ඉතියෝපියාව ඉතිහාසයේ අලුත් පිටුවක්...

 ඡායාරූපය:

ඉතියෝපියාව ඉතිහාසයේ අලුත් පිටුවක්...

පසුගිය ඉරිදා කිම් - ට්‍රම්ප් හමුව තරම්ම විස්මයාවහ හමුවක් අප්‍රිකා මහාද්වීපයේ සිදු විය. අර තරම් පූර්ව ප්‍රචාරක කටයුතු මෙන්ම සිරුරු උණුසුම් කැර ගැනීමේ ව්‍යායාම සහ පුහුණුවීම් නොමැතිව සිදු වූ මේ හමුවීම අතිශය වැදගත් වන්නේ එකිනෙකා කා ගනිමින් දහස් ගණනක් මිනිස් ජීවිත බිලිගත් එදිරිවාදුකමක් ඉන් හමාර වී ඉන් ජනයාට සෙත උදා වීම නිසාය.

මේ රාජ්‍ය නායකයන් දෙදෙනා වනුයේ ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය අබී අහමඩ් අලි සහ එරිත්‍රියාවේ ජනාධිපති ඉසය්යාස් අෆ්වර්කිය.

අතිසාර්ථකව අවසන් වූ මෙම සාකච්ඡා අවංකවම සාමය උදෙසාම විය. ඉන් අනතුරුව දෙරටේ නායකයන් එකිනෙකා වැලඳ ආචාර සමාචාර පවත්වා වෙන් වූහ. පසුදා (ජුලි 09) දෙරට බලධාරීහු සාමයේ සහ මිත්‍රත්වයේ ඒකාබද්ධ ප්‍රකාශය අත්සන් තැබූහ.

අත්හැරදමා තිබූ දෙරට අතර තානාපති සබඳකම් නැවත ඇරැඹෙනු ඇත.

අතීතයේ එක් රටක්ව පැවැතී පසුව වෙන් වූ අප්‍රිකාවේ අඟ (Horn of Africa) ලෙස හැඳින්වෙන අප්‍රිකානු ඉහළ තුඩුවේ පිහිටා ඇති මේ යාබද රාජ්‍ය දෙක අතර විරසකය ඇරැඹී බොහෝ කල්ය. එය 1998 දී යුද්ධයක් දක්වා වර්ධනය විය. කෙමෙන් දරුණු බවට පත්වූ එම යුද්ධයේදී 80,000 ඉක්මවන මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලි ගන්නා ලද බව සඳහන්ය. එක්සත් ජාතීන් හා අප්‍රිකානු සංගමය මැදිහත්ව ‘ඇල්ජියර්ස් සම්මුතිය’ නම් සටන් විරාම ගිවිසුමක් 2000 වසරේ අත්සන් තැබූ අතර ඒ අනුව යුද්ධය අවසන් විය. එහෙත් දෙරට අතර අමනාපය දිගටම පැවැතිණි.

ඩොලර් මිලියන් ගණනක් සහ ජීවිත දසදහස් ගණනක් විනාශ කළ මේ නිරර්ථක යුද්ධයට හේතු වූයේ දේශ සීමා ගැටලුවකි. දෙරට අතර දේශ සීමාවේ පිහිටි බද්මෙ නම් ග්‍රාමීය පෙදෙසක හිමිකාරීත්වය පිළිබඳ අවුල විසඳාගත නොහැකි වීම ගැටලුවට මුලය. මේ යුද්ධය හරියට මුඩු හිස් ඇති දෙදෙනකු පනාවකට රණ්ඩු කිරීම වැනි එකකියි මේ අරභයා එසමයේ ප්‍රකට කියමනක් තිබිණි.

එවකට එරිත්‍රියාව පාලනය කළ ඉතාලිය විසින් ඉතියෝපියාව සමග දේශ සීමාවලට අදාළව 1902 වසරේ අත්සන් කරන ලද ගිවිසුමක ඒ පෙදෙස ගැන ඇති සඳහන අවුල් සහගත වීම අර්බුදයේ මුලය. එය එරිත්‍රියාවට අයත් සේ සැලකුණත් පසුව ඉතියෝපියාව එය අත්පත් කැර ගත්තේය. මේ පෙදෙසේ 1,500ක් පමණ වන වැසියෝ ඉතියෝපියාවේ ඡන්දදායකයෝ වෙති. පරිපාලනයට අදාළව ඔවුන්ගේ සියලු කටයුතු කෙරෙන්නේ ඉතියෝපියා රජයෙනි. එහෙත් භූමිභාගය අයත් එරිත්‍රියාවටය.

