ජර්මනිය කැළඹූ නව නට්සි කල්ලිය පිළිබඳ නඩුව​

 ඡායාරූපය:

ජර්මනිය කැළඹූ නව නට්සි කල්ලිය පිළිබඳ නඩුව​

මෑත කාලීන ජර්මන් ඉතිහාසයේ දීර්ඝතම සහ ආන්දෝලනාත්මක ම නඩු විභාගයක් වූ නව නට්සිවාදී ත්‍රස්ත කල්ලියක සාමාජිකා බියාටා ශේප (Beate Zschäpe)ට එරෙහි නඩු විභාගය​ ජූලි 11 වනදා නිම වූයේ ඝාතන 10 ක් සම්බන්ධව ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීමෙන්. නමුත් ඇය අයත් වූ නව නට්සිවාදී කල්ලිය සම්බන්ධ පරීක්ෂණ සිදු කෙරුණ ආකාරය පිළිබඳ විශාල ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති බව සැක මතුවී තිබේ.

නඩුවේ තීන්දුව ලබා දුන් දිනයේ ම මියුනික් සහ වෙනත් නගරවලට රැස් වූ විරෝධතාකරුවන් කියා සිටියේ අදාල ත්‍රස්ත කල්ලිය පිළිබඳ මෙන්ම ජර්මන් බලධාරීන්ගේ නොසැලකිලිමත්කම පිළිබඳ තවදුරටත් සොයා බැලිය යුතු බවයි.

ඝාතන දහයක්

බියාටා ශේප නව නට්සිවාදී ත්‍රස්ත කල්ලියක් වූ ජාතික සමානවාදී යටිබිම්ගත සංවිධානය (National Socialist Underground - NSU) නම් කල්ලියේ සාමාජිකාවක වූ බව කියවෙන අතර මෙම සංවිධානය 2000 සිට 2007 දක්වා සිදු වූ ඝාතන දහයකට සම්බන්ධ බව කියනු ලැබේ. මෙම කල්ලියේ අනෙක් සාමාජිකයන් ලෙස සැලකෙන්නේ උවේ බ්‍යෝන්හාර්ඩ් සහ උවේ මුන්ඩ්ලෝස් නම් පුද්ගලයින් දෙදෙනෙකි.

මොවුන් සිය ප්‍රථම ඝාතනය සිදු කළේ 2000 සැප්තැම්බර් 11 වනදා වන අතර තුර්කි සම්භවයෙන් යුත් අට දෙනෙකු සහ ග්‍රීක සම්භවයෙන් යුතු එක් අයකු ලෙස 2006 වන විට ඔවුන් අතින් නව දෙනෙකු ඝාතනය වී තිබුණි. 2007 දී ඔවුන් අතින් ජර්මන් පොලිස් නිලධාරිනියක් ද ඝාතනය වූවාය​​. මේ සියලු ඝාතන එක් ගිනි අවියකින් සිදු කරන ලද බව ද සොයා ගන්නා ලදි. මීට අමතරව මොවුන් විසින් කොල්ලකෑම් 15 ක් පමණ සිදු කළ බව ද අනුමාන කෙරේ.

මෙම සිදුවීම් ජර්මනියේ එක් ප්‍රදේශයකදී වාර්තා වූ ඒවා ද නොවී ය​. න්‍යුරම්බර්ග්, හැම්බර්ග්, රොස්ටොක්, ඩෝර්ට්මන්ඩ්, කැසෙල් සහ හේල්බ්‍රෝන් ආදී නගරවල මෙම ඝාතන සිදු වූ අතර කොලෝන් නගරයේ සිදු වූ බෝම්බ පිපිරීම් දෙකකට ද ඔවුන් වග කිව යුතු බව විශ්වාස කෙරේ.

පරීක්ෂණවල අසාර්ථකත්වය​

පුදුමයකට මෙන් කල්ලිය පිළිබඳ මුලින් ම තොරතුරු අනාවරණය කරගනු ලබන්නේ 2011 නොවැම්බරයේදී උවේ බ්‍යෝන්හාර්ඩ් සහ උවේ මුන්ඩ්ලෝස් දෙදෙනාගේ මළ සිරුරු ගිනිගත් "මෝටර් හෝම්" එකකින් (නිවෙස් ලෙස භාවිතා කරන වාහන​) සොයාගත් අවස්ථාවේ ය​. සොරකමක් සම්බන්ධව ඔවුන් අත්අඩංගුවට පත් වීමට යන බව දැනගෙන මෙම දෙදෙනා සියදිවි නසාගත් බව විශ්වාස කෙරේ.

මේ අතර බියාටා ශේප මොවුන් තිදෙනා විසූ නිවෙසට ගිනි තබා තිබූ අතර ඒ සාක්ෂි විනාශ කිරීමට බවට සැක කරනු ලබයි. කෙසේ නමුත් වසර එකොළහක් තිස්සේ ක්‍රියාත්මක වූ NSU කල්ලිය පිළිබඳ සම්පූර්ණ විස්තරය ජර්මන් බලධාරීන් විසින් සොයා ගන්නා ලද්දේ එම අවස්ථාවේ ය​.

