සිරියාවේ නොනිවෙන ගින්න

 ඡායාරූපය:

සිරියාවේ නොනිවෙන ගින්න

මේ වනවිට ලොව පවතින වැඩිම හානිදායක සිවිල් යුද්ධය පවතින්නේ සිරියාවේ ය. සිරියානු රජයේ හමුදාව මෙන් ම අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, තුර්කිය යන රටවල නිල හමුදා ද, ලෙබනනයේ හිස්බුල්ලා මිලීෂියාව ද එහි සන්නද්ධ ව සටන් වැද සිටිති. එක් අතෙකින් බලන කල මෙය එක යුද්ධයක් නොවේ, යුද්ධ ගණනාවකි. අනෙක් අතට එක් එක් පාර්ශ්ව යුද වැද සිටින්නේ එක් පොදු සතුරකුට එරෙහිව නොවේ. කෙසේ වෙතත් ඒ සියලු පාර්ශ්වවලට පොදු එක් ලක්ෂණයක් වනුයේ කිසිවකුත් මිනිස් ජීවිත ගැන අල්පමාත්‍රයක් හෝ සැලකිල්ලක් නොදැක්වීමයි.  

අක්ෂි වෛද්‍ය බෂාර් අල්-අසාද් 2000 වසරේ සිරියාවේ ජනාධිපතිධුරයට පත් වන්නේ සිය පියා වූ ජනධිපති හෆෙස් අල්-අසාද් අවෑමෙනි. එදා සිට මේ දක්වා ම සිරියානුවන්ට වූ සෙතක් නැත. හෆෙස් අල්-අසාද් ධර්මිෂ්ට පාලකයකු ය’යි ඉන් වැරදි ලෙස වටහා නොගත මැනවි.   

අරාබි රටවල පැතිරගිය නැගීසිටීම් (Arab Spring) කුණාටුව 2011 මාර්තු 15 දින සිරියාවට ද ඇතුළු විණි. මහා බලවත් ලිබියාවේ ගඩාෆි පවා ඊට හසු ව දිවි දන් දුන් නමුත් අල්-අසාද් අදත් යෙහෙන් වැජඹෙයි.  

සිරියාව යනු වකිමි 185,180ක වපසරියකින් යුත් විශාලත්වය අතින් ලොව 88 වන ස්ථානයේ සිටිනා රජ්‍යයයි. එහෙත් ජලය ඇත්තේ ඉන් 1.1% පමණි. සීඅයිඒ දත්ත අනුව දල දේශීය නිෂ්පාදිතය (මිලදී ගැනුම් බල තුල්‍යතා) 2,900 වන අතර ඒ අතින් එය ලොව 164වන තැන ගනියි.  

ඒ දත්ත අනුව එරට ජනයාගේ ජීවන තත්ත්වය ගැන අමුතුවෙන් යමක් කිව යුතු නැත.  

ජනතාවගේ කැරැල්ල ක්‍රෑර ලෙස මර්දනය කරන්නට අල්-අසාද් සමත් විය. එහිදී 1,800ක් නිරායුධ සිවිල් වැසියන් හමුදාව විසින් මරා දමන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස හමුදාවෙන් බිඳී ගිය කණ්ඩායමක් නිදහස් සිරියානු හමුදාව බවට පත් විය.  

2011 ජුලි 29දා එම කණ්ඩායම හමුදාවෙන් බිඳී ගිය තවත් කණ්ඩායම් හයක් සමග රජයට එරෙහි ව රජයේ හමුදා සමග සටන් වැදුණෝ ය. එතැන් සිට 2012 අප්‍රේල් අවසානය දක්වා රජයේ හමුදා සාමාජිකයින් 3,800ක් සහ කැරලිකරුවන් 3,000 අධික සංඛ්‍යාවක් මළ බව සඳහන්ය. මරණයට පත් වූ සාමාන්‍ය සිවිල් වැසියන් සංඛ්‍යාව 11,000ට ආසන්න බව පැවසේ.  

තුන්වන අදියර 2012 අප්‍රේල් 21දා ඇරැඹිණි. සිරියානු රජයේ සහායට ඉරානයෙන් එරට විප්ලවීය ආරක්ෂකයන් එක්වූයේ මේ අදියරේදීය. ඒ සමග ම එරටින් මූල්‍ය ආධාර ද ලැබිණ. පලස්තීන විමුක්ති සංවිධානය ද, ලෙබනනයේ හිස්බුල්ලා ද, ඉරාකයේ මූලස්ථානය පිහිටි අසිබ් අහ්ල් අල්-හක් නම් කණ්ඩායම ද ඒ කාලයේ සිරියානු රජය සමග සිට ගත්තෝ ය. සිරියානු රජයට එරෙහි පෙරමුණට ඉස්ලාමීය රාජ්‍යය (ISIS), අල්-ඛයිඩා සහ සිරියාවේම අල්-නුස්රා නම් සලාෆි අන්තවාදී කල්ලියක් ද එක් වූයේ මෙසමයේ ය. උතුරු සිරියාවේ පාලන ප්‍ර්‍රදේශයක පාලනය ගෙනයන සිරියන් කුර්දිස්තාන් නම් කණ්ඩායමක් තුන්වන පාර්ශ්වයක් ලෙස සටන් බිමට අවතීර්ණ වූයේ ද මේ දවස්වල ය.  

