මානව හිමිකම් කවුන්සිලයට එල්ල වූ "ට්‍රම්පියානු" ප්‍රහාරය​

 ඡායාරූපය:

මානව හිමිකම් කවුන්සිලයට එල්ල වූ "ට්‍රම්පියානු" ප්‍රහාරය​

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ස්වදේශ ප්‍රතිපත්තිවලදී හෝ විදේශ ප්‍රතිපත්තිවලදී හෝ "බාග පියවර" (half measures) ගන්නකු නොවේ. ඒ බව පැහැදිලි කරන තවත් සිදුවීමක් වූයේ පසුගිය අඟහරුවාදා (ජූනි 19) තම රට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රකාශ කිරීමයි.

මෙම තීරණය නිවේදනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපද නියෝජිත නික්කි හාලේ සඳහන් කළේ මානව හිමිකම් කවුන්සිලය ඉතාම පක්ෂග්‍රාහී ලෙස ඊශ්‍රායල විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ය​. තව ද එම කවුන්සිලය වෙනත් මානව හිමිකම් කඩ කරන්නන් ආරක්ෂා කරන බව කියන හාලේ, ඇමරිකාව එහි සාමාජිකයකු ව සිටිමින් එවන් ආයතනයකට වලංගුභාවයක් දීම නුසුදුසු බව කියා සිටියා ය​.

එමෙන්ම මානව හිමිකම් කවුන්සිලය ස්වාර්ථකාමී ආයතනයක් බවත් එහි ඇතැම් සාමාජික රටවල්වලට මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ චෝදනා එල්ල වනවිට එය ඒ පිළිබඳ කටයුතු නොකරන බවටත් ඇමරිකා එක්සත් ජනපදය චෝදනා කරයි.

පදනමක් සහිත චෝදනා

ඇමරිකා එක්සත් ජනපදය විසින් එල්ල කරනු ලබන්නේ පදනම් විරහිත චෝදනා නොවේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිරන්තරයෙන් ඊශ්‍රායලය විවේචනය කිරීම පිළිබඳ වෙනත් රටවල් ද ඇතැම් අවස්ථාවල ප්‍රශ්න මතු කර තිබේ. විශේෂයෙන්ම ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන මානව හිමිකම් කඩවීම් පිළිබඳ නිරන්තර (බොහෝ විට පදනමක් සහිත​) චෝදනා කරන කවුන්සිලය අනෙක් ඇතැම් රටවල් පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව අසත්‍යයක් නොවේ.

සිවිල් සහ දේශපාලනික අයිතීන් අනුසාරයෙන් රටවල් වර්ගීකරණය කරන ෆ්‍රීඩම් හවුස් (Freedom House) ආයතනයට අනුව වත්මන් මානව හිමිකම් කවුන්සිල සාමාජිකයන් අතර රටවල් 21 ක් "නිදහස තහවුරු කළ" (Free) රටවල් වන අතර තවත් 12 ක් "අර්ධ වශයෙන් නිදහස තහවුරු කළ​" (Partly Free) රටවල් ද ඉතිරි 14 "නිදහස තහවුරු නොකළ රටවල්" (Non-free) ද වේ. මෙම වර්ගීකරණයට පාදක කරගන්නා සාධක පිළිබඳ ගැටලු තිබිය හැකි වුවද මෙහි අදහස වන්නේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් අර්ධයකට වඩා මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න සහිත රටවල් බව ය​.

කවුන්සිල දේශපාලනය​

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සාමාජිකයන් 47 ක් ඇතුළත් ය​. එම සාමාජිකයන් ලෝකයේ එක් එක් ප්‍රදේශ මට්ටමෙන් තෝරාගන්නා අතර එක්සත් ජාතීන් ගේ සාමාජිකයන් විසින් එම තෝරාගැනීම කරනු ලබයි. ඒ අනුව අප්‍රිකානු රටවල් 13 කට​, ආසියානු රටවල් 13 කට​, නැගෙනහිර යුරෝපා රටවල් 6 කට​, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවල් 8 කට සහ බටහිර යුරෝපානු සහ වෙනත් ප්‍රදේශවල රටවල් 7 කට කවුන්සිලයේ ඉඩ වෙන් කර ඇත​. සාමාජික රටක ධුර කාලය වසර තුනකි. එක් රටකට පිට පිට දෙවරක් සාමාජිකත්වය ලබාගැනීමේ ඉඩ තිබේ. පිට පිට තුන් වතාවක් සාමාජිකයකු වීමට ඉඩක් නොමැත​.

ඡන්දයෙන් තෝරාගන්නා බැවින් එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් අතර රාජ්‍ය මට්ටමෙන් අනුග්‍රහය දිනාගෙන සිටින රටවලට මේ සඳහා තේරී පත් වීම කළ හැක​.

කවුන්සිලය තුළ යම් කිසි රටකට එරෙහිව පියවර ගැනීමේදී ද සිදු වන්නේ මෙය ය​. එය "අංක ගණිතමය ක්‍රියාවලියක්" මිස මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක් ම නොවේ.

