හිට්ලර්ට​ යටත් නොවූ ඔස්ට්‍රියානු පාපන්දු ශූරයා

 ඡායාරූපය:

හිට්ලර්ට​ යටත් නොවූ ඔස්ට්‍රියානු පාපන්දු ශූරයා

මතායස් සින්ඩෙලාර්

1939 ජනවාරි මස 23වනදා ඔස්ට්‍රියාවේ වියානා නගරයේ නිවසක තිබී මළ සිරුරක් සොයාගනු ලැබුණි. ඒ සමගම කාන්තාවක ද සොයාගන්නා ලද අතර ඇය ද පසුව මියගියා ය. ඔවුන් මිය ගියේ කාබන් මොනොක්සයිඩ් විෂ වීමෙන් බව මරණ සහතිකයෙන් ප්‍රකාශ වූයේ ය​. නමුත් එම නිල ස්ථාවරය සැක කළෝ බොහෝ වූහ​.

එදින මියගියේ, එවකට 35 වන වියෙහි පසු වූ, ඔස්ට්‍රියාවෙන් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා සේ සැළකෙන මතායස් සින්ඩෙලාර් ය​. ඔහුගේ පෙම්වතිය වූ කැමිලා කැස්ටැග්නෝලා ඔහු සමග වූ කාන්තාව වූවාය​.

සින්ඩෙලාර්ගේ මරණය පිළිබඳ සැක කිරීමට හේතු තිබුණි. එවකට ඔස්ට්‍රියාවේ පාලන බලය හෙබවූ හිට්ලර්ගේ නට්සි ජර්මනියට එරෙහි වීම හේතුවෙන් ඔහු

නට්සි නිලධාරීන්ගේ කෝපයට භාජනය වීම ඉන් ප්‍රධානම හේතුව ය​.

ක්‍රීඩා දිවිය​

සින්ඩෙලාර් උපන්නේ 1903 පෙබරවාරි 10 වනදා, එවකට ඔස්ට්‍රා-හන්ගේරියානු අධිරාජ්‍යයට අයත් වූ වර්තමානයේ චෙක් ජනරජයේ පිහිටි මොරේවියා ප්‍රදේශයේ කම්කරු පවුලක ය. ඔහු යුදෙව් සම්භවයකින් යුතු වූවෙකැයි පසු කලෙක ඇතැම් විචාරකයින් වාර්තා කළ ද සත්‍ය වශයෙන් ම ඔහු ජර්මානු සම්භවයකින් යුක්ත වූ අයෙක් විය​. ඔහුට වයස අවුරුදු දෙකක් වෙද්දී මැතායස්ගේ දෙමාපියෝ වියානා නගරයට පදිංචිය පිණිස පැමිණියහ​.

තරුණ ක්‍රීඩකයකු ලෙස මැතායස් පාපන්දු ක්‍රීඩාව ඇරඹුවේ පළමු ලෝක යුද්ධය නිමා වන පසුබිමෙහිය. 1924 දී ඔහු එවකට වීනර් ඇමචුවර් - නමින් හඳුන්වන ලද වර්තමානයේ ඔස්ට්‍රියා වියානා නම් වන ක්‍රීඩා සමාජයට බැඳුණි. එමෙන්ම ඔහුගේ ක්‍රීඩා කෞශල්‍යය හේතුවෙන් ඔහු 1926 දී ඔස්ට්‍රියා ජාතික කණ්ඩායමට බඳවා ගනු ලැබුණි.

නමුත් එම දශකයේ අවසන් වසර දෙක හෝ තුන තුළ ඔහුට ජාතික කණ්ඩායමෙහි අවස්ථා හිමි නොවුණි. එවක පුහුණුකරු හියුගෝ මීස්ල, මැතායස් සින්ඩෙලාර් ව නුරුස්සන තත්ත්වයක් පැවතියේ ය​. නමුත් පසුව විවිධ අංශවලින් එල්ල වූ බලපෑම් මත සින්ඩෙලාර් ජාතික කණ්ඩායමට ඇතුලත් කර ගන්නා ලදී. ඔහුගේ සැබෑ දස්කම් ඉස්මතු වූයේ එම අවස්ථාවේ ය​.

