ලංකාවේ වාගේ බෙදිලි මෙහේ නැහැ

 ඡායාරූපය:

ලංකාවේ වාගේ බෙදිලි මෙහේ නැහැ

ඔස්ට්‍රේලියාවේ හියුම් නගර සභාවේ හිටපු උප නගරාධිපති චන්ද්‍රා දයා බමුණුසිංහ

ඔබ ඔස්ට්‍රේලියාවට යන්නේ කොහොමද?

1987 දි ඔස්ට්‍රේලියාවේ වෘත්තීය පදනම මත (Skilled Migration) ලංකාවෙන් වගේම ලෝකයේ බොහෝ රටවල්වලින් ශ්‍රමිකයන් බඳවා ගැනීමක් කළා. ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය නගා සිටුවීමයි මෙහි අරමුණ වුණේ. ඒ කාලයේ තමයි මම සංක්‍රමණය වුණේ. එහෙදී මම තවත් වැඩිදුර අධ්‍යාපනය සිදුකළා. ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවරයෙකු ලෙස මම 2016 දක්වා සේවය කළා. මම ඔස්ට්‍රේලියාවේ වෘත්තීය සමිතිවල වැඩ කළා. ඔස්ට්‍රේලියාවේ වැඩකරන ජනතාවගේ වෘත්තීය සමිතියේ කොන්ටෙක්ස් ගුවන් සමාගමේ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් බොහෝ සටන් කළා.

ලංකාවේ දේශපාලනයට සම්බන්ධ නොවුණු ඔබ ඔස්ට්‍රේලියාවේ දේශපාලනයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ඔස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂයට මගේ සහයෝගය දුන්නා. ලිස් බීටි නම් මන්ත්‍රීවරිය තමා මගේ දේශපාලන ගමනේ මුල සිටම හිඳි චරිතය. ඇය තමයි මගේ උපදේශකවරිය. තව ගාමිණී පෙරේරා කියලා කෙනෙක් හිටියා. ඔහුත් මගේ දේශපාලන ගමනේදී මට බොහෝ උපකාර කළා. මම ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයා. ඒත් මම මැතිවරණයට ඉදිරිපත් වෙච්ච අවස්ථාවෙදි එජාපය, ජනතා විමුක්ති පෙරමුණ, දමිළ, මුස්ලිම් ශ්‍රී ලාංකිකයෝ හැමෝම මට සහයෝගය දුන්නා.

හියුම්වල වැඩිපුර ඉන්නේ සිංහල ජනතාවද?

නැහැ. හියුම්වල ජනගහනයෙන් සියයට එකක් පමණයි ශ්‍රී ලාංකිකයන් ඉන්නේ. ඒත් අපිට දිනන්න ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දය අනිවාර්යයි. ඔස්ට්‍රේලියාවේ නගර සභා සහ ප්‍රාන්ත රජයන් සඳහා ඡන්දයට ඉදිරිපත් වීමෙදී ඕනෑම පුරවැසිභාවයක් තිබුණට ගැටළුවක් නැහැ. නමුත් ඔස්ට්‍රේලියානු පෙඩරල් රජයට තෝරා පත්කර ගන්නා සාමාජිකයන් ඔස්ට්‍රේලියානු පුරවැසියන් විය යුතුය.

ලාංකික ප්‍රජාවට ඔස්ට්‍රේලියාව තුළ මොනවගේ තත්ත්වයක්ද තිබෙන්නේ?

ඔස්ට්‍රේලියාවේ අපේ ජනතාවට තියෙන්නේ ඇත්තටම හොඳ තැනක්. මොකද ලාංකිකයන් සිංහල, මුස්ලිම්, දමිළ, බර්ගර් සහ මැලේ යන සියලුදෙනා ඉතාමත් සහයෝගයෙන් ජීවත්වන පිරිසක් ලෙස ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙනවා. වික්ටෝරියාවේ වසර පහක්ම ශ්‍රී ලංකා ප්‍රජාව තමයි හොඳම ප්‍රජාව විදියට වඩා ඉදිරියෙන් සිටියේ. දැන් වුණත් අපි හොඳ ප්‍රජාවක්. ඒ විතරක් නෙවෙයි ලාංකිකයන් තමයි අධ්‍යාපනය සඳහා වැඩිම මුදලක් වියදම් කරන්නේ.

ඔස්ට්‍රේලියානුවන් අතර ශ්‍රී ලාංකිකයන්ට තියෙන ස්ථානය ගැන කිවුවොත්?

