පූර්ව අධ්‍යාපන ක්‍රමය හැදූ ඉතාලි වෛද්‍යවරිය

 ඡායාරූපය:

පූර්ව අධ්‍යාපන ක්‍රමය හැදූ ඉතාලි වෛද්‍යවරිය

මොන්ටිසෝරි Montessori යන වචනයේ තේරුම කුමක්ද ?

එහි අධ්‍යාපනය ක්ෂේත්‍රයේ යම් අදහසක් ගතහැකි තේරුමක් නොමැත. එය කාන්තාවකගේ වාසගමකි. ලොව අසමසම කාන්තාවකගේ නාමයක වාසගමකි. මාරියා මොන්ටිසෝරි එකී නමේ හිමිකාරිය වූ අතර ඇගේ නමම ඇය බිහිකල අධ්‍යාපන න්‍යායට තැබීමට ඉතාලි අධ්‍යාපන විශේෂඥයෝ තීරණය කලහ. මුලු මහත් ලෝකය වටා අනුගමනය කරනු ලබන දරුවකුගේ පූර්ව අධ්‍යාපන ක්‍රමයේ නිර්මාතෘවරිය ඇයයි.

ඉතා කුඩා කාලයේ පටන් මේ ඉතාලි ජාතික කෙල්ල, අනිකුත් ඉතාලි කෙල්ලන්ගෙන් වෙනස් චරිතයක් විය. ඇගේ යෙහෙලියෝ කලාව, සංගීතය හෝ වෛද්‍යවරියක විය හැකි විෂයයන් තෝරාගන්නා විට ඇය තෝරාගත්තේ ඉංජිනේරු විෂයයි. ඇය උගත් කාන්තා විද්‍යාලයේ එකල (1885) ඉංජිනේරු විෂය ඉගැන්වූයේ නැත. ඇගේ දෙමවුපියන්ට කෙල්ලගේ ඇවිටිල්ල නිසාම කොල්ලන් පමණක් ඉගෙනුම ලබන පාසැලකට ඇයට ඉංජිනේරු විෂය හැදෑරීමට දැමීමට සිදුවිය. මුලු පාසැලේම කෙල්ලකට සිටියේ ඇය පමණි. කෙසේ වෙතත් පසුව ඇය සිය මනස තමා වෛද්‍යවරියක වීමට ඉගෙනගත යුතුය යන්නෙන් වෙනස් කරගනු ලැබුවාය. රෝම වෛද්‍ය විද්‍යාලයට ඇය අයැදුම් කළ නමුදු එය ප්‍රතික්ෂේප විය.

ඇය උත්සාහය අත්හලේ නැත. ඊට පරිබාහිරව සිය අධ්‍යාපනය ලබමින් නැවත ඇය වෛද්‍ය විද්‍යාලයට අයැදුම් කර තිබිණි. එවර ඇගේ අරමුණ ඉටුවිය. 1896 දී ඉතාලි වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම කාන්තා වෛද්‍යවරිය වු මම මාරියා මොන්ටිසෝරි යනුවෙන් ඇය ඉතාලි වෛද්‍ය ඉතිහාසයේ සටහන් තැබුවේ එලෙසය.

ඇගේ මුල්ම වෛද්‍ය පත්වීම මනෝ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය තුළය. එහිදී ඇයට කුඩා දරුවන්ගේ අධ්‍යාපන ක්‍රම සහ විධි ඉගෙන ගැනීමට සිදුවිය. මෙය ඇය ආකර්ෂණය කළ පරාසයක් විය. පසුව ඇය තේරුම් ගත්තේ ඇය අධ්‍යයනය කළ දේ නම් කවදාවත් මේ ඉතාලි අධ්‍යාපන ක්‍රමයෙන් ඉතාලියට වැඩ කල හැකි මිනිසෙක් බිහිනොවනා බවය. එම අධ්‍යාපන රටාව කුඩා කාලයේම දරුවාව එම ක්ෂේත්‍රයෙන් විසිකර දමනා ලද බවත් ඒවා දරුවන්ට බර වැඩි බවත් ඇය දුටුවාය. ඇය මේ පිළිබඳ පරීක්ෂණ කළාය. නිරීක්ෂණය කළාය. ඒවාට වැඩ පිළිවෙළවල් හදුන්වා දුන්නාය. ඉතාලි අධ්‍යාපන ලොක්කෝ මුණ ගැසී මෙම වැඩ පිළිවෙළවල් ජාතික පාසැල්වල ඉගැන්විය යුතු ආකාරය පැහැදිලි කළාය. අධ්‍යාපන බලධාරීන් ඇයට සිනාසුනහ. ඇගේ ක්‍රමය අතහැර දැම්මාය.