ආශ්චර්යමත් කණ්ඩායම​

මීස්ල විසින් පුහුණු කරන ලද එවක ඔස්ට්‍රියානු කණ්ඩායම ලොව හොඳම පාපන්දු පිළය යන පිළිගැනීමක් පාපන්දු ලෝකයේම තිබුණි. එම කණ්ඩායම "වුන්ඩර්ටීම්" (ආශ්චර්යමත් කණ්ඩායම) යන නමින් ලොව පතල විය. 1934 ලෝක කුසලානයේදී ආන්දෝලනාත්මක විනිසුරු තීරණ හේතුවෙන් අවසන් පූර්ව වටයේදී එම කණ්ඩායම ඉතාලියට පරාජය විය​. එම තරගාවලියේ සත්කාරකයන් වූයේ ද ඉතාලිය යි. මෙම තරගයේදී සින්ඩෙලාර් දිගින් දිගටම ඉතාලි ක්‍රීඩක ලුවී මොන්ටිගේ හිරිහැරයනට ලක් වූ නමුත් විනිසුරු ඒ පිළිබඳ කිසිත් නොකළේ ය​.

1938 ලෝක පාපන්දු කුසලානය එළඹෙන විට ද ඔස්ට්‍රියාව එය ජය ගැනීම සඳහා ප්‍රධාන තරගකරුවෙක් විය​. එහෙත් එවිට ඉතිහාසය ඔස්ට්‍රියාවට හරස් වූයේ ය. වඩාත් නිවැරදිව කිවහොත් ඇඩොල්ෆ් හිට්ලර් ඔස්ට්‍රියාවට හරස් වූයේ ය​.

 

අන්ෂ්ලුස්

1938 මාර්තු 12 වනදා නට්සි ජර්මනිය විසින් ඔස්ට්‍රියාව ඈඳා ගන්නා ලදී. මෙම සිද්ධියට නට්සින් විසින් "අන්ෂ්ලුස්" (එක් වීම​) යන නම තබන ලදී. මෙම "එක් වීම​" අතිශයින් නිර්ලජ්ජිත වූ තර්ජන ගර්ජන මගින් සිදු කරන ලද ක්‍රියාවලියකි. එය දිගු ලිපියකින් හෝ පොතකින් විනා මෙවන් කෙටි ලිපියකින් විග්‍රහ කළ නොහැකි ය​.

මෙම "එක් වීමෙන්" පසු ඔස්ට්‍රියා ජාතික කණ්ඩායමට ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමේ අවස්ථාව නට්සින් විසින් නැති කරන ලදී. ඔස්ට්‍රියාව නට්සි ජර්මනිය තුළ "ඔස්ට්මාර්ක්" යයි හඳුන්වන ලද අතර දෙරටේ ඒකාබද්ධතාව "සැමරීම​" උදෙසා 1938 අප්‍රේල් 3 වනදා ජර්මනිය සහ ඔස්ට්මාර්ක් අතර තරගයක් සංවිධානය කෙරිණ​.

මෙම තරගය නට්සි නිලධාරීන්ට ලජ්ජා සහගත ප්‍රතිඵලයක් ගෙන ආවේ ය​. ඔස්ට්‍රියානු ක්‍රීඩකයන්ට ජය පරාජයෙන් තොරව තරගය නිම කරන ලෙස උපදෙස් ලැබුණ බව සාමාන්‍ය විශ්වාසයය​. සින්ඩෙලාර් අවස්ථා ගණනකදීම ජර්මන් දැල දෙපසින් පහරවල් එල්ල කළේ ඕනෑකමින්ම බව පැහැදිලි වූයේය. නමුත් 70 වන මිනිත්තුවේදී මෙම ප්‍රෝඩාව අවසන් කළ සින්ඩෙලාර් ගෝලයක් වාර්තා කළේය. ඉන් සුළු වෙලාවකට පසු ඔහුගේ මිත්‍ර කාර්ල් සෙස්ටා තවත් ගෝලයක් වාර්තා කළ අතර නට්සි නිලධාරීන් ඉදිරිපිට ම සින්ඩෙලාර් නටමින් සිය සතුට පළ කළේ ය​. මෙම ක්‍රියාව නට්සින්ගේ දැඩි කෝපයට හේතු විය​. තරගය 2-0 ක් ලෙස ඔස්ට්මාර්ක් පිල විසින් ජය ගන්නා ලදී.

