කිම්-ට්‍රම්ප් හමුව සහ චීන​, රුසියා සාධක

 ඡායාරූපය:

කිම්-ට්‍රම්ප් හමුව සහ චීන​, රුසියා සාධක

ඇතැම් විට වසරේ ලෝක දේශපාලන සංසිද්ධිය ලෙස ඉතිහාසයට එක් වීමට හෝ දරුණු බලාපොරොත්තු කඩවීමක් විය හැකි හෝ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොංග්-උන් අතර හමුව ජූනි 12 වනදා සිංගප්පූරුවේ වේලාවෙන් උදෑසන 9 ට සිදුවීමට නියමිත ය​. මේ අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 6.30 ට මේ දෙදෙනා සිංගප්පූරුවේදී හමුවනු ඇත​.

ඇමරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා මෙසේ හමුවීම පුදුමාකාර දේශපාලන සිද්ධි දාමයක කූඨප්‍රාප්තිය වන බවට අමුතුවෙන් කිව යුතු නොවේ. මීට මාස කිහිපයකට පෙර එකිනෙකාට රාජ්‍ය තාන්ත්‍රික මට්ටම ද ඉක්මවූ දෝෂාරෝපණ සිදුකරගත් දෙදෙනකු මෙසේ මුණගැසීම ම ඓතිහාසික කරුණකි.

ඇමරිකා එක්සත් ජනපදය​, ජපානය සහ දකුණු කොරියාව සමඟ ගැටුම් ඇතිකර ගනිමින් ද න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල අත්හදා බලමින් ද ගතකළ වසරක් නිමාකළ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් 2018 වසර ඇරඹුවේ දකුණු කොරියාව හා එකඟත්වයකට එන ආකාරයේ ඉඟියක් දෙමිනි. දින කිහිපයකින් වාර්තා වූයේ උතුරු කොරියාව දකුණු කොරියාවේ පැවැත්වෙන සිසිර ඔලිම්පික් උළෙලට කණ්ඩායමක් එවීමට සූදානම් වන බවය​. පෙබරවාරියේ පැවති එම උළෙල සඳහා පැමිණි උතුරු කොරියානු දූත පිරිසට කිම් ජොංග්-උන්ගේ සහෝදරිය විසින් නායකත්වය දීමත්, ඇය සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් අතර වූ හමුවත් හේතුවෙන් කරුණු වේගයෙන් වෙනස් වන බව පැහැදිලි වූයේය​.

අප්‍රේල් 27 වනදා උතුරු හා දකුණු කොරියානු නායකයෝ ඉතිහාසයේ පළමු වරට මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළහ​. ඉන්පසු ට්‍රම්ප් සහ කිම් අතර හමුව පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූයේය​. මෙම හමුව සිදුවිය යුත්තේ කොහි දැයි මතුවූ සාකච්ඡා අවසන ඒ සඳහා සිංගප්පූරුව තෝරාගන්නා ලදී. කෙසේ වෙතත් දකුණු කොරියාව සහ ඇමරිකාව විසින් සිදුකරන ලද හමුදා අභ්‍යාසයකට පිළිතුරු ලෙස උතුරු කොරියාව විසින් දකුණු කොරියා-උතුරු කොරියා හමුව අවලංගු කිරීමත්, ඉනික්බිති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා සමඟ වන හමුවට සහභාගී නොවන බව ප්‍රකාශ කිරීමත් හේතුවෙන් මෙම බලාපොරොත්තු කඩ වූයේය​.

කෙසේ නමුත් මෙම බලාපොරොත්තු කඩවීම වැඩිකල් පැවතුණේ නැත​. ට්‍රම්ප් සිය තීරණය වෙනස් කරමින් එම හමුව පැවැත්වෙන බව කියා සිටි අතර, උතුරු සහ දකුණු කොරියානු නායකයෝ කලින් දැනුම් නොදුන් හදිසි හමුවක් පැවැත්වූහ​.

විශාල බලාපොරොත්තු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කිම් සමඟ ඔහුගේ හමුව පිළිබඳ මුලින් අදහස් දක්වන සමයෙහි ඉතාමත් දැඩි බලාපොරොත්තු සහිත බවක් පෙන්නුම් කළේය​. මෙම හමුව තුළින් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටිකහරණය කිරීම සහ කොරියානු යුද්ධය සාම ගිවිසුමකින් අවසන් කිරීම කෙරෙහි විශාල ඉදිරි පිම්මක් කරා එළඹෙනු ඇති බව ධවල මන්දිරයේ අදහස වූයේය​. නමුත්, පසුකාලීනව ධවල මන්දිරය වෙතින්ම මතුවන අදහස් අනුව මෙම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු නොවීමේ ඉඩකඩ සඳහා සූදානම් වීමක් දක්නට ලැබේ. ජූනි මස මුලදී කිම් ජොංග්-උන් ගේ විශේෂ නියෝජිතයා හමුවූ පසු ට්‍රම්ප් කියා සිටියේ කිම් සමඟ වන හමුවේදී ඔවුන් කිසිවකට අත්සන් නොකරනු ඇති බවත් එය "ක්‍රියාවලියේ ඇරඹුම" බවත්ය​.

