පාපන්දු විචාරකයන් අතර දහයෙන් එකක ලංසුවක හිමිකරු- රෙඩ් ඩෙවිල්ස් හෙවත් බෙල්ජියම

 ඡායාරූපය:

පාපන්දු විචාරකයන් අතර දහයෙන් එකක ලංසුවක හිමිකරු- රෙඩ් ඩෙවිල්ස් හෙවත් බෙල්ජියම

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 3වැනි ස්ථානයේ සිට විසි එක්වැනි පාපන්දු ලෝක ශූරතාව සඳහා එක්වන බෙල්ජියම 1930 පළමු තරගාවලියටද සහභාගීවූ කණ්ඩායමකි. මෙවර ලෝක කුසලානය යනු ඔවුන්ගේ 13වැනි උත්සාහයයි.

1986 මෙක්සිකෝවේ දී පැවති 13වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී සිව්වෙනි ස්ථානය ලබා ගැනීම බෙල්ජියමේ උපරිම ලෝක කුසලාන ජයග්‍රහණයයි. 1980 යූරෝ කුසලාන අනු ශූරතාව ද ඔවුන් දිනාගෙන ඇත.

2018 ලෝක පාපන්දු කුසලානය සඳහා තේරීම් තරගවල අවසන් තරග තුනේදී ජිබ්‍රෝල්ටාව ගෝල් 6-0ක්, බොස්නියා හර්සගොවිනා ගෝල් 4-0ක් සහ සයිප්‍රසය ගොල් 3-0ක් ලෙස පරාජය කළ බෙල්ජියම පහසුවෙන්ම යුරෝපා කලාපයෙන් මෙවර ලෝක කුසලානය සඳහා තම ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

බෙල්ජියම් පාපන්දු තරුව 26 හැවිරිදි කෙවින් ඩි බෘයෙන් තරග 58කදී ගෝල 13ක් ලබා ගෙන සිටින අතර එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේද ප්‍රබල ක්‍රීඩකයෙකි. තරග 79ක් වෙනුවෙන් තම ජාතික කණ්ඩායම නියෝජනය කළ මැරුනේ ෆෙල්ලායිනී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ අත්දැකීම්ද සහිතව මෙවර රුසියාවට පැමිණේ. මොවුන් දෙදෙනා සමග මැද පෙළ ශක්තිමත් කිරීමට තරග 85 ක්‍රීඩා කර ඇති ඇක්සෙල් විට්සෙල් මෙන්ම විසි එක් හැවිරිදි යූරි ටීලිමාන්ස් ද එක්වේ.

කණ්ඩායමේ ප්‍රධාන ප්‍රහාරකයින් වන්නේ තරුණ රොමෙලු ලුකාකු සහ නායක ඒඩ්න් හසාර්ඩ්ය. තරග 64 කදී ගෝල් 30 ලබා සිටින ලුකාකු මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ද ප්‍රහාරකයෙකි. හසාර්ඩ් තරග 82 කදී ගොල් 21ක් තම නම ඉදිරියේ ලියා ගෙන ඇති අතර චෙල්සි කණ්ඩායම වෙනුවෙන් ඔහු ක්‍රීඩා කරයි. ඩ්‍රීස් මාටිනෙස් සහ ජර්මන් බුරුසි ඩොට්මන්ඩ් කණඩායමේ මිචී බැට්ෂුවියි සෙසු බෙල්ජියම් ප්‍රහාරකයින්ය.

තරග සියයකට ආසන්නව ක්‍රීඩාකර ඇති ජාන් වර්ටොන්ගීන් ආරක්ෂක පෙළේ මූලිකයාවේ. ඔහු සමග එංගලන්තයේ ටොටර්හැම් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ටොබී ඕල්ඩර්වෙයාර්ල්ඩ් සහ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ වින්සන්ට් කොම්පනිද ප්‍රබල ආරක්ෂකයින්ය. ඔවුන් තිදෙනාට එකතුවන සිව්වැන්නා තෝමස් වර්මිලන් ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායමේ විශ්වාසය දිනූ ක්‍රීඩකයෙකි.

එංගලන්ත චෙල්සි කණ්ඩායමේ දැල් රකින්නා වන 26 හැවිරිදි තිබොවුට් කෝටොයිස් බෙල්ජියම් කණ්ඩායමේ ප්‍රධාන දැල් රකින්නාගේ භූමිකාව ඉටු කරයි. තරග 56 කදී තම රටේ දැල ආරක්ෂා කිරීමට ඔහු පිටියට පිවිස ඇත. සිමොන් මිග්නොලෙට් ලිවර්පූල් කණ්ඩායමෙන් එක්වන බෙල්ජියමේ සහය දැල් රකින්නායි. නවක කොඑන් කැස්ටීල් තවම තරගකර නොමැති අතර මෙය ඔහුගේ පළමු කල එළි බැස්ම විය හැක.

බෙල්ජියම් පුහුණුකරු වන ස්පාඤ්ඤ ජාතික රොබර්ටෝ මාටිනෙස් එංගලන්තයේ ස්වොන්සෙ සිටි සහ එවර්ටන් කණ්ඩායම්හි පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. 2016වසරේ සිට බෙල්ජියම් කණ්ඩායමේ පුහුනුකරුය. බෙල්ජියම පහසුවෙන් දෙවැනි වටයට පිවිසේ යැයි බලාපොරොත්තුවන කණ්ඩායමකි.

ලෝක කුසලානය ජය ගැනීම සඳහා 10/1ක සම්භාවිතාවයක් ඇති කණ්ඩායමක් ලෙස විචාරකයන් ලංසු තබා ඇති බෙල්ජියමේ පළමු තරග තුන වන්නේ

ජුනි 18 පැනමාව

ජුනි 23 ටියුනීසියාව

ජුනි 28 එංගලන්තය අතර පැවැත්වෙන තරගයි.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?