ජර්මන් පිළ ප්‍රතික්ෂේප කිරීම​

ඔස්ට්‍රියානුවන්ට ජර්මන් පිළ නියෝජනය කරන ලෙස ඉල්ලිම් ආව ද සින්ඩෙලාර් එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය​. තමාට වයස අවුරුදු 35 ක් බවත්, තමා ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බවත් ඔහු කියා සිටියේ ය​. සින්ඩෙලාර්ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් පිළිබඳව ද විශේෂ රහසක් නොවී ය​.

තත්ත්වය තවත් දරුණු වූයේ, නව නට්සි නීති හේතුවෙන් දේපළ සහ වෙළෙඳසැල් හිමිකම අහිමි කරන ලද යුදෙව්වන් අතුරින්, එක් යුදෙව්වෙකුට අයත් වූ ආපණ ශාලාවක් සින්ඩෙලාර් විසින් මිලට ගැනීමත් සමග ය​. ඔහු ඒ සඳහා සාධාරණ මිලක් ගෙවූයේ ය​.

මේ අතර බලෙන් සහ කැමැත්තෙන් එකතු වූ ඔස්ට්‍රියානුවන්ගෙන් ද ශක්තිමත් වූ ජර්මන් පිළ 1938 ලෝක කුසලානයේ පළමු වටයේදී ස්විට්සර්ලන්තයට පරාජය වී ඉවතට විසි වූයේ ය​. මෙවර (2018) ලෝක කුසලානයේ පළමු වටයෙන් ඉවත් වීමට පෙර, එදා මෙදාතුර ජර්මන් පිළක් ලෝක කුසලානයක පළමු වටයෙන් ම ඉවතට විසි වූ එකම අවස්ථාව එය ය​. මෙය ජර්මන් ජාතියේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ උදම් අනන හිට්ලර් දැඩි සේ ලජ්ජාවට පත් කළේ ය​.

ඉන් මාස ගණනකට පසු සින්ඩෙලාර් මිය ගියේය​.

අනතුරක්?

මෙම මරණය හදිසි අනතුරක් යයි විග්‍රහ කිරීම මගින් රාජ්‍ය අනුග්‍රහ සහිතව අවමගුල පැවැත්වීමට නට්සි රජයට අවස්ථාවක් ලැබුණි. නමුත් මෙය හදිසි අනතුරක්ද, ඝාතනයක් ද​, සිය දිවි නසා ගැනීමක් ද යන්න අදටත් පවතින විවාදයකි. සින්ඩෙලාර්ගේ සමීපතමයින් සඳහන් කළේ නට්සින්ගේ හිරිහැර හමුවේ ඔහු පීඩනයට පත් ව සිටිය ද සින්ඩෙලාර් යනු සිය දිවි නසාගන්නා ආකාරයේ අයකු නොවූ බව ය​. මේ අතර ඔහුගේ මරණය පිළිබඳ පරීක්ෂණ නවතා දමන ලදින් එය රජයේ අවශ්‍යතාව මත කෙරුණ ඝාතනයක් වීද යන සැකය වර්ධනය වූයේ ය​.

කෙසේ වෙතත්, ඔස්ට්‍රියාව නට්සි පාලනයට නතු නොවූයේ නම් සින්ඩෙලාර්ගේ ක්‍රීඩා දිවිය මීට වඩා බොහෝ සෙයින් පැහැබර වීමට ඉඩ තිබුණ බව අවිවාදිත කරුණකි. එමෙන්ම ඔස්ට්‍රියාවට ද 1938 ලෝක කුසලානය දිනා ගැනීමේ පැහැදිලි අවස්ථාවක් හිට්ලර්ගේ ක්‍රියාකලාපය විසින් අහිමි කරන ලදී.

[චාමර සුමනපාල]

මාතෘකා