ජීවිතය සහ මරණය අතර තායිලන්ත විස්මිත මෙහෙයුම

 ඡායාරූපය:

ජීවිතය සහ මරණය අතර තායිලන්ත විස්මිත මෙහෙයුම

උතුරු දිග තායිලන්තයේ, චැං රායි නම් ප්‍රාන්තයේ, ඩොයි නැන්ග් නොං කඳු වැටියේ පර්යන්ත ප්‍රදේශයේ තිබෙන "තාම් ලුවාං නම් නොං" හෙවත් "තාම් ලුවාං ගුහා සංකීර්ණය" මේ දිනවල මුළු ලොවේම අවධානයට පාත්‍රව තිබේ. (හිරිගල් පාෂාණමය ස්ථරයකින්, ජල කෝෂ්ඨ, ජල මාර්ග ආදියෙන් ගැවසී ගත් මෙම ගල් ගුහා සංකීර්ණය, සමස්තයක් ලෙස කිලෝමීටර් 10 ක පමණ දුරක් කඳු වැටිය අභ්‍යන්තරයට විහිදී ඇත.)

එයට හේතුව වශයෙන් සඳහන් කළ හැක්කේ, එම ගුහා සංකීර්ණයේ ද්වාරයේ සිට කිලෝමීටර් 3.2 ක් පමණ ගැඹුරට වන්නට පිහිටි ස්ථානයක පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයන් දොළොස් දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරුවා සිර වී සිටීමය. ඔවුන් සොයා ගැනීම, සහ ඔවුන්ව මුදවා ගැනීමට දරන උත්සාහයන්වල සුවිශේෂීතාවය නිසා, මෙම සිද්ධියට මුළු මහත් සංකීර්ණ මිනිස් පවුලේම අවධානය හිමිවිය.

2018 වසරේ ජූනි මස 23 වැනිදා, "වයිල්ඩ් බෝර්ස්" (Wild Boars) නම් පාපන්දු කණ්ඩායමේ වයස 11 - 16 අතර ළාබාල ක්‍රීඩකයන් 12කු සහ ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරුවා, පාපන්දු පුහුණුවක් අවසන් වීමෙන් පසුව, මේ තාම් ලුවාං නමින් හැඳින්වෙන සුප්‍රකට ගල් ගුහා සංකීර්ණය වෙත ගියේ, ඔවුන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකුගේ උපන් දිනය සැමරීම සඳහාය.

එම උපන්දිනය සැමරීම සඳහා, යම් සාදයක් පැවැත්වීමට අදහස් කළ පිරිස ආහාර වර්ගද රැගෙන ගොස් තිබේ.ටිකෙන් ටික පිරිස ගල් ගුහාව තුළට ඇතුළු වී තිබේ. මේ දිනවල තායිලන්තයට මෝසම් වැස්ස කඩා හැලේ.

තායිලන්තයේ මෝසම් වැසි සමය යනු ලොව ඉහළම ඝණත්වයෙන් සහ පරිමාවෙන් යුතුව වැසි ජලය ඇදහැලෙන, වර්ෂා සමයන්ගෙන් එකකි.

එතෙක්, ජලය නැතිව තිබූ ගල් ගුහාව තුළට ටිකෙන් ටික ජලය කාන්දු වීමට පටන් ගත්තේය. පිටතට සිට පැමිණෙන ජල මාර්ග, සහ මේ පාපන්දු කණ්ඩායම ගමන් ගත් මාර්ගයට ඉහළින් තිබෙන තායිලන්තයේ සුප්‍රකට පතායා වෙරළින් මුහුදට වැටීම සඳහා පොළව මතුපිටින් සහ අභ්‍යන්තරයෙන් ගලන ජල මාර්ග වැසි දියෙන් පිරී යෑමෙන් පසුව, එම ජලය ගුහා සංකීර්ණය තුළට ගලා ඒම සිදුවිය.

මෙහිදී පාපන්දු කණ්ඩායම ගමන් ගත් මාර්ගයේ, ඔවුන් සිටි ස්ථානයත්, ගල් ගුහා ද්වාරයත් අතර ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙන විට ඔවුන්ට කරන්නට සිදුව තිබුණේ, ආරක්ෂිත ස්ථානයක් සොයා තව දුරටත් ගුහා පද්ධතිය තුළට ගමන් කරන්නටය.

