස බ්‍රිතාන්‍යයට පැමිණීම අහම්බයක් නොවේ. එය සෞදි  අරාබිය සහ බ්‍රිතාන්‍යය අතර ඇති ශක්තිමත් සබඳතාවයේ මෙන්ම බින් සල්මාන් බ්‍රිතාන්‍යයේ සහයෝගය කෙරෙහි දෙන වටිනාකම පිළිබඳ පැහැදිලි සාධකයකි.

MBS යන නමින් ප්‍රකටව සිටින මොහොමඩ් බින් සල්මාන් තවමත් 32 හැවිරිදි ය​. 2015 ජනවාරියේ සිට සෞදි අරාබියේ ආරක්ෂක ඇමති ධුරය දරන හෙතෙම, ඔහුගේ පියා සල්මාන් රජු විසින් 2017 ජූනි මාසයේදී කිරුළ හිමි කුමාරයා ලෙස පත් කරන ලදී. සැබෑ ලෙස ම මේ වනවිට සෞදි  අරාබියේ පාලකයා වන්නේ ඔහු ය​.

ඔහු බ්‍රිතාන්‍යයට පැමිණෙන්නේ සෞදි  අරාබියේ මෙන් ම බ්‍රිතාන්‍යයේ ද විශාල වෙනස්කම් බලාපොරොත්තු වන අවස්ථාවක ය​. සෞදි  අරාබියේ සිදුවන ප්‍රතිසංස්කරණ පිළිබඳ පැහැදිලි අදහසක් ඇතත් එරට විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයන් පැන නැගී ඇත​. මේ අතර යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ බ්‍රිතාන්‍යය තුළ තවමත් ඇත්තේ අවුල් සහගත තත්ත්වයකි.

කෙටියෙන් කිවහොත් මෙම අවස්ථාව සෞදි  අරාබියට බ්‍රිතාන්‍යයත්, බ්‍රිතාන්‍යයට සෞදි  අරාබියත් අවශ්‍ය අවස්ථාවකි. බින් සල්මාන් කුමරුට බ්‍රිතාන්‍යය විසින් ලබාදෙන ලද ඉහළ පිළිගැනීම ඊට සාධකයකි.

ආරක්ෂක සබඳතා

සෞදි  අරාබිය සහ බ්‍රිතාන්‍යය අතර දිගු කලක් තිස්සේ පවතින ආරක්ෂක සබඳතාව දෙරට අතර මිත්‍රත්වය පිළිබඳ වැදගත් සාධකයකි. බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ වරක් සඳහන් කළේ සෞදි  බුද්ධි තොරතුරු හේතුවෙන් බ්‍රිතාන්‍යයේදී බ්‍රිතාන්‍ය ජීවිත ගලවා ගැනීමට අවස්ථාව ලැබුණ බවයි. වෙනත් අර්ථයකින් කිවහොත් බ්‍රිතාන්‍යයේදී එල්ල විය හැකිව තිබූ ත්‍රස්ත ප්‍රහාර සෞදි  බුද්ධි තොරතුරු හේතුවෙන් වැළැක්විය හැකි වූ බවයි.

තවද​, බ්‍රිතාන්‍යය සෞදි  අරාබියට ආයුධ සපයන ප්‍රධාන රටක් ද වෙයි. ඉරානයෙන් එල්ල විය හැකි සයිබර් තර්ජන සඳහා මුහුණ දීමට අවශ්‍ය විශේෂඥ දැනුම සහ උපකාර බ්‍රිතාන්‍යයෙන් ලබා ගැනීම ද සෞදි  අරාබියේ තවත් අපේක්ෂාවකි.

ප්‍රතිසංස්කරණ​

මේ අතර සිය බ්‍රිතාන්‍ය සංචාරය තුළින් බින් සල්මාන් බලාපොරොත්තු වන තවත් කරුණක් වන්නේ සිය අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ සඳහා සහය ලබා ගැනීමයි. පසුගිය මාස නවයක පමණ කාළය තුළ බින් සල්මාන් ශීඝ්‍ර වූද​, සෞදි  අරාබියේ  ස්වභාවයේ හැටියට කිසි අයුරකින් හෝ බලාපොරොත්තු විය නොහැකි වූ ද දැවැන්ත ප්‍රතිසංස්කරණයන් කරා යොමු වූයේය​. ඔහු ආගමික පොලීසියේ බලතල අඩු කළේ ය; කාන්තාවන්ට රිය පැදවීමට අවසර දුන්නේ ය​; පාපන්දු තරඟ නැරඹීමට ඔවුනට අවස්ථාව ලබා දුන්නේ ය; සිනමාහල් විවෘත කළේ ය; මෙතෙක් කල් දැඩි මතධාරී ඉස්ලාමීය පාලනයක් ලෙස පැවති සෞදි  අරාබිය වඩා මධ්‍යස්ථ ඉස්ලාමීය රාජ්‍යයක් කරා ගෙන ඒමට කටයුතු කළේ ය​. මේ අතර දූෂණය පිටු දැකීමට බව ප්‍රකාශ කරමින් ඉහළ පෙ‍ෙළ් කුමාරවරුන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද බින් සල්මාන් කටයුතු කළේ ය​.

විෂන් 2030

සිය විෂන් 2030 (2030 දර්ශනය​) වැඩපිළිවෙල ඔස්සේ මොහොමඩ් බින් සල්මාන් බලාපොරොත්තු වන්නේ මෙතෙක් බොරතෙල් මත යැපුණු ආර්ථිකය වෙනත් අංශ කරා යොමු කිරීම ය​. මේ අනුව වෙළෙඳපොළ ආර්ථිකයට සෞදි  අරාබිය වඩා විවෘත කිරීමටත්, ආර්ථිකය විවිධාංගකරණය කිරීමටත් ඔහු බලාපොරොත්තු වෙයි.