2013 දෙසැම්බර් 31 දින අවසන් වූ මේ අදියරේ දී සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ කේන්ද්‍රයේ දත්තවලට අනුව දේශීය සිවිල් ජනයා 185,835ක් සහ විදේශීය සංචාරකයන් 1,800ක් දෙනා මරණයට පත් වුණෝ ය. අවතැන් වූවන් ගණන මිලියන පහ ඉක්මැවූ අතර ඉන් මිලියන තුනක් සරණාගත බවට පත් වූවෝ ය. අතුරුදන් වූ හෝ රැඳවුම් භාරයට පත් සංඛ්‍යාව 130,000 ක් පමණ ය.  

ඉසිස් සහ අල්-ඛයිඩා සටනට එක් වීමත් සමග සටන ඉඳුරා වෙනස් මගකට හැරුණි. සටන්වලින් රජය බැහැර වූ බවක් පෙනෙන්නට තිබණු අතර මූලික වශයෙන් කණ්ඩායම් තුනක් සටනට අවතීර්ණ වුණෝ ය. ඒවා නම් 1.නිදහස් සිරියානු හමුදාව 2. තහ්රිර් අල්-ෂාම් සහ 3. ඉසිස් ය. මෙහි තහ්රිර් අල්-ෂාම් යනු සලාෆි ජිහාඩිස්ට් ඉස්ලාම් කණ්ඩායමකි. ඔවහු තමන් සිරියාවේ අල්-ඛයිඩා ලෙස හඳුන්වා ගනිති.  

මින් පළමු වන කාණ්ඩයට අමෙරිකා එක්සත් ජනපදය, තුර්කිය, කටාර්, සවුදි අරාබිය සහ ප්‍රංශය යන රටවල පිටුබලය ලැබුණු අතර තවමත් ලැබෙමින් පවතියි. ඒ මූලික වශයෙන්ම ඔවුන් ඉසිස් සංවිධානයට එරෙහිව සටන් වදින හෙයිනි. මේ දක්වා මෙයින් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 7,000 පමණ වෙති’යි ගණන් බලා තිබේ.  

සිරියාවේ සිවිල් යුද තත්වයක් පවතින බව 2012 ජුනි 12 දින එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී.  

මේ සිවිල් යුද්ධයට රුසියාව මැදිහත් වනුයේ සිරියානු රජයේ ආරාධනයෙනි. 1956 තරම් ඈත සමයේ සිට සෝවියට් රුසියාව සිරියාවට මිලිටරි ආධාර ලබා දුන්නේය. ඒ සඳහා වලංගු ගිවිසුමක් පැවැති අතර සිරියාව ඒ අනුව රුසියාවෙන් යුද අධාර ඉල්ලා සිටින ලදී. රුසියානු ව්‍යවස්ථාදායකය විසින් 2015 සැප්තැම්බර් 30දා සම්මත කරන ලද යෝජනාවක් මගින් සිරියාවට ආධාර දෙන්නට ජනාධිපති පුතින්ට අවසර දුන් අතර ලබා දුන් ආධාර ප්‍රමුඛ වශයෙන් ම ගුවන් ප්‍රහාරක යානා විය. මේවා මගින් ලවක් දෙවක් නැතිව බෝම්බ හෙළූ සහ හෙළමින් සිටින අතර වැඩිම ජීවිත හානි සිදුව ඇත්තේ ඒවායින් බව ද සඳහන් ය. කෙසේ වෙතත් සිරියාවෙන් හතරෙන් තුනක් පමණ සිය ග්‍රහණයට නතු කැර ගෙන සිටි ඉසිස් සංවිධානය කුඩා බිම් කඩ දෙකකට පමණක් සීමා කරන ලද්දේ එම ගුවන් ප්‍රහාරවල හාස්කම් නිසා බැව් ප්‍රකට ය.  

මේ අතර ඉරානය සිරියානු රජයට ආධාර කරන හෙයින් අමෙරිකා එක්සත් ජනපදය සහ සවුදි අරාබිය ඊට එරෙහිව යයි.  

සති තුනකට පමණ පෙර තුර්කියද සිරියාව ආක්‍රමණය කළේ ය.   

සිරියාවේ සිවිල් යුද්ධය පිළිබඳ සම්පූර්ණ කතාව සංක්ෂිප්තව ඉදිරිපත් කිරීම අසීරු මෙන් ම වටහා ගැනීමට අසීරු එකකි. බොහෝ දෙනා සිතන්නේ එය ඉස්ලාමීය රාජ්‍යයට හෙවත් ඉසිස්ට එරෙහි ව සිරියානු රජය විසින් පවත්වා ගෙන යන්නක් ලෙස ය. එහෙත් ඇත්ත කතන්දරය ඊට ඉඳුරා ම වෙනස් ය. අවි අතට ගත් ජිහාඩිස්ට් කල්ලි විශාල සංඛ්‍යාවක් මෙන් ම බලගතු රටවල් කිහිපයක් ද ඊට පටලැවී සිටිති. ඒවායේ ප‍්‍රතිඵලය වන්නේ අසරණ සිවිල් වැසියන් ඊට බිලි වීමයි. එයිනුත් බහුතරය දරුවන් වීම සැබැවින් ම ඛෙදයකි.  

[එස්. නන්දලාල්]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?