ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරගය අද ඇරඹෙයි | ඇස පාදන රැස


ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරගය අද ඇරඹෙයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරගය අද ඇරඹෙයි

දෙරට අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන අට වැනි වතාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ට්‍රිනිඩෑඩ්හිදී ආරම්භවේ. දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලි ඉතිහාසය පිරික්සද්දී තරග 17ක් පවත්වා ඇති අතර ඉන් අටක් ජයගැනීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. තරග තුනක ජය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිව තිබේ. ජය පැරදුමෙන් තොරව නිමවූ තරග සංඛ්‍යාව 8කි.

යහපත් යෝග්‍යතාවක

මෙම තරගය සඳහා සහභාගිවීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් යහපත් ශාරීරික යෝග්‍යතාවකින් පසුවන බව කණ්ඩායම් කළමනාකාරිත්වය ප්‍රකාශකර තිබේ. ඒ අනුව අද ආරම්භ වන තරගයේදී කොදෙව්වන්ට එරෙහිව තමන් සතු උපරිම ශක්තිය යෙදවීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කරනු ඇත.

ආරම්භක පිතිකරුවන් වශයෙන් කුසල් මෙන්ඩිස් හා කුසල් ජනිත් පෙරේරා තරගයට ආරම්භයක් ලබාදෙනු ඇති බවට විශ්වාස කෙරේ. මහේල උඩවත්තගේ සේවය අද තරගයට යොදාගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඊයේ පස්වරුව වන විටත් තීරණයක් ගෙන නොතිබුණේය. එය අද තරගය සඳහා දඟ පන්දුයවන්නන් දෙදෙනකු සමඟ ක්‍රීඩා කරන්නේද, අවසන් කණ්ඩායමට ඇතුළත් කරනුයේ වේගපන්දු යවන්නන් තිදෙනෙක්ද එසේ නැතහොත් දෙදෙනෙකු පමණක්ද යන්න අනුව තීරණය වීමට නියමිතය.

මේ අතර තෙදින පුහුණු තරගයේදී කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ද අර්ධ ශතකයක් රැස්කරමින් පිතිකරුවකු වශයෙන් අද තරගයට මනා සූදානමකින් පසුවීමද මහේල උඩවත්තගේ ස්ථානය සම්බන්ධව පවතින ගැටලුව තීව්‍රකර තිබේ. අද තරගයේදී දික්වැල්ලගේ ස්ථානය මේ අනුව බොහෝ දුරට ස්ථාවරව ඇත. මේ අතර තම පියාගේ අභාවය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් ඉවත්වූ ධනංජය ද සිල්වා යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්ව තිබේ. ඒ අනුව ඔහු පළමු තරගයට ක්‍රීඩා කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ගනු ලබන තීරණයත් සමඟද මහේල උඩවත්තගේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව තීරණය වීමට නියමිතව ඇත. පුහුණු තුන්දින තරගයේදී ක්‍රීඩා කළ කණ්ඩායම සලකද්දී අද තරගයට ධනංජය ද සිල්වා ඇතුළත්වීමට ඇති සම්භාවිතාව අවම අගයක් ගන්නා බව කිවයුතුය.

මේ අතර අද තරග ආරම්භවන පෝර්ට් ඔෆ් ස්පේන්හි ක්වීන්ස් පාර්ක් ඕවල් පිටියේ කණ්ඩායමක් රැසක් කර ඇති ඉහළම ඉනිම ලෙස සැලකෙන්නේ ලකුණු 681ක් රැස්කිරීමය. එම පිටියේ වාර්තාවී ඇති අඩුම ලකුණු සංඛ්‍යාව ලකුණු 46කි. ලකුණු 401 ක ඉලක්කයක් හඹාගොස් ජයගැනීමට සමත්වීම ඉහළම ලකුණු හඹාගිය අවස්ථාව ලෙස සැලකෙන අතර ලකුණු 63ක් ආරක්ෂා කරගැනීමට සමත්වීම අඩුම ලකුණු ප්‍රමාණයක් ආරක්ෂා කළ හොඳම දක්ෂතාව ලෙසින් සැලකෙයි. ප්‍රථම ටෙස්ට් තරගය බටහිර ඉන්දීය කොදෙව් වේලාවෙන් පෙරවරු 10ට ආරම්භවීමට නියමිතව තිබේ.

මාතෘකා