ඔත්තුකරුවාට පහර දුන් විෂෙන් තවත් දෙදෙනකු රෝහලේ

 ඡායාරූපය:

ඔත්තුකරුවාට පහර දුන් විෂෙන් තවත් දෙදෙනකු රෝහලේ

මීට මාස හතරකට පෙර හිටපු රුසියානු ඔත්තුකරුවකු සහ ඔහුගේ දියණිය ස්නායු පද්ධතියට බලපාන විෂක් හේතුවෙන් දැඩි සේ රෝගාතුර වූ ප්‍රදේශය ආසන්නයේදීම තවත් යුවළක් ද විෂ ශරීරගත වීමෙන් රෝගාතුර වීම බ්‍රිතාන්‍ය බලධාරීන් මවිතයට පත් කොට තිබේ.

විල්ෂයර් ප්‍රාන්තයේ ඒම්ස්බරි නගරයේදී මෙම සිදු වීම වාර්තා වූයේ පසුගිය සෙනසුරාදා (ජුනි 30) ය​. සැලිස්බරි හි 44 හැවිරිදි ඩෝන් ස්ටර්ගෙස් සහ ඒම්ස්බරි හි 45 හැවිරිදි චාලි රොව්ලි මෙසේ රෝගාතුර වූවන් ය​. මෙම දෙපළ ඒම්ස්බරි හි රොව්ලිගේ නිවසේදී රෝගාතුර වූ අතර​ ඔවුනගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

සෙනසුරාදා උදෑසන බ්‍රිතාන්‍ය වේලාවෙන් 10.15 ට පමණ කාන්තාව අසනීප තත්ත්වයේ පසු වූ හෙයින් ගිලන් රථයක් ගෙන්වීමට කටයුතු කර තිබුණ අතර ඉන් පැය පහකට පසු පුරුෂයා ද අසනීප තත්ත්වයෙන් රෝහල කරා ගෙන යන ලදී.

මෙම දෙපළ නොවිචොක් නම් විෂ ශරීරගත වීමෙන් රෝගාතුර ව සිටින බව ජූලි 4 වනදා බ්‍රිතාන්‍ය බලධාරීහු සනාථ කළ හ​.

මුලින්ම ඔවුනගේ තත්ත්වයට හේතුව ලෙස සැක කරන ලද්දේ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ය​. නමුත් පසුව කරන ලද පරීක්ෂණ අනුව මෙම තත්ත්වය නොවිචොක් හේතුවෙන් හට ගන්නා ලද බවට සනාථ කරගන්නා ලදී.

ස්ක්‍රිපාල්ට එරෙහි ප්‍රහාරය​

2018 මාර්තු 4 වනදා සැලිස්බරි නගරයේ සාප්පු සංකීර්ණයක් අසළ බංකුවක සිහිසුන් ව සිටියදී සර්ගේයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය යූලියා සොයා ගන්නා ලදහ​. ඔවුන් බරපතල තත්ත්වයේ පසු වූ අතර ඔවුනට මුල් අවස්ථාවේ ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්, හෙදියන් මෙන්ම ඔවුනගේ නිවස සහ ඔවුන් සොයාගත් ප්‍රදේශය පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් ද රෝහල්ගත කිරීමට සිදු විය​. වර්තමානය වන විට ඔවුනගේ තත්ත්වය සුව අතට හැරී තිබේ.

ස්ක්‍රිපාල් සෝවියට් සහ ඉන්පසු රුසියානු ඔත්තු සේවා නිලධාරියකු වූ අතර 2004 දී රුසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද්දේ බ්‍රිතාන්‍යය වෙනුවෙන් ඔත්තු බැලූ බවට කරන ලද චෝදනාවක් මත ය. ඔහුව 13 වසරක සිර දඬුවමකට යටත් කරනු ලැබුණි.

කෙසේ නමුත් ඔහුගේ හිතවතුන් සඳහන් කළේ ඔහු බ්‍රිතාන්‍යය වෙනුවෙන් ඔත්තු බැලූ බවට කෙරෙන චෝදනා ගොතන ලද ඒවා බවත් ඔහුගේ පැරණි සේවා ස්ථානයෙහි අක්‍රමිකතා පිළිබඳ ඔහු විරෝධය ප්‍රකාශ කිරීම පිළිබඳ අප්‍රසාදයට සහ කෝපයට පත් වූවන් විසින් එම චෝදනා ගොතන ලද බවත් ය​.

කෙසේ නමුත් 2010 දී ස්ක්‍රිපාල්ට රුසියාවෙන් පිටවීමට අවසර ලැබුණි. ඇමරිකාවේදී අත්අඩංගුවට ගන්නා ලද රුසියානු ඔත්තුකරුවන් පිරිසක් සමග ස්ක්‍රිපාල් හුවමාරු කරගන්නා ලද්දේ ය​.

බ්‍රිතාන්‍යයට පැමිණි ස්ක්‍රිපාල් ගෙව්වේ නිහඬ ජීවිතයකි. නමුත් ඔහුට ජීවිත තර්ජන තිබුණු බවට විශ්වාස කරනු ලබයි. ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය විෂ ශරීරගතව සොයාගන්නා ලද්දේ එම පසුබිමෙහි ය​.

