ෂී ජින්පිං යටතේ චීනය සහ අපි

 ඡායාරූපය:

ෂී ජින්පිං යටතේ චීනය සහ අපි

මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ ඇති සීමා ඉවත් කිරීම සඳහා එරට කොමියුනිස්ට් පක්ෂය විසින් තීරණය කිරීමත් සමඟ මීළඟ වසර කිහිපය තුළ ෂී ජින්පිං යටතේ චීනය කෙබඳු ආකාරයකට හැසිරේද යන ප්‍රශ්නය පිළිබඳ විවිධ මත පළ වේ.

කලාපීය වශයෙන් සැලකීමේදී ඉන්දියාව මේ ප්‍රශ්නය දෙස බලන ආකාරය මෙහිදී ශ්‍රී ලංකාවට ද වැදගත් වනු ඇත​.

"අධිරාජ ෂී"

චීන ජනාධිපති ෂී ජින්පිංගේ නැගීම චීන කොමියුනිස්ට් පක්ෂය තුළ පසුගිය දශක කිහිපයේදී සිදු වූ එක් ජයග්‍රාහී කතා පුවතකි. එමෙන්ම ඔහුගේ බලයෙහි උපරිම අවස්ථාව ලෙස ධුර කාලයන් පිළිබඳ වූ සීමා ඉවත් වීම ගත හැක​.

ෂීගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයකු වුවද ඔහු සංස්කෘතික විප්ලවය සමයේදී බලතලවලින් නෙරපන ලදී. එවකට තරුණ වියේ වූ ෂී ජින්පිං ද ඈත පිටිසර ප්‍රදේශයකට යවන ලද නමුත් ඔහු එහිදී කොමියුනිස්ට් පක්ෂය තුළ ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රිය වූයේය​. සංස්කෘතික විප්ලවයෙන් පසු කලෙක ෂී ජින්පිං ෆුජියෑන් පළාතේ පක්ෂ ප්‍රධානියෙකු බවට පත්ව ඉහළට නැංගේ ය​.

චීනයේ නිල රාජ්‍ය නායකයා ජනාධිපති වුවද​, සත්‍ය වශයෙන් ම වඩා ප්‍රබල චරිතය වන්නේ කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ධුරය යි. තනි පක්ෂ පාලනයක් පවතින චීනයේ පාලක පක් ෂයට නායකත්වය දෙන තැනැත්තා එරට පාලනයේ ප්‍රධාන පුද්ගලයා වේ.

ෂී 2012 දී මෙම තනතුරට පත් වූ අතර 2013 දී ජනාධිපති ලෙස ද පත් කෙරිණ​. ඔහු එරට සන්නද්ධ අංශයන් හි ප්‍රධානියා ද වේ.
මේ අනුව​, අද වනවිට චීනයේ බිලියන 1.3 ක ජනගහනය ද​, මිලියන 1.6 ක සන්නද්ධ සේනාංක ද ඩොලර් ට්‍රිලියන 11 ක ආර්ථිකය ද පාලනය කරන්නා ෂී ජින්පිං ය​.

මාඕ, ඩෙංග් සහ ෂී

මහජන චීනයේ පළමු නායකයා වූ මාඕ සේතුංගේ පාලන සමය තුළ නායකත්වය සඳහා ධුර කාලයක් නොවී ය​. මාඕ චීනයේ අසහාය නායකයා විය​. කෙසේ වෙතත් මාඕගෙන් පසු ඩෙංග් ෂියාඕපිං ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන් අතර ජනාධිපතිවරයාගේ ධුර කාලය සීමා කිරීම ද ඒ අතර විය​.

ඩෙංග් හෝ වෙනත් කිසිදු චීන නායකයකු මාඕ සිටි ස්ථාවරය කරා ළඟා වූයේ නැත​. ෂී ජින්පිං ඒ ආසන්නයට පැමිණ තිබේ. 2017 ඔක්තෝබරයේදී පැවති චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී ගත් තීරණයක් වූයේ "ෂී ජින්පිං චින්තනය​" පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළු කිරීමය​. මීට පෙර මාඕගේ සහ ඩෙංගේ නමින් ඔවුනගේ චින්තනය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුල් කරන ලද නමුත් එයිනුත් ඩෙංග්ට එම ගෞරවය දෙන ලද්දේ ඔහු මියගිය පසු ය​. එහෙයින් මාඕගෙන් පසු ජීවත් ව සිටියදී ම තම චින්තනය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළු කරගත් තැනැත්තා වූයේ ෂී ය​.

ෂී මෙම ගමනේදී තමන්ට එරෙහි විය හැකි වූ බොහෝ කොමියුනිස්ට් පක්ෂ ප්‍රබලයින් පසෙකට තල්ලු කර දැමී ය​. ඒ බොහෝ දෙනාට එරෙහිව දූෂණ චෝදනා එල්ල කෙරුණ අතර, එම දූෂණ චෝදනා පිටිපස දේශපාලන අවශ්‍යතාවයක් ද වූ බවට පොදුවේ කතාබහට ලක් වන අදහසක් පවතී. කෙසේ නමුත් දූෂණ විරෝධී සටනකට චීනය තුළ සහය ලැබෙන බව ෂී ද තේරුම් ගන්නට ඇත​.