තමන් මුහුණ පා සිටින බිහිසුණු තත්ත්වය ඔවුන්ට වැටෙහන විට, ඔවුන් ගල් ගුහා ද්වාරයේ සිට කිලෝමීටර් 3.2 ක් පමණ පොළව අභ්‍යන්තරයට ගොස් අවසන්ය.

ආපසු පැමිණීම කෙසේ වෙතත්, ශීඝ්‍රයෙන් ඉහළ යන ජල මට්ටම හමුවේ නොගිලී සිටිය හැකි තැනක් සොයා ගිය ඔවුන්ට අවසානයේ ලැගුම් ගැනීමට ඉතිරිව තිබුණේ වර්ග මීටර් 10ක පමණ ගැටියක් මත පිහිටි වැලි පරයක් පමණි.

අවට ලෝකය සමඟ කිසිදු සබඳතාවක් පවත්වා ගත නොහැකි ස්ථානයක මෙසේ සිරවූ පාපන්දු කණ්ඩායමේ දරුවන් සහ පුහුණුකරුවා, තම ඉරණම කෙබඳු වේද යන්න ගැන සිතමින්, එම වැලි පරය මත ලැගුම් ගෙන සිටි අතර, උපන් දින සාදය සැමරීම සඳහා ගෙන ගිය ආහාර, සහ පාන වර්ග ඔවුන්ගේ ජීවනාලිය බවට පත්විය.

තම සිරුරේ උෂ්ණත්වය ආරක්ෂා කරගත හැකි ක්‍රමවේදයන් මෙන්ම, ශක්තිය උපරිම වශයෙන් ආරක්ෂා කරගත හැකි ක්‍රම සිය කණ්ඩායමේ දරුවන්ට ඉගැන්වීමට, මෙහිදී එම පුහුණුකරුවා කටයුතු කර තිබේ. එහෙත් ඔවුන්ගේ ජීවිත පිළිබඳව තීරණාත්මක පරික්ෂාව සොබා දහම විසින් සියතට ගෙන තිබිණි. පුහුණුකරු තුෂ්නීම්භූතව කළයුත්ත ගැන සිතමින් විපිලිසර විය. ඒ අතරම දරුවන් කිහිප දෙනෙකුගේ දෙමාපියන්, සිය දරුවන් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබිණ.

අතුරුදහන් වීමේ මුල් දැන්වීම

තායිලන්තයේ වනෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් රේන්ජර්වරයෙකු හදිසියේම ගල්ගුහා සංකීර්ණය දෙසට පැමිණියේය. ඔහු, මෙම ගල් ගුහා සංකීර්ණයට ප්‍රවේශ වන තැන පාපන්දු කණ්ඩායමේ දරුවන්ට අයත් පාපැදි සහ පාවහන් තිබෙනු දැක, ඒ පිළිබඳව මුල්වරට සිය දෙපාර්තමේන්තු කාර්යාලය සහ ඉක්බිතිව පොලීසිය දැනුවත් කිරීමෙන්, අද අප දකින සිද්ධි දාමය ආරම්භ විය.

උද්ගතව ඇති තත්ත්වයේ ගැඹුර හොඳින් වටහා ගත් එම ප්‍රදේශය භාර වනෝද්‍යාන අධ්‍යක්ෂවරයා සහ පොලිස් ප්‍රධානියා, චැන්ග් රායි ප්‍රාන්තය බාර ආණ්ඩුකාරවරයාගෙන් මෙම පිරිස සෙවීම සඳහා උපකාර ඉල්ලීය.

අතුරුදහන් වූ පාපන්දු කණ්ඩායම සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ වී තිබෙන්නේ ඉන් පසුවය. තායි පොලිසිය, හමුදාව, නාවික හමුදාව, ආදි වශයෙන් ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වූ මේ පිරිස ගණනින් 800ක් පමණ වෙද්දී, ජූනි 25 වැනිදා එරට රජයේ ඉල්ලීම පරිදි ඇමරිකානු නාවික හමුදා ශාන්තිකර කලාපීය ආඥාපතිත්වයේ මෙහෙයවීම පරිදි ඇමරිකානු සෙබළුන් 30 දෙනෙකු, මෙම මෙහෙයුමට සම්බන්ධ වන පළමු විදෙස් නියෝජනය ලෙස තායිලන්තයට පැමිණියහ.