ස්ක්‍රිපාල් ජීවත් වූ සැලිස්බරි ප්‍රදේශය පිහිටියේ මෙම අලුත් සිද්ධිය වාර්තා වූ ප්‍රදේශයට සැතපුම් අටක් පමණ දුරිනි.

රුසියාවට එරෙහි චෝදනා

ස්ක්‍රිපාල්ගේ සිද්ධිය සම්බන්ධයෙන් රුසියාව දෙසට චෝදනා එල්ල වූයේ නොවිචොක් වර්ගයේ විෂක් මෙම ප්‍රහාරය සඳහා යොදාගත් බව ඔප්පු වීමත් සමග ය. නොවිචොක් වර්ගයේ විෂ 1970 දශකයේ පමණ සිට සෝවියට් දේශයේදී නිපදවූ බව විශ්වාස කරනු ලැබේ.

මාර්තු මාසය මුළුල්ලේ ස්ක්‍රිපාල් සිද්ධිය හේතුවෙන් යුරෝපා රටවල් සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් නිර්මාණය වූ අතර පසුව එය යටපත් වූයේ ය​. රුසියාව තමන්ට එරෙහිව මතුවූ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය. නමුත් බ්‍රිතාන්‍යය විසින් එම සිද්ධියට රුසියාව වගකිව යුතු බවට කරන ලද ප්‍රකාශය සමග ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ද​ එකඟ වූහ​. මෙම ඝාතන තැත පිළිබඳ පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක ය​.

සැලසුම් සහගත ප්‍රහාරයක්?

ස්ක්‍රිපාල්ට එල්ල වූ ප්‍රහාරය මෙන් නොව මෙම ආසන්න සිද්ධිය සැලසුම් සහගත ප්‍රහාරයක් යයි මෙතෙක් සැක කෙරෙන බවක් නොපෙනේ. ස්ක්‍රිපාල්ට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ නොවිචොක් විෂ රැඳී තිබුණු ස්ථානයකින් මෙම දෙපළට එය ශරීරගත වූයේ යන මූලික උපකල්පනයක් ඔස්සේ පරීක්ෂණ සිදු කෙරෙන බවක් පෙනී යයි. මෙම දෙපළගේ ස්වභාවය අනුව ඔවුන් මෙවන් ප්‍රහාරයක ඉලක්කය වී යයි සැක කිරීමට හේතු නොමැති බව බලධාරීන්ගේ විශ්වාසය වී තිබේ.

නමුත් මෙය උපකල්පනයක් පමණක් වන අතර බ්‍රිතාන්‍ය ත්‍රස්ත විමර්ශන නිලධාරී නීල් බාසු මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ විෂ ශරීරගත වූ ආකාරය පිළිබඳ රහස් පරීක්ෂකයන්ට හෝ විද්‍යාඥයන්ට නොමැති බව ය​. කෙසේ නමුත් ඔහු අවධාරණය කර සිටියේ සැලිස්බරි හි දී ස්ක්‍රිපාල්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව පරීක්ෂා කොට විෂහරණය කරන ලද ප්‍රදේශයකට මෙම දෙපළ ගමන් කර ඇතැයි කිසිදු සැකයක් නැති බවත් එහෙයින් මෙය සිදු ව ඇත්තේ වෙනත් ආසන්න ප්‍රදේශයකදී විය හැකි බවත් ය​.

විෂ රසායනික පිළිබඳ විශේෂඥ රිචර්ඩ් ගුත්‍රි බී.බී.සී ආයතනය සමග පවසා තිබුණේ යම් හෙයකින් කලින් විෂ ප්‍රහාරයට අදාළ විෂ රසායනික අඩංගු යමක් අපරික්ෂාකාරී ලෙස බැහැර කොට තිබී එයින් මෙම දෙපළට විෂ ශරීරගත වූවා වුය හැකි බව ය​.

නමුත් මෙමගින් සාමාන්‍ය ජනතාවට අවදානමක් නොපැමිණෙන බව බ්‍රිතාන්‍ය බලධාරීහු ප්‍රකාශ කරති.

ඇතැම් විට මෙම විෂ ශරීරගත වූයේ කලින් ස්ක්‍රිපාල්ට පහර දීම සඳහා අදාළ විෂ සැකසුම් කර ස්ථානයකදී වීමේ ඉඩක් ද පවතින බව පෙන්වා දෙන ආරක්ෂක විශ්ලේෂක ගෝර්ඩන් කොරේරා, මෙම දෙපළ පසුගිය දිනයන් හි ගමන් කළ ස්ථාන පිළිබඳ සොයා බැලීමෙන් වැදගත් තොරතුරු සොයාගැනීමේ ඉඩක් තිබිය හැකි යයි ද පවසා සිටියේ ය​.

කෙසේ වෙතත්, අතිශයින් බරපතල වූ යමක් සොයා නොගතහොත්, මෙම නව සිද්ධිය හේතුවෙන් බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර යළි රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති වේ යයි සිතීම අපහසු ය​. එමෙන්ම දැනට පවතින තත්ත්වය අනුව ජූලි 16 වනදා පැවැත්වීමට නියමිත ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන්ගේ හමුව කෙරෙහි ද මෙමගින් බලපෑමක් වේ යයි සිතිය නොහැක​.

[චාමර සුමනපාල]

මාතෘකා