මේ අනුව උතුරු-දකුණු කොරියා රාජ්‍යයන් අතර සාම ගිවිසුමක් අත්සන් කිරීම​, උතුරු කොරියාවට එරෙහි සම්බාධක ඉවත් කිරීම සහ න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ කරුණු කිම් සහ ට්‍රම්ප් විසින් සාකච්ඡාවට ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීන සාධකය​

උතුරු කොරියාව සහ චීනය අතර ඇති සබඳතා පිළිබඳ ලෝක දේශපාලනයේ කතාබහට ලක්වන බව නොරහසකි. පසුගිය මාස කිහිපය තුළ​, කිම් සහ චීන ජනපති ෂී ජින්පිං අතර හමුවීම් දෙකක් සිදුවිය. ඒ හමුවීම් දෙකම සිදුවූයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සහ කිම් අතර හමුවීම් සිදුවීමට දින කිහිපයක් තිබියදී වීම ඇමරිකාව තුළ සැකයක් ජනිත කළේය​. කිම් සමඟ සිය හමුව අවලංගු කරන අවස්ථාවේ ද ට්‍රම්ප් ඊට හේතු දක්වමින් කියා සිටියේ චීන ජනපති ෂී ජින්පිංගේ මැදිහත්වීම හේතුවෙන් කිම් තුළ ඇතිව තිබෙන ආකල්පමය වෙනස සිය තීරණයට බලපාන බවයි.

උතුරු කොරියානු රජය බිඳවැටීමට ඉඩ දී බලාසිටීම චීනයේ අභිලාෂය නොවේ. යම් හෙයකින් එසේ සිදුවුවහොත් සිය දේශසීමාවට ඇමරිකානු හමුදා ළඟා විය හැකි බව එරට දැන සිටීම ඊට හේතුවය​. නමුත් කොරියානු අර්ධද්වීපයේ සාමකාමී වාතාවරණයක් ඇතිවීම කෙරෙහි චීනයේ අකමැත්තක් නොවේ. එහෙයින් චීනය විසින් උතුරු කොරියාව පොළඹවනු ඇත්තේ තමන්ට ද වාසිදායක එකඟතාවක් කරා ඇමරිකාව සහ උතුරු කොරියාව යොමුකිරීමයි. වර්තමානයේදී උතුරු කොරියාවේ ආර්ථිකය චීනය මත රඳා පවතින හෙයින් කිම් ද චීනය විසින් ඉඩ දෙන දුරට වඩා යාමට තවම සූදානම් නැත​.

රුසියානු සාධකය​

චීන ජනපති ෂී ජින්පිං මෙම ක්‍රියාවලියේදී පසුපසින් හිඳිමින් වැඩි කලබලයකින් තොරව විවිධ පාර්ශ්ව වෙත සිය බලපෑම යොමු කරන බව නොරහසකි. වඩා අපැහැදිලි වන්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ක්‍රියාකලාපයයි​. දින කිහිපයකට පෙර පුටින් ඔස්ට්‍රියානු මාධ්‍ය ආයතනයක් සමඟ සාකච්ඡාවකදී කිම්-ට්‍රම්ප් හමුව පිළිබඳ බලාපොරොත්තු මතු කළේය. මේ අතර ට්‍රම්ප් සහ පුටින් දෙදෙනාම ඇතැම් අවස්ථාවල ඔවුන් අතර හමුවක් පිළිබඳ ද බලාපොරොත්තු තබා තිබේ.

වර්තමානයේදී යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඉරානය සම්බන්ධයෙන් සහ තීරුබදු සම්බන්ධයෙන් මතුව ඇති මතභේදයන් හමුවේ යුරෝපය රුසියාව සමඟ වන සබඳතා යම් පමණකට යථා තත්ත්වයකට පත්කර ගනීද යන සැකය මතු වී තිබේ. මෙම පසුබිමෙහි දී රුසියාවට ට්‍රම්ප් සමඟ සබඳතා වර්ධනය කරගත හැකි නම් මෙම සමස්ථ භූ දේශපාලනික ක්‍රියාවලියේ ජයග්‍රාහකයා වනු ඇත්තේ අන් කවරකු හෝ නොව පුටින්ය​. මෙය ඔහු ද ඉතා හොඳින් දනී.

මේ අතර රුසියාව මීට කලකට පෙර මතු කළ යෝජනාවක් වූයේ සිය රටෙහි සිට උතුරු කොරියාව හරහා දකුණු කොරියාව වෙත ස්වාභාවික වායු නළ මාර්ගයක් ඉදි කිරීමය​. වර්තමානයේ උතුරු - දකුණු කොරියා සාකච්ඡා අතර එම යෝජනාව යළි කරලියට පැමිණ ඇත​. එවන් ව්‍යාපෘතියක් කරා එළඹීම කොරියානු අර්ධද්වීපය වෙත ඇති රුසියානු බලපෑම තීව්‍ර කරනු ඇත​. නමුත් දකුණු කොරියාව එවැන්නකට එකඟ වීමට නම් උතුරු - දකුණු කොරියානු එකඟතාවක් ඇතිවීම අනිවාර්යය වේ. එහෙයින් කොරියාවේ සාමකාමී තත්ත්වයක් ඇති වීම රුසියාවේ ද අපේක්ෂාව වනු ඇත​.

මේ අනුව, රුසියාව​, චීනය​, දකුණු කොරියාව පමණක් නොව ජපානය ආදී අනෙකුත් රටවල් ද කිම්-ට්‍රම්ප් හමුව පිළිබඳ දැඩි අවධානයෙන් පසු වනු ඇත​.

මාතෘකා