ශ්‍රී ලාංකිකයෙක්ගේ අසල්වැසියා විදියට ජීවත්වෙන්න පුලුවන් නම් ඒක තමයි හොඳම දේ කියන එක විරුද්ධ පක්ෂයේ නායකයා වෙන බිල් ෂෝට්න් මහතා අවුරුදු උත්සවයකට ඇවිත් කිවුවා. ඒකෙන්ම පැහැදිලි වෙනවා ඔස්ට්‍රේලියානුවන් අතරේ ලාංකිකයන්ට තියෙන තැන. ලාංකිකයන් බොහෝ දෙනෙක් ඉගෙනගෙන හොඳ රැකියාවල් කරනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්.

ශ්‍රී ලංකාව තුළදී ඔබේ අධ්‍යාපනික පසුබිම ගැන කිව්වොත්?

මම පානදුරේ අරුක්ගොඩ කියන ගමේ ඉස්කෝලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා, අළුබෝමුල්ල විද්‍යාලයේ ද්විතියික අධ්‍යාපනය ලබලා, ජර්මානු තාක්ෂණ අභ්‍යාස ආයතනය, කටුබැද්ද තාක්ෂණ විද්‍යාලය, කටුනායක තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනගත්තා. පසුව මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණා. ඔස්ට්‍රේලියාවෙදි RMIT විභාගයයට පෙනී හිටියා.

සමාජ සේවය කරන්න ගත්තේ මොන කාලෙද?

ඔස්ට්‍රේලියාවට ඇවිත් අවුරුදු දෙකක් ගතවෙද්දිම සමාජ සේවය පටන් ගත්තා. ලංකාවෙ ඉදිද්දිත් සමාජසේවා කටයුතු කරලා තිබෙනවා. මම යෞවන සමාජයේ සභාපති වෙලා ඉන්න කාළේ ගම් හතක් එකතුකරගෙන විශාල අවුරුදු උත්සවයක් සංවිධානය කළා. ඊට කලින් ගමේ කවදාවත් අවුරුදු උත්සවයක් තිබිලා නැහැ. ගමේ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මම හැම වෙලාවකම ඉදිරිපත් වුණා. ඒත් ලංකාවෙදි මම පක්ෂ දේශපාලනය කළේ නැහැ.

ඔස්ට්‍රේලියාවට යනකොට ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙනවා. ඔබ ඒ සඳහා සූදානම් වුණේ කොහොමද?

මම අලුබෝමුල්ල විද්‍යාලයේ ඉංග්‍රීසිත් ඇතුළුව විෂයන් අටම පාස් වුණ එකම ළමයා. ඒත් මම ඉංග්‍රීසි කතාකරන පවුලක ළමයෙක් නෙවෙයි. මම ගොවි පවුලක කෙනෙක්. මැලේසියාවේ ප්‍රධාන සංඝනායක වන අලුබෝමුල්ලේ රතනසිරි ස්වාමීන්වහන්සේ තමයි පාසල් යන කාළේ ඉඳලා මගේ හොඳම යාළුවා. අප දෙදෙනා මොරටුවේ ජයමහ කියන ගුරුවරයා ළඟට ගිහින් මේස නැති පුටු විතරක් තියෙන පන්තියක අවුරුදු ගණනාවක් ඉංග්‍රීසි ඉගෙනගත්තා. ඒ දැනුමත් සමඟ මම ඔස්ට්‍රේලියාවට ගියේ.

ඔස්ට්‍රේලියානුවන් ලංකිකයන්ට වඩා වෙනස් වෙනනේ කොහොමද?

ඒ මිනිස්සු අවංකයි. ඒ වගේම වෙලාවට වැඩකරනවා. කියන දේ කරනවා. කතා අඩු වැඩ වැඩි ජනතාවක්. දේශපාලනඥයන්ගේ කතාත් විනාඩි දෙක තුනකින් ඉවරයි.

ලංකාවෙ ජීවත්වෙලා ඔස්ට්‍රේලියාවේ ජීවිතය ආරම්භ කරන විට දැනුණු සංස්කෘතික ඝට්ඨනයට මුහුණ දුන්නේ කොහොමද?