මාරියා වෙනස් ගැහැනියකි. සිය උත්තම අරමුණ වෙනුවෙන් ඇය සිය වෛද්‍ය වෘත්තිය අත්හැර දැමුවාය. පසුව ඇය විසින් 1907 දී ළමා නිවාසයක් ඉදිකර එහි කුඩාකළ පටන්ම අධ්‍යාපනය ලැබීමට තෝරාගත්තේ කිසිඳු හවුහරනක් නැති රෝමයේ හරස් පාරවල්වල ජීවත් වූ දුගී දෙමවුපියන්ගේ දරුවන්වය. මාරියා එම ළමා නිවාසයට දරුවන්ගේ නිවහන යන තේරුම දෙන Casa dei Bambini යන නම තැබුවාය. දැන් ඇය සිය අධ්‍යාපන ක්‍රමය ප්‍රථම වරට දරුවන්ට අවශෝෂණය කරමින් සිටි අතර තවත් වසර දහයක් දොළහක් වනවිට රෝමයේ පාසැල්වල ඉහළම ළකුණු අතර සිටියේ ඇගේ ළමා නිවාසයේ දරුවන්ය. නොයෙතුක් විෂයයන් සඳහා ඉහළ ලකුණු ලබාගන්නා දරුවන්ගේ සංඛ්‍යාව සියයක් දෙසියක් තුන් හාරසියක් වනවිට රෝම අධ්‍යාපන බලධාරීන් එතෙක් ඔවුන් සිටි නින්දෙන් අවදිවිය. ඔවුහු ඇය සොයා ආහ. ඇගෙන් මෙම අධ්‍යාපන ක්‍රමයේ න්‍යාය හා එහි මුලධර්ම උගත්තෝය. පසුව ඇගේ ක්‍රමයට පළමුව රෝමය පුරාත් පසුව මුලු ඉතාලියේත් මෙම ක්‍රමය අත්හදා බැලීය. ප්‍රතිඵල විශිෂ්ඨය. ඔවුනට මෙම අධ්‍යාපන න්‍යාය හැදින්වීමට නමක් නොවීය. එහෙයින් ඔවුහු එකී න්‍යාය මාරියාගේ වාසගම වූ මොන්ටිසෝරි යන්නෙන් භාවිත කළහ.

ඇගේ පෙර පාසැල් අධ්‍යාපන න්‍යාය ගොඩනැගුණේ මූලික මුලධර්ම කිහිපයක් වටාය.

නිදහස

දරුවාට නිදහසේ නිරීක්ෂණය කිරීමට අත්හදා බැලීමට, අනුගමනය කිරීමට ඉඩදීම තුළින් ඔහු නිවැරදි මාවතට යොමුකිරීම පහසුය. මේ සංකල්ප ඕනෑම කුඩා දරුවකුගේ වයස් මටිටම්වලට ගැළපේ. දරුවාට සාර්ථක වියහැකි යම් කාර්යයකට ඔහුට කිසිවිට උදව් නොකරන්න. දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩ නැගීමේ පළමු පියවර එයයි.

පරිසර සූදානම

ගුරුවරයාගේ ප්‍රථම රාජකාරිය දරුවාට සුදුසු පරිසරය නිර්මාණය කිරීමයි. එය අන් සියල්ලටම වඩා වැදගත්ය. මක්නිසාද අනිසි පරිසරය කුඩා දරුවාව ශාරීරිකව, මානසිකව හා බුද්ධිමය ලෙස බිඳ වැටීමකට ඉඩ සලසයි.

ස්වාධිනත්වය

එමගින් දරුවාට තමා පිළිබද ආත්ම විශ්වාසය ගොඩ නැගීමට ඉඩහල යුතුය. එතුළින් ඔහු තමා තුළ විශ්වාසය හා ගෞරවය ගොඩනගා ගනී.

නිරීක්ෂණය

ඒ තුළින් දරුවා කැමති විෂය හෝ දේවල් අපට තෝරාගත හැකිය. එම නිසා අපිට ඔහුගේ විෂයයට කලින්ම ස්ථානගත විය හැකි අතර ඔහුට එහිදී හමුවන බාධක අවම කළ හැක.

දරුවා අනුගමනය කිරීම

දරුවා අනුගමනය කිරීම තුළින් ඔහු තුළ වර්ධනය වීමට අවශ්‍ය වන්නේ කුමක්දැයි පහසුවෙන් අපට වටහා ගත හැක. දරුවාට කළයුතු දේ ගුරුවරයා නොකියා දරුවා කරන දෙයින් දරුවාට හෝ බාහිර පාර්ශවයකට වේදනාවක් නොදේ නම් අප ඊට මැදිහත් වීමක් අවශ්‍ය නැත.

මේ අධ්‍යාපන ක්‍රමය ලොවට දායද කළ ඒ අසමසම ගැහැනිය 1952 දී මිය ගියාය. ඒ වනවිටත් නොබෙල් ත්‍යාගය සඳහා තෙවරක් ඇගේ නම යෝජනා වී තිබිණි.

[උපාලි ජයසිංහ]

මාතෘකා