ගුහාවෙන් මතු වූ මනුස්සකම

 ඡායාරූපය:

ගුහාවෙන් මතු වූ මනුස්සකම

'ඔහු සෑම විටම සෑම තැනම පවතිනු ඇත. සියලු දෑස් ඔබ වෙතය. මගේ ආඩමිබරය, මගේ ආදරය, ඉතින් ඔබට දැන් සුවසේ සැතපිය හැකිය'

විචායි ගුනන්

'මේ බලාපල්ලා' යැයි හඬගා කියමින් ඛේදවාකයක් වීමට ඉඩ තිබූ තායිලන්තයේ මරණයේ අඳුරු භුගත උමඟක් මිනිසුන් අවදි කළේය. අප ලියන්නේ ඒසේ අවදිවූ මිනිසුන් ගැනය. මරණිය අඳුර ඇති ඒ උමං ගුහාව වෙත කිමිදී‍මන් හැර වෙන යා යුතු මඟක් තිබුණේ නැත. දරුවන් 12 දෙනෙකු සිරවී සිටියේ එහිය. ඔවුන් මේ මොහොතේ ජීවතුන් අතරය. ඔවුන්ට ජීවතුන් අතර සිටිය හැකි හුස්ම ටික හා ප්‍රථම අත්වැල සැපයූ මිනිසා මේ මොහොතේ මිය ගොස්ය. දරුවන් ජීවත් කරවීමට නම් ඔවුන්ට දිනපතා ඔක්සිජන් වායුව සැපයිය යුතුව තිබිණි. එක් මිනිසෙක් මේ භාරධූර කර්තව්‍ය සඳහා සිය කැමැත්තෙන් එක්විය. හේ දින 3 ක් පුරා ඔක්සිජන් ටැංකි සිය පිටමත තබාගෙන කළුවර කපාගෙන කිමිදගොස් දරුවන්ට ඔක්සිජන් සැපයීය. 2018 ජූලි 06 වැනිදාට දරුවන්ට ඔක්සිජන් සැපයීමට දෛවය ඔහුට ඉඩ නොදුන් අතර 2018 ජූලි 05 වැනි දින දිය යටදීම ඒ මිනිසා මිය ගොස් සිටියේය. තායිලන්තය මේ වීරයා ඇමතුවේ සාමන් ගුනන් යන නමිනි. ගුනන් මිය ගිය පසු දරුවන් බේරාගැනීමේ මෙහෙයුම මිනිසුන් අත්හලේද නැත. තවත් මිනිසෙක් මිය ගියද ඔවුහු එය අත්නොහරිනු ඇත. ‍සිය අරමුණ හඹායන ධෛර්යයෙන් අනූන මිනිසා එසේය. එවන් මිනිසුන් නිසා ලෝකය අන්ධකාරය කපාගෙන ආලෝකය දකිනු ඇත. සාමන් ගුනන් මිය ගිය පසු ඔහුගේ ආදරණිය බිරිඳ වලීපෝන් ගුනන් මෙසේ පැවසුවාය.

'ඔබ අහනව මගෙන් ඔබේ ස්වාමියා මිය ගියා, ඔබ ජීවතුන් අතර ඉතිං ඔබට දුක නැද්ද කියා. ඔව්. මට දුකයි. නමුත් ඔහුගේ ආඩම්බරය මගේ දුක තුනී කරාවි. මගේ හදවතේ වීරයා දෙසට සමස්ත ආදරණීය දෑස් එල්ල වෙිවි. ඔහු සෑම තැනම සෑම මොහොතකම ඉඳීවි. මම කියනව ඔහුට මගේ ආඩම්බරය! මගේ ආදරය! ඉතින් ඔබට සුවසේ සැතපිය හැක.'

සාමන් ගුනන්ගේ පියා විචායි ගුනන් ද සිය වීර පුත්‍රයා ගැන පවසන්නේ එසේමය.

මරණීය අන්ධකාර උමඟ අවදිකළේ ඔහු පමණක්ද? නැත. තව බොහෝ මිනිස්සු අවදිවූහ. මේ තවත් එවන් අයෙකි.

'මායි බු චයිචූන්' කියන්නෙ තායිලන්තෙ කුඹුරු ටිකක් වැඩ කරගෙන ජීවත්වෙන ගොවි කාන්තාවක්. ඇයට තියෙනව අක්කර පහක කුඹුරක්. ස්වාමි පුරුෂය මිය ගියාට පස්සේ එයාලගෙ දරුවො දෙන්නත් එක්ක ජීවත්වෙන්නෙ ‍මෙි කුඹුරෙන්. දැනට සති කිහිපයකට ඉස්සෙල්ල එයා ගොඩාක් මහන්සිවෙලා මුළු කුඹුරු කෑල්ලෙම පැළ හිටෙවිවා. ඒ පැළ හිටවලා ඉවර වෙද්දි තමයි එයාගෙ කුඹුරට උඩහින් තියෙන කන්දෙ උමඟක ළමයි 12 ක් හිරවෙලා කියන ආරංචිය ආවේ. පස්සෙ 'මායි බු' ගියා මේ ළමයි බේරගන්න අයට සහය වෙන්න කඳු පාමුලට. සති ගාණක් එයා එහාට මෙහාට පැන පැන ස්වෙච්ඡාවෙන් තමන්ට කරන්න පුළුවන් හැම දේම කළා. පස්සෙ ඒ කඳවුරේ ගලවාගැනීමේ මෙහෙයුමේ හිටපු අයට කන්න උයන්න උදව් වුණා. එතකොට තමයි නරක ආරංචිය ආවේ. ළමයි බේරගන්න නම් උමඟේ තියෙන වතුර හිස් කරන්නම වෙනව කියල. දැවැන්ත නල දාල පොඩි වතුර ප්‍රමාණයක් නෙවෙයි හිස් කරන්න තියෙන්නේ. ලීටර් මිලියන 130ක් විතර. මේ උමඟේ වතුරපාර හරවන්නෙ අහිංසක මායි බු චයිචූන්ගෙ කුඹුර දිහාට.

නමුත් කරන්න දෙයක් නැහැ. ගෙවිලිය ශෝකයෙන් බලන් ඉන්දැද්දි එයාගෙ අක්කර පහේම හිටවපු ගොයම් පැළ වතුරට ගහගෙන ගියා. එයාත් එයාගෙ දරුවනුත් සමහරවිට ඊළඟ අවුරුද්දෙ බඩගින්නෙ ඉඳීවි. නමුත් ඒක නෙවෙයි වැදගත්. එයා මේ සියලු වේදනා අමතක කරලා ආයිමත් මේ දරුවො බේරාගන්න අයට උදව්වෙන්න සිනහ මුසු මුහුණින් ස්වෙච්ඡාවෙන්ම උමඟ දෙසට නැවත ආවා. ආයිමත් නිදිමරාගෙන උයන්න උදව් වුණා. දරුවෝ බේරාගැනීමේ සමස්ත කණ්ඩායමටම. ඒ විතරක්ද ඇය සියලු දේ නැතිවුණාට පස්සෙත් මෙහෙම කිව්වා 'කුඹුරු නම් කොයි වෙලාවේ වගාකරගන්න බැරිද, ඒවගේද දරුවෝ? ඉතින් ඔබ දැනගන්න ඕන, මට බත් වලට වඩා වටින්නෙ දරුවො කියල!

[උපාලි ජයසිංහ]

මාතෘකා