පසුගිය ජුනි 05දා ඒ භූමිභාගය පිළිබඳ හිමිකම් පෑම අත්හැර එය එරිත්‍රියාවට නිල වශයෙන් පවරා දෙන්නට ඉතියෝපියානු රජය තීරණය කළේය. දෙරට නායක හමුව පසුගිය 08 දින පැවැත්වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

මේ දෙරට අයත් වන්නේ අප්‍රිකානු අඟ නැමැති කලාපයට බව පෙර සඳහන් කරන ලදී. අප්‍රිකානු මහාද්වීපයේ සිතියමක් දෙස බැලූ විට නැගෙනහිර අප්‍රිකාවේ ඇති රයිනෝ අඟක් වැනි මේ විශාල නෙරුව දැකිය හැකිය. නෙරුවේ තුඩ අරාබි මුහුදට මායිම් වන අතර ඊට පහළින් නැගෙනහිර මායිම ඉන්දීය සයුරයි. උතුරෙන් ඒඩන් බොක්ක තිබේ.

මෙහි රටවල් හතරකි. සෝමාලියාව, ඉතියෝපියාව, එරිත්‍රියාව සහ ජිබඋට් යනු ඒවාය. සමහර විට කෙන්යාව, සුඩානය වැනි රටවල්ද මෙයට අයත් ලෙස සඳහන්ය. මේ අතරින් ඉතියෝපියාවට වෙරළක් නොමැත. (landlocked State). වියළි දේශගුණයක් පවතින මේ කලාපයේ ජීවිතය අතිදුෂ්කර වන අතර මේ රටවල ජනයා බහුතරය දිළින්දෝය.

මේ රටවල් - විශේෂයෙන්ම සෝමාලියාව සහ එරිත්‍රියාව නොයෙකුත් සොරමැරකම්වලට කුප්‍රකටය. සෝමාලියාවේ නිසි ආකාර පත්වූ රජයක් ක්‍රියාත්මක නොවන අතර එරට පාලනය කරන ඒකකය ඇෆ්ගනිස්තානයේ වරිග සභාවකට නොදෙවෙනිය. සෝමාලි මුහුදු කොල්ලකරුවන් යන වචන දෙක පවා නාවුකයන් ඇඟ ලොමු දැහැ ගැන්වීමේ සමත් ය. එරිත්‍රියාව කුප්‍රකට මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරම්කරුවන්ගේ රජ දහනකි. ඔවුන්ට මෙසේ සිත්සේ ක්‍රීඩා කරන්නට ඉඩ ලැබී ඇත්තේ කලාපයේ භූගෝලීය පිහිටීම ඊට ආශීර්වාද කරන හෙයිනි.

මේ අතරින් ඉතියෝපියාව අලුත් ගමනක් යන්නට සැදී පැහැදී සිටින සෙයක් දැන් දැන් දැකිය හැකිය. පසුගිය අප්‍රේල් 02 දින අගමැතිධුරය භාරගත් ආචාර්ය අබී අහමඩ් අලි එතැන් සිට මේ දක්වා ඉතියෝපියාවේ ස්ථාවරභාවය වෙනුවෙන් ඉටු කැර ඇති වැඩ ප්‍රමාණය අතිමහත්ය.

ආචාර්ය අලි මීට වසරකට පමණ පෙර තමා සාමාජිකත්වය දැරූ ඔරෝමෝ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයේ සභාපතිත්වයට පත්විය. එම සංවිධානය වර්තමානයේ ඉතියෝපියාව පාලනය කරන ඉතියෝපියානු ජනතා විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (EPRDF) වැඩි පංගුවක් හිමි සාමාජිකයාය. ඒ අනුව එම පෙරමුණේ සභාපතිත්වයද ඔහුට හිමි වේ.