කෙසේ නමුත් ෂී කිසිදු අවස්ථාවක මාඕ සිටි අනභිභවනීය තලයට ළඟා නොවනු ඇත​. ඔහුට තමන්ට අවශ්‍ය පරිදි සියල්ල කළ හැකි වනු ඇත්තේ පක්ෂය තුළ ඔහුට බලය තිබෙන තාක් කල් පමණි. මාඕට වැරදි සිදු වුවද පක්ෂයේ කිසිවකුත් ඔහු ප්‍රශ්න කළේ නැත​. ෂීට ඒ ආකාරයේ වැරදි විය නොහැක​.

ඉදිරිය​

ෂීගේ පාලනය පිළිබඳ අපට පුරෝකථනය කළ හැක්කේ මෙම කරුණ ද සිතෙහි දරාගෙන ය​. එනම් ෂී ජින්පිංට වැරදීම් සිදු විය නොහැක​. ඔහු ඔහුගේ රටේ ආර්ථිකය සහ දේශපාලනය සමතුලිතව පවත්වාගෙන යා යුතුය​.

ෂී ජාත්‍යන්තර දේශපාලනය තුළ ඉදිරියේදී කුමන ආකාරයේ ස්ථාවරයක් ගන්නේ ද යන්න පිළිබඳ සාකච්ඡාවේදී වඩා ප්‍රබල ලෙස කටයුතු කරන චීනයක් බලාපොරොත්තු වන පාර්ශ්ව මෙන්ම පවතින තත්ත්වයෙහි විශාල වෙනසක් බලාපොරොත්තු නොවන්නෝ ද වෙති.

ලන්ඩනයේ කිංග්ස් කොලේජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හර්ෂ් වී. පාන්ට්ගේ මතය නම් වඩාත් ආක්‍රමණශීලී චීනයක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනයටත් වඩා ප්‍රබල ලෙස ලෝක දේශපාලනය වෙත  බලපෑමක් ෂීගේ බලය තහවුරු වීම තුළින් ඇතිවන බව ඔහුගේ අදහසයි.

මේ අතර තවත් විචාරකයන් මෙම අදහස සමඟ අඩු වැඩි වශයෙන් එකඟ වන අතර විශේෂයෙන්ම ආසියාතික කලාපයේදී චීනය සහ ඉන්දියාව අතර ඇති තරඟයට මෙය බලපානු ඇති බව ඔවුනගේ අදහසයි. විශේෂයෙන්ම චීනය සිය මූල්‍යමය ශක්තිය උපයෝගී කරගෙන ඉන්දියාවෙන් කලාපීය රටවල් තමා වෙත නැඹුරු කරගැනීම කෙරෙහි යොමු වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

මෙම උපක්‍රමය චීනය විසින් භාවිතා කරන්නේ ෂී බලයට පැමිණීමටත් පෙර ය​. මුල් කාලීනව දකුණු ඇමරිකාව සහ අප්‍රිකාව යන ප්‍රදේශවලත්, වර්තමානය වනවිට නැගෙනහිර සහ දකුණු යුරෝපයේත් චීන බලපෑම ව්‍යාප්තව පවතී. මෙය එක් අතකින් ඇමරිකාව සමඟ ද අනෙක් අතින් තායිවානය සමඟ ද චීනයට තිබුණු තරඟයේ අංගයන් විය​.

ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඇමරිකාව අන්තර් පැසිෆික් සහයෝගීතාවයෙන් ඉවත් වීම චීනයට ආසියානු කලාපයේ සිය බලපෑම පැතිරවීමට අවස්ථාවක් ගෙන දුන්නේ ය​. කෙසේ නමුත් කලාපයේ ඇතැම් රටවල් සහ චීනය අතර ඇති විවිධ අර්බුද හමුවේ ආසියානු රටවල් සියල්ල ම චීනය සමඟ සබඳතා වර්ධනය කරගැනීම කෙරෙහි එක සේ උනන්දු නොවේ. මෙම අවස්ථාව ඉන්දියාවට එම කලාපයේ සිය ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරගැනීමේ අවස්ථාවක් සපයයි.

චීනය සහ ඉන්දියාව යන දෙරට සමඟ ම නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේ සූදානමක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව මෙම ක්‍රියාවලිය තුළ වැදගත් රටකි. යම් හෙයකින් ෂී ජින්පිං යටතේ චීනය වඩා ආක්‍රමණශීලී ලෙස සිය බලය පැතිරවීමෙහි යෙදුණහොත් එය චීනය සහ ඉන් දියාව සමබර කිරීමේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග තවත් තීව්‍ර කරනු ඇත​. මෙහිදී චීනය සතුටු කරන්නේ ද​, ඉන්දියාව සතුටු කරන්නේ ද​, දෙරට ම සතුටු කරන්නේ ද​, ලාංකික ජනතාව සතුටු කරන්නේ ද යන උභතෝකෝටිකයට මුහුණ දීමට රජයට සිදු වනු ඇත​.

[චාමර සුමනපාල]


 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?