මෙහි අදහස මානව හිමිකම් කවුන්සිලය සම්පූර්ණයෙන් ම නිශේධනාත්මක සංවිධානයක් යන්න නොවේ. නමුත් එහි සිදුවන සැම දෙයක් ම මානව හිමිකම් පිළිබඳව කියාපාන පැතිකඩක් ම නොවන්නේ ය​. ඒ අර්ථයෙන් ගත් කළ ට්‍රම්ප් පරිපාලනයේ චෝදනා අසාධාරණ නැත​.

ඇමරිකාව ඉලක්ක වීම​

ඇමරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විවේචනය කරනුයේ අද ඊයේ නොවේ. 2006 දී මෙම ආයතනය පිහිටවූ අවස්ථාවේ, එවක ජනාධිපති වූ ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ පාලනය එම ආයතනයට එක් වීමෙන් වැළකී සිටියේ ය​. පසුව පැමිණි ඔබාමා පරිපාලනය එම ආයතනය හා එක් වූයේ පිටත සිට ගල් ගැසීමට වඩා ඇතුලත සිට ආයතනය වෙනස් කිරීමට උත්සාහයක් ගැනීම වඩා ප්‍රායෝගික වනු ඇතැයි යන අදහස මත ය​. නමුත් ට්‍රම්ප් එම අදහස හා එකඟ වන බවක් නොපෙනේ.

ට්‍රම්ප්ගේ මෙම විපර්යාසය එකවර ම වූවක් නොවන අතර ඊශ්‍රායලය සම්බන්ධව ඔහුගේ පරිපාලනය විසින් ගෙන දක්වන ලද අදහස් ද කලක පටන් ඇසීමට ලැබුණ මතයකි. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට කටයුතු කළේ එරටට එරෙහිව කවුන්සිලය වෙතින් චෝදනා එල්ල වීමත් සමග වීම විශේෂත්වයකි.

මෙක්සිකෝවෙන් පැමිණෙන සංක්‍රමණික පවුල්වලින් ඔවුනගේ ළමුන් වෙන්කර රැඳවීම පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයට දරුණු චෝදනා එල්ල වන්නට පටන් ගෙන තිබිණ​. එක් වතාවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ ලේකම් සෙයිද් රාද් අල් හුසේන් සඳහන් කළේ මෙය රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කෙරෙන ළමා අපචාරයක් හා සමාන බවයි.

මෙවන් චෝදනා එල්ල වන අවස්ථාවේ ඇමරිකා එක්සත් ජනපද කළේ ඊශ්‍රායලය සහ මානව හිමිකම් කවුන්සිලයේ ඇතැම් ප්‍රශ්නකාරී රටවල් දෙසට අවධානය යොමු කෙරෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු කරමින් කවුන්සිලයෙන් ඉවත් වීමය​. තමන්ට චෝදනා කරන ආයතනයේ සදාචාරාත්මක අයිතිය ප්‍රශ්නයට නැගීම මගින් තමන්ට එරෙහි චෝදනා යටපත් කිරීම ට්‍රම්ප් පරිපාලනයේ උත්සාහය වන බව පෙනී යයි.

මෙම ප්‍රතිපත්තිය මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ විවේචනයට භාජනය වූයේ ය​. හියුමන් රයිට්ස් වොච් ආයතනයේ ප්‍රධානී කෙවින් රොත් සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද ප්‍රකාශය මගින් මානව හිමිකම් කවුන්සිලය විසින් ගන්නා ලද සාධනීය පියවර ද සම්පූර්ණයෙන් නොසලකා හැර ඇති බව ය​.

ට්‍රම්ප් යටතේ ඇමරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තර එකඟතාවලින් සහ සංවිධානවලින් ඈත් වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව පැහැදිලි ය​. ට්‍රම්ප් පැරිස් ගිවිසුමෙන් ඉවත් වූ අතර යුනෙස්කෝවෙන් ද ඉවත් විය​. අන්තර් පැසිෆික් වෙළෙඳ එකඟතාවයෙන් ද ඉවත් වූයේ ය. ඉරාන න්‍යෂ්ටික එකඟතාවට ද පයින් ගසා අනෙකුත් G-7 සාමාජික රටවල් සමග ද ගැටුණේ ය​​. යුරෝපා සංගමය සහ චීනය සමග තීරු බදු යුද්ධවලට ද පැටළුණේ ය​.

දිගු කාලීනව ගත් කළ ජාත්‍යන්තර සම්මුතීන් සහ සංවිධානවලින් ඉවත් ව කටයුතු කිරීම ඇමරිකාවට කොයි ආකාරයෙන් බලපෑවත්, එහි වෙනත් අනතුරුදායක ප්‍රවණතාවයක් පවතී. එනම්, චීනයට සහ රුසියාවට ඇමරිකාව විසින් ඇති කරන රික්තකයට රිංගා ගැනීමට ඉඩ සැලසීමයි. අනාගතයේදී ලෝකයේ මානව හිමිකම් පිළිබඳ අනෙක් රටවල්වලට අවවාද කරන ප්‍රමුඛයකු බවට චීනය පත් වුවහොත් ඊට වගකිව යුතු එක් අයකු වනු ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය​.

මාතෘකා