මූලික වශයෙන් තායි පාපන්දු කණ්ඩායම සිදු කළ කිමිදුම් පරීක්ෂාවලදී, කිසිවක් හමුවී නැති අතර, නොකඩවා ඇදහැලෙමින් පැවති මෝසම් වර්ෂාපතනය නිසා, ගුහාව තුළ ජල මට්ටමද කිමිඳුම් මෙහෙයුම් සඳහා අන්තරාදායක අන්දමට ඉහළ ගියේය. මේ අනුව ජූනි 27 වැනිදා පමණ වනවිට මෙහෙයුම් සැළකිය යුතු අන්දමින් අඩාළ වී තිබුණි.

ඒ වනවිටත් දරුවන් දොළොස් දෙනෙකු ජීවිත ආශාව සොයමින් ගල් ගුහාවේය.

ගුහා සංකීර්ණය අභ්‍යන්තරයේ තත්ත්වය මෙසේ වෙද්දී, පාපන්දු කණ්ඩායමේ දරුවන්ගේ දෙමාපියන් ප්‍රමුඛ ඥාති හිත මිත්‍රාදීන් සිය ගණනින් ගුහා සංකීර්ණය ආසන්නයට රැස්ව, දරුවන්ගේ නිරුපද්‍රිත පැමිණීම පතා, විවිධ ආගමික වතාවත්වල නිරත වූහ.

දරුවන් සෙවීමේ කටයුතුවලදී, තායි සහ විදේශික කණ්ඩායම් අතර මනා තොරතුරු හුවමාරුවක් සහ සම්පත් කළමනාකරණය තිබිය යුතු නිසා, තායිලන්ත නාවික හමුදාව, යුද හමුදාව, සහ පොලිසිය ආදි ආයතන එක්ව ඒකාබද්ධ මෙහෙයුම් අණදෙණ මධ්‍යස්ථානයක්, මෙම මෙහෙයුම සඳහා පිහිටුවනු ලැබීය. එහි නායකත්වයට චියැං රායි ප්‍රාන්තයේ වැඩබලන ආණ්ඩුකාරවරයා පත්විය.

ක්‍රම ක්‍රමයෙන් මේ සිද්ධිය ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය දිනාගත් අතර, එමඟින් මුළු ලොවේම දෑස් උතුරු දිග තායිලන්තය දෙසට යොමුවීම ඇරඹිණි. බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, තායිලන්තයේ යාබද මියන්මාරය, ලාඕස් ජනරජය, මහජන චීන සමූහාණ්ඩුව, ස්වීඩනය ආදී රටවල් රැසකින් විශේෂඥ කිමිදුම් කරුවන්, විශේෂ බළකායන්ගේ කිමිදුම් පුහුණු කරුවන් තායිලන්තයට පැමිණීම ඇරඹුණේ ඉන් අනතුරුවය.

දරුවන් ඇතුලු පාපන්දු කණ්ඩායම පා ගමනින් රිංගා ගියද, එයින් පසුව ජලයෙන් පිරී ගිය මෙම ගුහා මාර්ගයේ ඇති දුෂ්කරතාවය කිමිදුම් මෙහෙයුම්වල වේගය බෙහෙවින්ම අඩාල කරන්නට සමත් විය. ජලයේ ගැඹුර වැඩිවන ප්‍රදේශ මෙන්ම, අනතුරු දායක ලෙස පටු (ඇතැම් තැන්වල මීටරයකටත් වඩා අඩු පළලක් සහිත) දෝනාවල්, ගැඹුරු ජල කුටීර ආදිය පසුකර යෑම කෙතරම් දුෂ්කර වූවාදැයි කිවහොත්, මේ කිමිදුම් මෙහෙයුම් සඳහා සහභාගී වීමට පැමිණි බ්‍රිතාන්‍ය විශේෂඥයන්ට පවා, වසින වර්ෂාව සමඟ ඉහළ යන අවදානමේ තත්ත්වය සළකා බලා, කිමිදුම් නතර කර, යළි පැමිණීමට සිදුවීය.