දේශපාලනයට පිවිසෙන්නට පෙර ඔහු එරට රහස් ඔත්තු සේවාවේ නිලධරයකුවැ සිටියේය. ව්ලැදිමීර් පුතින් මෙනි. දිව්රුම් දුන් දින සිය ප්‍රථම කථාවේදීම ඔහු එරිත්‍රියාව සමග ඇති ආරෝව විසඳා ගන්නට උත්සාහ කරන බවත් අභ්‍යන්තර ව සහ බාහිරව ඉතියෝපියාවට එරෙහි සතුරන් සමනය කරන්නටද පියවර ගන්නා බවත් පැවසීය. ඔහු දැන් කටයුතු කරමින් සිටින්නේ ඒ ප්‍රකාශය තහවුරු වන පරිද්දෙනි. ඔහුගේ මේ කථාව සහ ක්‍රියාව ඉතියෝපියනු රජයට එරෙහි විවිධ පුද්ගලයන් මෙන්ම එරට සාමාන්‍ය ජනතාව තුළද කිසියම් වෙනසක් ඇති කරන්නට සමත් විය. බොහෝ දෙනා අතීත නායකයන් දෙස මෙන් නොව ඔහු දෙස සුබවාදී මිතුරු ආකල්පයකින් බලන්නට පටන් ගෙන සිටිති. මෙය ඕනෑම රටක් පාලනය කිරීමේදී අත්‍යවශ්‍ය සාධකයක් බව අමුතුවෙන් නොකිවමනාය.

දේශපාලන හේතු මත පෙර පාලනය විසින් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලැබ සිටි දහස ඉක්මවන පිරිසක් සහ ඔරෝමෝ කලාප පාලනය විසින් රඳවා ගෙන සිටි තවත් 7600ක්ද නිදහස් කරන්නට අගමැතිවරයා පියවර ගත්තේය. මරණ දඬුවමට නියම වී සිටි 756ක් දෙනාට ජනාධිපති සමාව ලැබිණි. පැය විසිහතරකට පසු ඝාතනය කරන්නට නියමිතව සිටි අන්දර්චු ට්සෙගෙ නම් ත්‍රස්ත චුදිතයා නිදහස් කිරීමෙන් පසු සිය කාර්යාලයයට කැඳවූ අගමැතිවරයා ඔහු හා පිළිසඳරක යෙදුණේය. මෙය බොහෝ දෙනාගේ විමතියටත් විවේචනයටත් බඳුන් විය. ඇත්තටම නම් ඊට ප්‍රශංසා කළ අයකු නැති බව පැවසේ. කලක් තිස්සේ ක්‍රියාත්මක හදිසි නීතිය ඉදිරි දෙමසකින් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව විසින් සම්මත කැරිණි. මෙය පාලක සන්ධානයේ හවුල්කරුවකු වන දැඩිමතධාරී ටයිග්‍රසන් ජනතා විමුක්ති පෙරමුණේ කෝපයට හේතු වී ඇති බව පැවසේ. දේශපාලන සැකකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන්නට බලතල සහිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන්නට අවශ්‍ය පියවර ගනු ඇති බවට මැයි 30 දින අගමැතිවරයා නිවේදනය කළේය. රැඳවුම් භාරයට ගෙන සිටි අමෙරිකානු ආධාර ඇතිව පවත්වාගෙන යනු ලැබූ ‘ඊස්ට්’සහ ‘OMN’ නමැති රූපවාහිනී නාලිකාවල ප්‍රධානීන් නිදහස් කරන්නටද රජය විසින් පසුගිය මාසයේ පියවර ගන්නා ලදී. අගමැතිවරයා හදිසි ගමනක් වේගයෙන් යන බව ටයිග්‍රියන් ඔන්ලයින් නමැති වෙබ් අඩවිය පෙන්වා දී ඇත. මේ ගමන කොතැනින් කෙළවර වනු ඇත්ද කියා සැක පහළ කෙරේ.

