ලක්ෂයක් මිනිසුන්ගේ දෑස් පෑදූ ආලෝක මිනිසා සන්දුක් රුයිට්

 ඡායාරූපය:

ලක්ෂයක් මිනිසුන්ගේ දෑස් පෑදූ ආලෝක මිනිසා සන්දුක් රුයිට්

2010 බ්‍රිතාන්‍ය බීබීසී රූපවාහිනී නාළිකාව සිය සුප්‍රසිද්ධ වාර්තා වැඩසටහනක් වූ Human Planet සඳහා මානව වර්ගයාට විශිෂ්ටතම සේවයක් කළ දොස්තරවරයෙකු තෝරාගෙන තිබුණේය. ඒ මිනිසා නේපාලයේ සන්දුක් රුයිට් (Sanduk Ruit) විය. සන්දුක් රුයිට් නම ඇසෙන විටම ඒ සමග තවත් නමක් සමාන්තරව ගමන් කරයි. ඒ, නේපාලයේ විශිෂ්ටතම අක්ෂි රෝහල වන ටිල්ගංගා අක්ෂි රෝහල (Tilganga Eye Center) යි. එය නේපාල සෞඛ්‍ය අමාත්‍යංශය හා සමගාමීව අක්ෂි ව්‍යාපෘති කරන නේපාලයේ එකම රෝහලයි. සතියකට අන්ධ මිනිසුන් 2000කට ස්ථිරවම පෙනීම ලබාදෙන එය නේපාලයේ අඩුම වියදමෙන් අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර ලබාගත හැකි එකම ආයතනයයි. ටිල්ගංගා නේපාලයේ ප්‍රථම ඇස් බැංකුවද වන අතර එම ආයතනය අක්ෂි ප්‍රතිකාරවලට අමතරව අක්ෂි විද්‍යාව උගන්වන, පුහුණු කරන හා උපාධි ලබාදෙන ආයතනයකි. දිනපතා දොස්තරවරු 500ක් එම රෝහල තුළද ඉන් පිටතද සේවය කරති. අක්ෂි සායන පවත්වති. එය නේපාලයේ පමණක් නොව සංවර්ධනය වන ඕනෑම රටකට ‍සිය සේවා සැපයීමට සුදානම්ය. එක් අක්ෂි කාචයක් සඳහා ‍ඇමෙරිකානු ඩොලර් 150ක් අය කරන යුරෝපයට එම ප්‍රමිතියෙන්ම යුත් අක්ෂි කාචයක් ඩොලර් 5කට වැනි මුදලකට සැපයීමට මෙම නේපාල අක්ෂි රෝහල සමත්ව ඇත. මේ සියලු ජයග්‍රහණ එක් පුද්ගලයෙකුටය. ඒ, එහි නිර්මාතෘ දොස්තර සන්දුක් රුයිට් වෙතය.

මේ රෝහල මොන තරම් නම් ප්‍රසිද්ධද කියතොත් උතුරු කොරියාවේ ඉහළම දේශපාලන නායකයෙක් සිය ඇස්වලට ප්‍රතිකාර ගැනීමට ගියේ අසල්වැසි රුසියාවට හෝ දියුණු වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඇති තම මිතුරු චීනයට නොව නේපාලයේ ටිල්ගංගා අක්ෂි රෝහලටය. ඒ ඔහු විශ්වාස කළ රෝහලයි. ඒ ඔහු විශ්වාස කළ දොස්තරයි. ඔහුගේ විශ්වාසය සියයට සියයක් නිවැරදි බව වටහාගත් ඔහු ජයග්‍රාහීව පෙරළා කොරියාවට ගියේය. ඉන් සතියකට පසු උතුරු කොරියානු නායකයා කිම් ජොන් උන් සන්දුක් රුයිට් වෙත තම රටට පැමිණෙන්නැයි විශේෂ ආරාධනාවක් කර තිබිණි. අනතුරුව සන්දුක් එහි ගිය විට ඔහුට ස්තුති කළ කොරියානු නායකයා සිය රටේ අන්ධ මිනිසුන් සුවපත් කරදෙන ලෙසට ඔහුගෙන් ඉල්ලීමක් කර තිබිණි. මේ අනුව සන්දුක් කොරියාවේ බොහෝ අන්ධ මිනිසුන් සුවපත් කළ අතර 1000ක් වෛද්‍ය ශිෂ්‍යයන්ට අක්ෂි ශෛලකර්ම සඳහා පුහුණුවක් ලබා දී තිබිණි. ඒ 2006 වසරේය.