විශේෂයෙන්ම ලංකාවේ අපිට පුරුදු ආගමික පරිසරයක ජීවත් වෙලා. ඒත් ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාවෙම තියෙන්නේ නිරාගමික කියලා. ඔස්ට්‍රේලියාවේ සියයට විසි පහකටම ආගමක් නැහැ. මට තිබුණු විශාලම ගැටලුව අපේ ළමයි කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කියන දේ. ඒ අය ඉපදෙන්නේ එක සංස්කෘතියක. ජීවත්වෙන්නේ තවත් සංස්කෘතියක. ආශ්‍රය කරන්නේ සංස්කෘති කිහිපයක මිනිස්සුන්ව. ඒත් ඔවුන්ට ඒකෙන් භාෂා කිහිපයක් කතා කිරීමේ හැකියාව ලැබුණා. වෛද්‍ය විද්‍යාත්මකව හොයාගෙන තිබෙනවා භාෂා කිහිපයක් කතා කළ හැකි ළමුන්ගේ මතක ශක්තිය වැඩියි කියලා.

ඔස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂය ගැන යමක් කිව්වොත්?

මමත් කම්කරු පක්ෂයේ සාමාජිකයෙක්. බිල් ෂෝටන් තමයි එම පක්ෂයේ නායකයා. ඔහු හා මා අතර ඇත්තේ සමීප සම්බන්ධතාවයක්. යම් පක්ෂයක් ඡන්දයකට ගිහින් ආණ්ඩුවක් පත්කිරීමට නොහැකි වුවහොත් එම පක්ෂයේ නායකයා ඉල්ලා අස්වෙනවා. කම්කරු පක්ෂයේ වාමාංශික හා දක්ෂිණාංශික කියලා කොටස් දෙකක් තියෙනවා. මම කම්කරු පක්ෂයේ වාමාංශිකයෙක්.

ලංකාවේ අය ඇයි මේ තරම් ඔස්ට්‍රේලියාවට එන්න උත්සාහ කරන්නේ?

අපි මීට වඩා හොඳ රටක් හොයාගෙන යන්න ඕන කියන මතය නිසා තමයි නීති විරෝධීව හෝ ලංකාවට එන්න උත්සාහ කරන්නේ. අපේ අය මෙහේ සැපට දුක්විඳිනවා කියන එක බොරු නෙවෙයි, ඒක ඇත්තක්. සල්ලි, වාහන, ළමයින්ට අධ්‍යාපනය දෙනවා. ඒත් අපි ණයකාරයෝ. සමහර වෙලාවට ගෙයකට අවුරුදු තිහක් ණය ගෙවනවා.

දේශපාලනමය වශයෙන් ඔබට ඔස්ට්‍රේලියාවේ ඇති පිළිගැනීම කොහොමද?

මම ආගමන ඇමතිවරයාගේ උපදේශකයෙක් ලෙස අවුරුදු දෙකක් සේවය කළා. වික්ටෝරියාවේ බහු සංස්කෘතික කොමිසමේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළා අවුරුදු තුනක්. ඒ කම්කරු පක්ෂය වගේම ලිබරල් පක්ෂය යන පක්ෂ දෙකම පවතිද්දි. උතුරු වික්ටෝරියානු සුභසාධක සංගමයේ සභාපති ලෙස අවුරුදු අටක් සේවය කළා. අපි සිංහල- දමිළ අවුරුදු උත්සවය දැන් අවුරුදු හතක් තිස්සේ කරනවා. හත් දහසක පමණ පිරිසක් ලාංකිකයෝ ඒ සඳහා සහභාගි වෙනවා.

ලංකාවෙන්, ඕස්ට්‍රේලියාවේ දේශපාලනයට ගිය මුල් කෙනා ඔබද?

බොහෝ දෙනෙක් නගර සභාවට තරඟ වැදුණා. ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හතක් තියෙනවා. ප්‍රාන්ත හතට වෙනම ආණ්ඩුකාරවරු හත්දෙනෙක් ඉන්නවා. වික්ටෝරියා රජය ප්‍රාන්ත රජයක්. ලංකාවේ ජූඩ් පෙරේරා වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළා. මම ඔහුට උදවු කළා. මේ වෙද්දි පාර්ලිමේන්තුවට කදිරා කියන තරුණයා තරඟ වදිනවා. ඔහු ලාංකිකයෙක්. තවත් තරුණියක් සිටිනවා. ඇය හිටපු නාගරික මන්ත්‍රීවරියක් සහ දැනට ඔස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂයේ උප සභාපතිවරිය.

උප නගරාධිපතිවරයා ලෙස ඔබට පැවරී තිබුණ වගකීම් මොනවාද?