ශුභ ආරංචිය

අතුරුදහන් වීමෙන් දින 8 කට පමණ පසුව, එනම් ජූලි මස 02 වැනිදා තායිලන්තයේ වේලාවෙන් රාත්‍රී 10ට පමණ, බ්‍රිතාන්‍යයේ ගුහාශ්‍රිත මුදවා ගැනීමේ කවුන්සිලයට අනුබද්ධිත විශේෂඥ කිමිදුම් කරුවන් දෙදෙනෙකු වන 56 හැවිරිදි රිචර්ඩ් ස්ටැන්ටන් සහ 47 හැවිරිදි ජෝන් වොලැන්දන් යන දෙපළ විසින්, පතායා වෙරළට මීටර් 400 - 650 අතර ගැඹුරක සිටියදී, පාපන්දු කණ්ඩායම නිරුපද්‍රිතව සොයාගනු ලැබීය. ඒ පුවත සැලවීමත් සමඟ නව බලාපොරොත්තුවකින් ඔද වැඩී ගිය තායිලන්තය ප්‍රමුඛ සකළ ලෝකයම, දරුවන්ගේ යළි පැමිණීමේ පුවත ඇසීමට ලහි ලහියේ සූදානම් වූහ.

නමුත්, දරුවන් සහ පුහුණු කරුවා යළි පොළව මතුපිටට ගෙන ඒම, කිසි සේත්ම පහසු කාර්යයක් නොවන බව, බ්‍රිතාන්‍ය විශේෂඥයන් දෙදෙනා පෙන්වා දීමෙන් පසුව, තත්ත්වයේ සංකීර්ණත්වය වටහා ගත් සියලු දෙනා, දීර්ඝ, සුවිශේෂ මෙහෙයුමකට සූදානම් වූහ.

මෙම ගුහා මාර්ගයේ ඇතැම් කුටීරයන් කෙතරම් පටුද කියතොත්, කිමිදුම් කරුවන්ට එම ප්‍රදේශ තරණය කරන්නට සිදුවන්නේ, සිය කිමිදුම් කට්ටලයේ පිටට සවිකර ඇති ඔක්සිජන් ටැංකි ගලවා, ඒවා වෙනම තමන්ට ඉදිරියෙන් පා කර යවමින්ය. එබඳු පටු විවරයන් තුළින් මෙම පාපන්දු කණ්ඩායමේ සිටින "ගැඹුරු කිමිදුම් " පුහුණුවකින් තොර සාමාජිකයන් නිරුපද්‍රිතව රැගෙන එන්නේ කෙසේද යන්න විශාල ගැටලුවක් විය.

මේ අතරම මෝසම් වැසි තත්වයද වඩාත් උත්සන්න වෙමින් පැවතිණි. ජල කඳ එන්න එන්නම වැඩි විණි.

කෙසේ වෙතත්, දින ගණනක් නිරාහාරව සිටි පාපන්දු කණ්ඩායමට අවශ්‍ය ආහාර වර්ග, ශරීර උෂ්ණත්වය ආරක්ෂා කරන පොරෝණ වර්ග, ඇතිරිලි, ඖෂධ, අවශ්‍ය වුවහොත් ඔක්සිජන් ආදිය ඔවුන් සිටින ස්ථානයට යැවීමට මෙහෙයුම් අණදෙණ නිලධාරීහු ක්ෂණික පියවර ගත්හ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයෙක් සහ හෙද සේවකයෙක් සමඟ 7 දෙනෙකුගෙන් යුතු කිමිදුම් කණ්ඩායමක්, මේ සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සමඟ වහාම පාපන්දු කණ්ඩායමට පිටත් කර යැවුණි. බොහෝ කලකින් පසුව පැමිණි ආහාරවලින් ඔවුන් කුස පුරවා ගනිද්දී, ඔවුන් සියලු දෙනාම ඒ සිරවී සිටින ස්ථානයේම පරීක්ෂාවට ලක් කළ වෛද්‍යවරුන්, ඔවුන් සාපේක්ෂව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව දැනුම් දුන්හ.

නොසිතූ ලෙස ඛේදවාචකයක්

පුරා දින 6 ක් පමණ තිස්සේ පැවති මෙම සැපයුම් මෙහෙයුම කෙරෙහි ලෝකයේ අවධානය යොමු වෙද්දී, නොසිතූ විරූ අන්දමින් සිදුවූ එක් ඛේද ජනක සිද්ධියකුත් වාර්තා විණි. එම සිද්ධිය වන්නේ, තායිලන්ත නාවික හමුදාවේ හිටපු සීල් භටයෙකු වන 38 හැවිරිදි සාමන් ගුනාන්ගේ මරණයයි. මෙම සමස්ත සිද්ධියටම අදාළ පළමු ජීවිත හානිය ලෙස වාර්තා වූ එම සිද්ධියෙන් මුළු ලෝකයම මහත් කම්පාවට පත්වුහ. පාපන්දු කණ්ඩායමට අවශ්‍ය දෑ ලබා දී, ආපසු එන ගමනේදී ඔක්සිජන් මදිවීම නිසා විසංඥවී ගිය එම විරෝධාර කිමිදුම්කරුවාට යළි සිහිය ලබාදීමට හැකිවූයේ නැත. අනුන්ගේ ජීවිතවල ආරක්ෂාව සහ පැවැත්ම උදෙසා, තම ජීවිතය නොමසුරුව දානය කළ මනුෂ්‍යත්වයේ වීරයෙකු ලෙස, සාමන් ගුනාන් ඉතිහාස ගතවිය.