තම රට යුරෝපා සංගමයෙන් ඉවත් වීම කෙරෙහි යොමු වෙමින් පවතින පසුබිමක, සෞදි  අරාබිය සමඟ ආර්ථික සබඳතා වර්ධනය කරගැනීම බ්‍රිතාන්‍යයට වැදගත් ය​. සංචාරක කර්මාන්තය​, සෞඛ්‍යය​, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍රයන් හි නව ආයෝජන අවස්ථා පිළිබඳ බ්‍රිතාන්‍යය බලාපොරොත්තු තබාගන සිටියි. තව ද, සෞදි  අරාබියේ ඇරම්කෝ තෙල් සමාගම ලන්ඩන් කොටස් වෙළෙඳපොළ වෙත ආකර්ශණය කර ගැනීමට ද බ්‍රිතාන්‍යය බලාපොරොත්තු වේ.

ආයෝජකයින් අතර සෞදි  අරාබිය පිළිබඳ විශ්වාසය ගොඩ නැගීම මොහොමඩ් බින් සල්මාන් වෙත ඇති අභියෝගයකි. විශේෂයෙන්ම, දූෂණ චෝදනා මත ලෝකයේ ප්‍රකටම ධනවතෙකු සහ ව්‍යාපාරිකයකු වූ සෞදි යේ බින් තලාල් කුමරු ඇතුළු පිරිසක් 2017 වසරේ අත්අඩංගුවට ගැනීම අත්තනෝමතික ක්‍රියාවක් නොව සැබෑ ලෙස ම දූෂණ චෝදනා හේතුවෙන් සිදු වූවක් බව පැහැදිලි කිරීම බින් සල්මාන්ට ඇති අභියෝගයකි. අත්තනෝමතිකව සිර භාරයට ගැනීමේ ඉඩකඩ පිළිබඳ දෙගිඩියාව ආයෝජකයින් සෞදි  අරාබියෙන් ඈත් කොට තැබීමට හේතුවක් විය හැකි ය​.

අනෙක් අතට කාලාන්තරයක් තිස්සේ සාම්ප්‍රදායික​, දැඩි මතධාරී සමාජයක් වූ සෞදි  අරාබියේ ශීඝ්‍ර ප්‍රතිසංස්කරණ සිදු කිරීම යම්කිසි අවදානමක් සහිත ක්‍රියාවලියකි. එහෙයින් එම ප්‍රතිසංස්කරණ සඳහා විදෙස් රටවල සහය ද බින් සල්මාන් අපේක්ෂා කරයි. ඒ සඳහා ඔහු එම රටවලට පෙන්වා දෙන්නේ තම රටෙහි ප්‍රතිසංස්කරණ ඔස්සේ එම රටවලට ඇති ආර්ථික වාසිය ය.

යේමන යුද්ධය​

මේ අතර බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝර්බින් ඇතුළු විරුද්ධවාදීන් සඳහන් කරන්නේ සෞදි  අරාබිය තවමත් මානව හිමිකම් අතින් ඉතා පසුගාමී අඩියක සිටින​ බව ය​. එහෙයින් බ්‍රිතාන්‍ය රජය ඒ පිළිබඳව බින් සල්මාන් වෙත අවධාරණය කළ යුතු බව ඔහුගේ සංචාරයටත් පෙර සිටම එම පිරිස් ප්‍රකාශ කළෝය. එම විවේචනවලට ඇහුම්කන් දීමට අග්‍රාමාත්‍ය තෙරේසා මේ හට ද සිදු විය​.

මෙහිදී වඩා විශාල ප්‍රශ්නයක් වී ඇත්තේ යේමනයේ යුද්ධයයි. සෞදි  අරාබිය ප්‍රමුඛ සන්ධානයක් විසින් යේමනයේ ජාත්‍යන්තරව පිළිගත් රජයට පක්ෂව​, හූති කැරලිකරුවන්ට එරෙහිව යුද වදී. මෙහිදී විශාල සිවිල් වැසියන් ප්‍රමාණයක් මිය යන අතර, ආහාරපාන හිඟකම ද ඊට හේතුවක් වී තිබේ. කෙසේ නමුත් මෙම යුද්ධයේ ද නිමාවක් පෙනෙන්නට නැත​. ඉරානයෙන් ආධාර ලබන හූති කැරලිකරුවෝ ඉඳහිට සෞදි  අරාබියේ අභ්‍යන්තරයට ද මිසයිල ප්‍රහාර එල්ල කිරීමට සමත් වූහ​.

ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම යුද්ධය බින් සල්මාන්ගේ අතිධාවනකාරී ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් බවයි. යුද්ධය පටන් ගැනීම පිළිබඳ ඔහුට හොඳ අදහසක් වූ නමුත් එය සාර්ථකව ඉදිරියට ගෙන යාම පිළිබඳ සැලකීමේදී බින් සල්මාන් අසාර්ථක වූ බව ඔවුනගේ අදහසයි.

මේ අයුරින් ම ඔහුගේ ප්‍රතිසංස්කරණ ද අතිධාවනකාරී පියවරයන් බවට පත්ව අසාර්ථක වේය යන සැකය ඇතමෙකු තුළ ඇතිව තිබේ. සිය බ්‍රිතාන්‍ය සංචාරයේදී බින් සල්මාන් බලාපොරොත්තු වූ එක් වැදගත් කරුණක් වූයේ එම සැකය තුරන් කිරීමයි.

[චාමර සුමනපාල]