නගර සභාවට අයිති පාරවල්, පෙර පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන, පුස්තකාල, අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියක් පවත්වාගෙන යාම, ඒවා නිසි පරිදි කළමනාකරණය කිරීම, රථ ගාල් නිර්මාණය කිරීම, ප්‍රාදේශීය නීති සම්පාදනය කිරීම, ආහාර පාන සම්බන්ධ ගැටලු, නිවාස සකස් කිරීමේ ගැටලු ආදිය නගර සභාවක් විසින් කළ යුතු දේවල් සියල්ල මම අතින් සිදුවුණා. කාන්තාවන්ට වන අඬදබර සහ අඩත්තේට්ටම් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා.

මේ වෙද්දි ඔස්ට්‍රේලියාවේ තියෙන ප්‍රධානතම ගැටලුව කුමක්ද?

විශ්‍රාම යද්දි ආදායම අඩු නම් විතරක් විශ්‍රාම වැටුපක් ලබාදෙනවා. නැත්නම් විශ්‍රාම වැටුප කප්පාදු කරනවා. ඒක ඇත්තටම ඔස්ට්‍රේලියාවේ දැනට තියෙන ප්‍රධාන ගැටලුවක්.

ශ්‍රි ලංකාවේ ගැටලු සම්බන්ධයෙන් එරට ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිචාරය කුමක්ද?

අපි මෙහේ හිටියට ලංකාවේ ගැටලු ගැන සැලකිලිමත්. ඔස්ට්‍රේලියාවේ ආගම් ගණනාවක් එකතුවෙලා අපි සංගමයක් පිහිටුවාගෙන ඉන්නවා. ලංකාවේ හැම ආගමකම අය ඒ සංගමයේ ඉන්නවා. ලංකාවේ සිංහල මුස්ලිම් කෝලාහල ඇති වුණු වෙලාවේ අපි හැමෝම එකතුවෙලා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්තුමාට එන්න කියලා රැස්වීමක් පැවැත්වුවා. සියලුම අන්තවාදින් වෙනුවෙන් විරුද්ධ වෙන්නත්, ලංකා රජයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලුවා.

සිංහල වාසගම් සහිත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් බිහිවීම සිදුවෙනවා. ඔස්ට්‍රේලියානු සංස්කෘතියට ඒක බලපාන්නේ කොහොමද?

ඔස්ට්‍රේලියානුවන්ට අපේ නම් කියවගන්න බැරි එක තමයි ලොකුම ගැටලුව. හියුම් නගර සභාවේ මම ඉඳිද්දි එක් ලක්ෂ අසූ දහසක් මිනිස්සු හිටියා. වර්ග කිලෝ මීටර් පන්සිය පහක ප්‍රමාණයක්. ඒත් ඒ හැම කෙනෙක්ට අපි ලාංකිකයෝ කියන දේ අදාළ නැහැ. මොන නම, නාමය තිබුණත් ඒ රටේ ඉන්නේ ඔස්ට්‍රේලියානුවෝ කියන මතයේ තමයි හැමෝම ඉන්නේ.

ඔස්ට්‍රේලියානු සහ ලාංකික දේශපාලනඥයන් අතර මොනවගේ වෙනසක්ද ඔබ දකින්නේ?

ඔස්ට්‍රේලියාවේ කිසිම දේශපාලනඥයෙක් ගසාකන්නේ නැහැ. මොකද එහෙම කරන්න බැරිවෙන විදියට මෙහේ ක්‍රමවේදයක් හදලා තිබෙනවා. ලංකාවේ දේශපාලනඥයෝ හැමෝම එහෙමයි කියලා මම කියන්නේ නැහැ. ඇත්තටම මේ පද්ධතියේ වැරැද්දක් තමයි තිබෙන්නේ. මිනිස්සු මිනිස්සුමයි. අනික ඇමතිවරු පවා සියලුම නීතිවලට යටත්. වත්කම් සියල්ල විනිවිදභාවයකින් යුක්තයි.

පවුලේ විස්තරත් කියමු.

මගේ බිරිඳ තමරා කුමාරි බමුණුසිංහ. ලොකු පුතා අවුරුදු විසිපහක් වෙනවා. ඔහු නිශාන් තාරක. ලොකු දුව අවුරුදු විසි තුනයි. සචේතා දේශානි. පොඩි දුව අවුරුදු එකොළෙහයි. චමති ලක්ෂානි.

[නදී මාණික්කගේ]

මාතෘකා