මේ අපුර්ව මිනිහා ඉපදුණේ නේපාලයේ අතිශය දුෂ්කර පළාතක ඕලැන්චුන් ගෝලා පාස් (Olangchung Gola Pass) නම් දිළිඳු ග්‍රමයේය. ඔහු නවය වසරේදී ඔහු දැඩිව ආදරය කළ අක්කා ක්ෂයරෝගයෙන් මියගියාය. එය ඔහු කම්පා කළ සිදුවීමක් විය. එය ඔහුට වෛද්‍ය වෘත්තිය ඉගෙනුමට බල කළේය. හේ ඒ සඳහා පැමිණියේ ඉන්දියාවටය. ඉන්දියාවේ කීර්තිමත් වෛද්‍ය විද්‍යාලයක් වූ ශාන්ත රොබට්ස් සරසවියෙන් (St Robert's School) වෙතින් එම්බීබීඑස් උපාධිය ලබා ගැනීමෙන් පසුව නෙදර්ලන්තය හා එක්සත් ජනපදයෙන් තවදුරටත් ඉගෙනුම ලැබීය. ඉන් පසුව ඔහු කීර්තිමත් අක්ෂි වෛද්‍යවරයෙකූ වු ඕස්ට්‍රේලියාවේ මහාචාර්ය ෆ්‍රෙඩ් හොලෝස් වෙතින් වැඩිදුර අක්ෂි ශල්‍ය විද්‍යාව උගත්තේය. ඔහු ෆ්‍රෙඩ් හොලෝස් හා එකතුව ඔහුගේ නවතම අක්ෂි කාචය නිපදවීය. මේ සියල්ල හේ උගත්තේ සිය රටට සේවය කිරීමටය. 1986 ඔහු සිය මව්බිමට පැමිණියේය.

ලෝකයේ උසින් වැඩිම කඳු 100ක් තිබෙන්නේ හිමාලයේය. එම කඳු අතර අසීරුතම ජීවිත ගෙවන මිනිසුන්ගේ සංඛ්‍යාව මිලියන 60කි. මෙම උස් කඳු පන්ති අතර වායුව ඉතා තුනී නිසා හිරුගේ පාරජම්බුල කිරණ ඒවා විනිවිද යමින් මිනිසුන්ගේ ශරීර නිරන්තරයෙන් පුළුස්සා දමයි. ඉන් ඇස් ප්‍රධානය. එබැවින් දහස් ගණනින් අන්ධයෝ නේපාල උස් කඳු මුදුන්වල ජීවත් වෙති. ඔවුනට කත්මන්ඩු අක්ෂිරෝහල වෙත පැමිණීමට මුදල් නැත. ප්‍රවාහන පහසුකම් නැත. ඔවුන් අක්ෂි සායන හෝ වෛද්‍යවරුන් සොයා අතිදුෂ්කර හිමාලය කඳු නගින්නේ නැත. එහෙම යන්න ඔවුන්ට පිස්සුවක්ද නැත. එහෙත් මේ පිස්සු සන්දුක් රුයිට් 2000 වර්ෂයේදී තමා වැඩි දියුණු කළ අක්ෂි කාචද, තවත් දොස්තරවරු හා කාර්ය මණ්ඩලයද සමග මේ දුෂ්කර හිමාලය තරණය කොට අන්ධ මිනිසුන් සොයා කඳුමුදුනෙන් කඳුමුදුනට අැවිද ගියේය. ඔහුට අන්ධ මිනිසෙකුට පෙනීම ලබා දෙන්න යන්නේ පැය 24ක් පමණි. ඔහුගෙන් ප්‍රතිකාර ලැබු මිනිසුන් අතර සිය පුතා දැක නැති පියවරුද සිය පුතා දුව දැක නැති මවුවරුද සිටියෝය. ඒ ඔවුන් විවාහ වන විටද අන්ධ නිසාය. අඳුරේ වසර 10 - 15ක කාලයක් සිටි මිනිස්සු ආලෝක කිරණ දුටු විට සන්දුක් වටා නටති. ගී ගියති. ඔහු තුරුළු කර සිප ගනිති. සන්දුක් අතින් පෙනුම ලැබූ අන්ධ මිනිසුන් සංඛ්‍යාව ලක්ෂයකට වඩා අධික බව විකිපීඩියාව අපට පෙන්වා දෙයි.

සන්දුක් රුයිට් නමැති මේ අනගි මිනිසා ලෝකය අමතක කළේ නැත. එහෙයින් ලෝක මානවයා වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ මේ මිනිසා වෙනුවෙන් 2006 පිලිපීනය රැමෝන් මැග්සේසේ සම්මානයෙන්ද භුතානය සිය National Order of Merit of Bhutan සම්මානයෙන්ද, ඕස්ට්‍රේලියාව 2007 දී සිය Order of Australia සම්මානයෙන්ද, ඉන්දියාව 2018 දී පද්ම ශ්‍රී සම්මානයෙන්ද ගෞරව දැක්වූහ.

ඉතින් ඔහු නිකන් මිනිසෙක් නොව ලක්ෂයක් මිනිසුන් ‘ඔබ දෙවියෙකැයි’ සිපවැළඳගත් ආලෝක මිනිසෙකි. සන්දුක් රුයිට්, ඔබට දීර්ඝායු වේවා!

[උපාලි ජයසිංහ]

මාතෘකා