තායිලන්ත දරුවන් නිරුපද්‍රිතව මුදා ගැනේ

 ඡායාරූපය:

තායිලන්ත දරුවන් නිරුපද්‍රිතව මුදා ගැනේ

දින දහසයක් පුරා උතුරු දිග තායිලන්තයේ 'තාම් ලුවාං' නම් ගුහාවේ සිර වී සිටි එරට පාසල් පාපන්දු කණ්ඩායමකට අයත් ක්‍රීඩකයන් දොළොස් දෙනා සහ 25 හැවිරිදි පුහුණුකරු නිරුපද්‍රිතව මුදවා ගැනීමේ මානුෂික ක්‍රියාන්විතය සාර්ථකව නිම කිරීමට මුදවා ගැනීමේ කණ්ඩායම ඊයේ (10දා) සමත් විය.

බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, මියන්මාරය, ස්වීඩනය, චීනය, ලාඕසය ඇතුළු විදෙස් රටවලින් පැමිණි විශේෂඥ කිමිඳුම්කරුවන් සහ විශේෂ මෙහෙයුම් කණ්ඩායම්වලින් සමන්විත දහසකට අධික පිරිසකගේ සහයෙන් මෙම මුදවා ගැනීමේ කටයුතු සිදු කෙරිණ.

මෙම මෙහෙයුම අතරතුරදී ගුහාවේ සිරව සිටි දරුවන්ට ඔක්සිජන් සපයා නැවත එන අතරතුර තම ඔක්සිජන් ටැංකියේ ඔක්සිජන් අවසන් වීම නිසා තායිලන්ත කිමිඳුම්කරුවකු වන සාමන් ගුනන් මරණයට පත් විය.

අදියර තුනකින් ක්‍රියාත්මක වූ මුදවා ගැනීමේ මෙහෙයුම අවසානයේදී එම පිරිස රෝහල්ගත කළ අතර ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය යහපත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සෞඛ්‍යය තත්ත්වය සම්පූර්ණයෙන් සුව අතට පත් වුවහොත් මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීමට ඔවුන්ට අවස්ථාව ලබා දීමට ලෝක පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

[මංජුල සමරසේකර]

මාතෘකා