ගැලවීමේ මෙහෙයුම නව අතකට

මෝසම් වැසි තත්වය තරමක් අඩු වී ඇති හෙයින්, තවත් දින දෙකක කාලයක් මේ මෙහෙයුම් සඳහා ලැබී තිබෙන අතර, උමං මාර්ගයේ බොහෝ තැන්වල අඩි පහළොවක් පමණ උසට තිබූ වැසි ජල මට්ටම බැස යාම හේතුවෙන්, මෙහෙයුම ආරම්භ කිරීමට හොඳම අවස්ථාව මෙය බව තායි නාවික හමුදා බළධාරීහු තීරණය කළහ.

තායිලන්තය මෙන්ම මුළු මහත් ලෝකයම ඇසිපිය නොහෙළා බලා සිටින මෙවන් මොහොතක, තායිලන්ත නාවික හමුදාවේ විශේෂ "සීල්" බළ ඝණයට අයත් කිමිදුම් කරුවන් 5 දෙනෙක්, සහ බ්‍රිතාන්‍ය, ඇමරිකානු විශේෂ කිමිදුම් කරුවෝ 15 දෙනෙක් මෙම ක්‍රියාන්විතය සඳහා බිම්ගත වූහ.

එක් වරකට එක් දරුවෙකු බැගින් රැගෙන ඒමේ ක්‍රමවේදයට ආරම්භවී තිබෙන මෙම මෙහෙයුම් ඉරිදා (08දා) උදෑසන තායිලන්තයේ වේලාවෙන් 10ට ආරම්භ වු අතර, පළමු දරුවා නිරුපද්‍රිතව ගොඩට ගෙන ඒම, එරට වේලාවෙන් ඉරිදා රාත්‍රී 9 ට පමණ අපේක්ෂා කළ හැකි බව, විදෙස් පුවත් සඳහන් කර තිබිණි. මෙම කණ්ඩායම අදාළ උමඟෙහි සිරවී සිටින්නේ පසුගිය ජූනි 23 වැනිදා සිටය.

වයස අවුරුදු 11 ත් 16 ත් අතර වයස් සීමාවල පසුවන මෙම දරුවන් ආපසු රැගෙන ඒම ඉතාම අවදානම් සහගත, දුෂ්කර කාර්යයක් බව, තායි බළධාරීන් විසින් එම දරුවන්ගේ පවුල්වලට පැහැදිලි කර තිබිණි. ආපසු ගෙන එන ගමනේදී, ඔවුන් මුහුණ දිය හැකි අනතුරුවල ස්වභාවය එම පවුල්වලට දැනුම් දීමෙන් පසුව, තවත් දින 2 කට පසුව යළි එළඹිය හැකි ධාරාණිපාත මෝසම් වැසි තත්ත්වය එන තෙක් මේ මුදවා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද වුවහොත්, ඇතැම් විට දරුවන් මේ වනවිට රැඳී සිටින ස්ථානය පවා ජලයෙන් යටවී, ඔවුන් සියලු දෙනාගේ ජීවිත නියත ඛේදවාචකයකට මුහුණ පානු ඇති බවද, බ්‍රිතාන්‍ය කිමිදුම් විශේෂඥයෝ ඔවුන්ට විස්තර කර දුන්හ.

අදාළ මෙහෙයුම ඉරිදා දිනයේ ආරම්භ කිරීමට එම පවුල්වල සාමාජිකයන් එකඟතාවය ඵල කර ඇත්තේ ඉන් පසුවය.