මර්දනයට හුරුවී ඊට යටත්ව සිටියවුනට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංග නුහුරුය. අගමැතිවරයාට යකඩ අතක් තිබිය යුතු යයි ටයිග්‍රසන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසා ඇත්තේ එබැවින් විය යුතු ය. මෙය ලොව ඕනෑම රටකට - විශේෂයෙන්ම දළදඬු පාලකයන් සිටි රටවලට - අදාළය.

අගමැතිවරයා සෞම්‍ය උගතෙකි. එය තනතුරට නොහොබීය කියා ඔවුන් සමහර විට සිතනවා වැනිය. අගමැතිවරයා විසින් රාජ්‍යයේ උන්නතිය සඳහා ගැනීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ගයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණයයි. විදුලිය, විදුලි සංදේශ සහ ගුවන්සේවා රජයට වැඩි කොටසක් තබා ගෙන ඉතිරි කොටස් විකුණා දැමෙනු ඇත. සමස්ත අප්‍රිකාවේම වැඩිම ලාභ ලබන එයා ඉතියෝපියා ගුවන් සේවයද ඊට අයත්ය. ප්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි රජයෙන් සැපයෙන සේවා අහෝසි කෙරෙනු ඇති අතර ඒවා සම්පූර්ණයෙන්ම විකුණන්නට පියවර ගනු ඇත. දෙස් විදෙස් දෙආකාරයේම ගැනුම්කරුවන්ට ඒවා විවෘතය. මේද බොහෝ දෙනාගේ විවේචනයට බඳුන් ව පවතින මාතෘකාවකි.

මේ අතර පසුගිය මැයි මාසයේ ඔහු සවුදි අරාබිය බලා ගියේ එරට සිරභාරයට පත්ව සිටින මොහමඩ් හුසෙයින් අල්-අමඋදි නිදහස් කැර ගැනීමේ මෙහෙවරක් සඳහාය. බිලියනපති අල්-අමඋදි සවුදි අරාබි ජාතිකයකුට දාව ඉතියෝපියානු මවක විසින් උපත දෙන ලද්දෙකි. සවුදි අරාබියේ කිරුළ හිමි මොහමඩ් බින් සල්මාන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරවලින් එකක් වූ ‘2017 සවුදි අරාබි විරේකය’ නමැති ක්‍රියා දාමයේදී විමර්ශන කණ්ඩායම විසින් ඔහු දූෂිත පුද්ගලයකු බව අනාවරණය කැර ගන්නා ලද අතර නඩු පවරා රැඳවුම් බාරයට ගන්නා ලදී.

ජුනි මාසයේ අගමැතිවරයා ඉරාක ජනාධිපති අබ්දෙල් ෆාටා අල්-සිසි හමුවීම සඳහා කයිරෝ ගොස් සාකච්ඡා පැවැත්වීය.

ඉතියෝපියාවට වරායක් නොමැති බවේ අඩුව පුරවන්නටද තමා ඉදිරියේදී කටයුතු කරන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය. සෝමාලියාවේ බෙර්බෙරා වරායේ පාලනය භාර ඩුබායි වරාය අධිකාරිය සතු කොටස්වලින් 17% මිලදී ගැනීම කෙරේ ඔහුගේ අවධානය යොමු වී ඇත. එසේම ජිබඋටි රාජ්‍යයේ ජිබඋටි වරායට සම්බන්ධ වීමටද ඔහු අදහස් කරයි. සුඩාන වරායේද කොටස් මිල දී ගැනීමට අවබෝධතා ගිවිසුමක් මේ වන විටත් අත්සන් තබා ඇත. ඒ අතර කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා ඉතියෝපියානු ගුවන් සේවයේ සහ විදුලි සංදේශ සමාගමේ කොටස් මිල දී ගන්නට එකඟත්වය පළ කොට ඇති බව සඳහන්ය.

ප්‍රතිසංස්කරණ නම් බොහෝ යහපත් ඒවා බව පෙනෙයි. එහෙත් ඒ වේගයෙන් හදිසි ගමන් යන පාලකයන් බොහෝ දෙනෙකුට වැළඳෙන හිට්ලර් පන්නයේ ව්‍යාධිය ඔහුට නොවැළඳුනොත් පමණි.

[එස්. නන්දලාල්]

මාතෘකා