මෙම පරීක්ෂණ පිළිබඳ විවිධ ප්‍රශ්න මේ අනුව ඉතිරි විය​. රටෙහි විවිධ ස්ථානවල සිදු වූ ඝාතන දහයක් පිළිබඳ වූ සහ සම්බන්ධය ගොඩනගාගත නොහැකි වීම​, මියගිය අයගේ ඥාතීන් සැක කිරීම​, තුර්කි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම ඝාතනවලට සම්බන්ධ යයි විශ්වාස කිරීම ආදී වැරදීම් රජයට සිදු ව තිබුණි. ඇතැම් පරීක්ෂකයින් ඉතා ඉක්මණින් ම තුර්කි කණ්ඩායම් සැක කර තිබුණේ ඉතා ජාතිවාදී වූ පදනමකින් බව චෝදනා කෙරුණි. ජර්මන් පාර්ලිමේන්තුව ද ප්‍රාන්ත පාර්ලිමේන්තු ද​ විවිධ අවස්ථාවල මෙම අසාර්ථකත්වය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ අතර සමස්ත පාර්ලිමේන්තු කමිටු විමර්ශන 13 ක් මේ වනවිට පවත්වා තිබේ. වින්දිතයන්ගේ ඥාතීන්ගෙන් සමාව ඉල්ලූ චාන්සලර් ඇන්ගෙලා මර්කල් මෙම සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන බව කියා සිටියා ය​.

මියුනික් නගරයේදී බියාටා ශේප සහ ඇයට ආධාර උපකාර කළ සිව් දෙෙනකුට එරෙහි නඩු විභාගය ඇරඹුෙණ් මේ අනුව ය​. නඩු දින 430 ක් තිස්සේ පවත්වන ලද මෙම විභාගයට සාක්කිකරුවන් 600 ක් පමණ කැඳවන ලදි. මෙම නඩු විභාගයේ බොහෝ අවස්ථාවලදී බියාටා ශේප විනිසුරන් සහ සාක්කිකරුවන්ට පිටුපස හරවා සිටි අතර වචනයකුදු කතා නොකළා ය​. ඇය හැසිරුණේ මෙම නඩු විභාගයට ඇය අදාළම නැති බවක් පෙන්නුම් කරමිනි.ඇගේ නීතීඥයින් කියා සිටියේ ඉහත කී ඝාතන පිළිබඳ ඇය දැනගත්තේ ඒවා සිදු වූ පසුව බව ය​.

නමුත් අධිකරණය එම තර්කය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර ඇය මිනී මැරුම් දහයට ම සම්බන්ධ බව තීරණය කොට ජීවිතාන්තය තෙක් ඇයව සිරගත කරන ලදි. මෙම ඝාතන සඳහා භාවිතා කළ ගිනි අවිය සැපයූ රොල්ෆ් වෝලෙබන් දස වසරකට සිරගත කෙරිණ​. ත්‍රස්ත කල්ලියට සහය දුන් තවත් දෙදෙනකු වසර තුන බැගින් ද​, එක් අයකු වසර දෙක හමාරකට ද සිරගත කරන ලද අතර අන්ද්‍රෙ E. නමින් හැඳින්වෙන අවසන් පුද්ගලයා අත්අඩංගුවේදී එම කාලය ගෙවා ඇති හෙයින් නඩුව අවසානයේදී නිදහස් කරන ලදි.

ඔත්තු සේවා සම්බන්ධය​

මෙම නඩුවේ ඇතැම් සාක්කිකරුවන් වූයේ ජර්මන් ඔත්තු සේවා සඳහා තොරතුරු සැපයූවන් ය​. ඇතැමුන් සාක්කි සඳහා කැඳවනු ලැබුවේ ද නැති බව සඳහන් විය​. මේ අනුව ජර්මන් ඔත්තු සේවා මෙම කල්ලිය පිළිබඳව දැන සිටියේද යන සැකය මතු වී තිබේ. ඇතැම් විට මුල් කාලීනව හෝ යම් කිසි පසු කාලීන අවස්ථාවක ඔත්තු සේවාවන්ට සම්බන්ධ වූවන් සහ කල්ලිය අතර යම් සම්බන්ධීකරණයක් වීද යන සැකය මතු කරනු ලබයි.

මේ අතර බොහෝ විරෝධතාකරුවන් කියා සිටින්නේ මෙතරම් විශාල ලෙස පැතිරුණ ඝාතන​, කොල්ලකෑම් සහ බෝම්බ ප්‍රහාර තිදෙනකුගේ කල්ලියක් විසින් සිදු කරන ලද විශ්වාස කිරීම අපහසු බවයි. තවත් කිහිප දෙෙනකු හෝ මෙම කල්ලියට සම්බන්ධව සිටින්නට ඇතැයි ඔවුහු සැක පළ කරති. සිය නඩු විභාගයේ දී බියාටා ශේප කිසිදු තොරතුරක් ලබා නොදීම සහ අනෙක් සාමාජිකයන් දෙදෙනා මියගොස් සිටීම තුළ මෙම තොරතුරු හෙළි වී නැත​.

අනෙක් බරපතළ ම ප්‍රශ්නය නම් ඝාතනයට ලක් වූවන් තෝරා ගැනීමට යම් හේතුවක් තිබුණි ද නැතහොත් අහඹු ලෙස එම ඝාතනයන් සිදු කෙරුණි ද යන්න ය​. මේ පිළිබඳ ද කිසිවක් හෙළිව නැති හෙයින් ඝාතනයට ලක් වූවන්ගේ ඥාතීහු තවමත් සිය ආදරණීයයන්ගේ මරණ පිළිබඳ ප්‍රශ්න කරමින් සිටිති.

ඔවුන් ඇතුළුව​, NSU නඩුව විවේචනය කරන්නන් සඳහන් කරන්නේ මෙම කතා පුවත බියාටා ශේප සිරගත කිරීමෙන් අවසන් නොවිය යුතු බව ය​.

මාතෘකා