මෝසම් වැසි සමයේ වර්ෂාපතනය ලැබීම අතරතුර නිර්මාණය වී ඇති, මේ දින 4 ක තාවකාලික සහනශීලී කාළගුණික තත්ත්වය නොවන්නට, මෙම දරුවන්ට අවම වශයෙන් තව සති තුනක්වත් මේ බිම් උමඟෙහි සිරවී සිටින්නට සිදුවනු ඇති බවට විශේෂඥයෝ මත ඵල කළහ.

තායිලන්තයේ තාම් ලුවාං නන් නොං ගල් ගුහා සංකීර්ණයේ සිරවී සිටින දරුවන් මුදා ගැනීමේ මෙහෙයුම විසින් මුදා ගනු ලැබූ පළමු දරුවන් දෙදෙනා ගුහා සංකීර්ණයෙන් පොළව මතුපිටට ගෙන ආ අවස්ථාව අතිශය හැඟුම්බර අවස්ථාවක් විය. විද්‍යාව සේම අවිද්‍යාවද තමන්ට පිහිට වෙතැයි සියලු දෙනා සිතූහ.

තායිලන්තයේ වේලාවෙන් ඉරිදා සවස 5.40 ට සහ රාත්‍රී 7.50ට පළමු දරුවන් සිවුදෙනා මුදවාගෙන පිටතට ගෙන එනු ලැබීය.

හෙලිකොප්ටර් මඟින් මුදවා ගත් දරුවන් රෝහල වෙත ප්‍රවාහනය කරන දර්ශන රොයිටර් සහ ඒ.එෆ්.පී ප්‍රවෘත්ති ජාලයන්ට අනුබද්ධිත මාධ්‍යවේදීන් සහ ඡායාරූප ශිල්පීන් සේයා ගත කර තිබිණි.

මුදවා ගනු ලැබූ දරුවන් නිරෝගී තත්ත්වයේ පසුවන බව චියැන්ග් රායි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසයි.

ගල් ගුහා පරිශ්‍රයේ සිරවී සිටින දරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමේ මුල් දිනයේ අදියර සමාප්ත කිරීමට තායි බලධාරීන් තීරණය කළ අතර ඊට හේතුව වූයේ අඳුර වැටීම, ගුහා සංකීර්ණයේ ජලයෙන් පිරී පවතින ප්‍රදේශවල ජලයේ උෂ්ණත්වය පහළ යෑම, කිමිදුම් කරුවන් අධික ලෙස වෙහෙසට පත්ව සිටීම සහ එම මෙහෙයුම සඳහා ගෙනවුත් තිබෙන ඔක්සිජන් භාවිත කර අවසන් වීමය.

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ උපදේශකයන් විසින් සකස් කරන ලද වායු නළ මාර්ගයක් මඟින් උමඟෙහි දරුවන් සිටින කොටසේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩි කිරීමට කටයුතු කළත්, එය එතරම් කාලයක් පවත්වා ගත හැකි ක්‍රමයක් නොවීය.

දරුවන් මුදවා ගැනීම සඳහා භාවිත කළ හැකි විශේෂ කුඩා සබ්මැරීනයක් පැය අටක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පාසැලක පිහිනුම් තටාකයේ පරීක්ෂාවට ලක්කර තිබෙන අතර, තායිලන්තයේ බලධාරීන් ඉල්ලූ වහාම, මෙම සබ්මැරීනය ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් මඟින් තායිලන්තය යැවිය හැකි බව එය නිපද වූ ටෙස්ලා ආයතනය පවසා තිබිණි.

ලෝක ඉතිහාසයේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුම් අතර මේ මෙහෙයුම විසල් සලකුණක් තබා තිබේ. අනතුරට පත් එකදු ජීවිතයක් හෝ ජීවිත හානියකට පත් නොවන තැනට ඔවුහූ කටයුතු කරමිනි සිටිති.

ඉහළට ගත් හුස්ම පොද සෙමින් සීරුවේ පහළට හෙලන්නට ඒ අතුරුදන් වූවන්ගේ දෙමාපියන්ට දැන් පුලුවන් ය.

(පුවත්පත මුද්‍රණයට යවන මොහොත වනවිට දරුවන් දොළොස් දෙනාගෙන් අට දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට කිමිඳුම්කරුවන්ට හැකිව තිබේ. මෙහෙයුමේ ඉදිරි කටයුතු අද දිනයේත් නැවත ඇරඹීමට නියමිතය.)

ඡායාරූප | අන්තර්ජාලයෙනි

[දමිත් කේතක]

මාතෘකා