සිරියාවේ තුර්කි ක්‍රියාන්විතය | ඇස පාදන රැස


සිරියාවේ තුර්කි ක්‍රියාන්විතය

 ඡායාරූපය:

සිරියාවේ තුර්කි ක්‍රියාන්විතය

පසුගිය ජනවාරි 20 වනදා තුර්කිය විසින් සිරියාවේ කුර්දි පාලනය යටතේ පවතින අෆ්‍රින් ප්‍රදේශයේ හමුදා මෙහෙයුමක් දියත් කරන ලදී. ජනවාරි 21 වනදා තුර්කිය එම ප්‍රදේශයට ගොඩබිම් හමුදා ද යැවීමට කටයුතු  කළේය​.

මෙම මෙහෙයුම නම් කර ඇත්තේ "ඔපරේෂන් ඔලිව් බ්‍රාන්ච්" හෙවත් "ඔලිව් අත්ත මෙහෙයුම​" යනුවෙනි. තුර්කියට මෙම හමුදා මෙහෙයුම සඳහා ඔවුන් විසින් ආධාර කරනු ලබන නිදහස් සිරියානු හමුදා කැරලිකරුවන්ගේ ද සහය ලැබේ. මේ ආකාරයේ යුද මෙහෙයුමක් කරා තුර්කිය මෙහෙයවුණ හේතු ද එහි ප්‍රතිඵලද පිළිබඳ සලකා බැලීම වැදගත් වේ.   

අලෙප්පෝ ප්‍රාන්තයේ පිහිටි අෆ්‍රින් ප්‍රදේශයේ උතුරුදිග මායිම තුර්කියයි. අෆ්‍රින් ප්‍රදේශය පාලනය කරනු ලබන්නේ කුර්දි ජාතිකයන්ගෙන් සැදුම්ලත් මහජන ආරක්ෂක ඒකක හෙවත් YPG නම් සංවිධානයක් මගිනි. මෙය සිරියානු ප්‍රජාතාන්ත්‍රික බළකායන් (SYRIAN DEMOCRATIC FORCES) නම් සන්ධානයේ ප්‍රධාන සාමාජිකයාය​.   

තුර්කියෙහි මතය වන්නේ ‍YPGසංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවයි. එය සහ තුර්කියේ ක්‍රියාත්මක කුර්දිස්ථාන කම්කරු පක්ෂය (PKK) අතර සබඳතා ඇති බවට තුර්කිය චෝදනා කරයි. PKK සංවිධානය 1983 පමණ සිට තුර්කියට එරෙහි ආයුධ සන්නද්ධ අරගලයක යෙදෙයි.   

තුර්කිය අෆ්‍රින් ප්‍රදේශයට හමුදා යැවීම සාධාරණීකරණය කරමින් කියා සිටිනුයේ තම දේශසීමාවෙහි ත්‍රස්තවාදී සංවිධානයක් රැඳී සිටීම තමන්ට තර්ජනයක් බවයි. එහෙයින් කිලෝ මීටර 30 ක ආරක්ෂිත කලාපයක් නිර්මාණය කිරීම ඔවුනගේ අරමුණ බව එරට රජය ප්‍රකාශ කරයි.   

ඇමරිකාව සමඟ ගැටුම​

කෙසේ වෙතත් ‍YPG සංවිධානයට එරෙහි යුද්ධයක් දියත් කිරීමෙන් තුර්කිය, ඇමරිකා එක්සත් ජනපදය සමඟ ගැටුමක් ඇති වීමේ අවදානමට මුහුණ දෙයි. ඇමරිකාව SDF සංවිධානයට ආධාර කිරීම ඊට හේතුවයි. ISIS සංවිධානයට එරෙහිව කරන ලද යුද්ධයේදී SDF සංවිධානය විශාල කාර්ය භාරයක් ඉටු කළ අතර එහිදී ඇමරිකානු ආධාර ඔවුනට ලැබුණි. ISIS සංවිධානය සිය අගනුවර ලෙස සැලකූ රඛා නගරය පවා නිදහස් කරගත්තේ ‍YPG සංවිධානය ප්‍රමුඛ SDF සන්ධානයයි. මේ වන විට සිරියාවේ භූමි ප්‍රදේශයෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රදේශයක් SDF සංවිධානය යටතේ පවතී.   

කෙසේ නමුත් අෆ්‍රින් ප්‍රදේශයේ සටන් පවතින අතරතුර තුර්කිය සහ ඇමරිකාව අතර දරුණු ගැටුමක් වර්ධනය නොවනු ඇති බව විචාරකයන්ගේ මතයයි. ඇමරිකාව අෆ්‍රින් ප්‍රදේශයේ කෙරෙන යුද මෙහෙයුම් සම්බන්ධයෙන් එතරම් දරුණු ලෙස විරුද්ධත්වය පළ කරනු නොපෙනීම මෙම මතය සඳහා හේතු වී තිබේ.   

මෙසේ අෆ්‍රින් ප්‍රදේශය පිළිබඳ ඇමරිකාව එතරම් තැකීමක් නොකරන්නට මූලික හේතුව විය හැක්කේ එම ප්‍රදේශයේ යුද්ධයට ඇමරිකාව කෙළින්ම සම්බන්ධ නොවීමයි. ‍YPG සංවිධානය විසින් එම ප්‍රදේශයේ බලය අල්ලා ගන්නා ලද්දේ 2012 දී ය. SDF සංවිධානයට විශාල වශයෙන් ඇමරිකානු ආධාර ලැබුණේ ඉන් කලකට පසුව වන අතර ඒ යුප්‍රටීස් නදියෙන් නැගෙනහිර ප්‍රදේශවල යුද කටයුතු සඳහාය. ඇමරිකානු විශේෂ බළකා සාමාජිකයන් ද එම සටනේදී SDF සංවිධානයට ආධාර කළේය​. නමුත් අෆ්‍රින් ප්‍රදේශයේ ඇමරිකානු හමුදා දක්නට ලැබුණේ නැත​.   

ඇතැම් විටෙක යුප්‍රටීස් නදියෙන් නැගෙනහිර ප්‍රදේශය වෙත තුර්කිය විසින් යුද මෙහෙයුම් පුළුල් කළහොත් ඇමරිකාව ඒ පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ ඉඩක් ඇත​.   

රුසියාවේ නිහඬභාවය​

තුර්කිය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම හමුදා මෙහෙයුමට එරෙහිව රුසියාව විසින් ද එතරම් විරෝධයක් පළ කරනු දක්නට නොලැබීම විශේෂත්වයකි. රුසියාව සහ තුර්කිය අතර පසුගිය කාලයේ මිත්‍රත්වයක් ගොඩනැගුණ අතර මෙම යුද මෙහෙයුම් ද දෙරට අතර යම් එකඟතාවකින් පසු අරඹන ලද්දක්දැයි සැක මතුව තිබේ. මේ වන විට​ සිරියානු රජයේ හමුදා ඉඩ්ලිබ් ප්‍රාන්තයේ යුද මෙහෙයුම්වල නිරත වෙමින් සිටිති. තුර්කි ආධාර ලබන කැරලිකරුවන් එම ප්‍රදේශයේදී සිරියානු රජයේ හමුදාවලට බාධා නොකිරීමටත්, ඊට හිලව් ලෙස අෆ්‍රින්හි මෙහෙයුම් පිළිබඳ සිරියානු රජයේ හමුදා විරෝධය​ නොදැක්වීමටත් එකඟ වූයේ යයි සැක මතු වී තිබේ.   

විශේෂයෙන්ම අෆ්‍රින් ප්‍රදේශයේ ගුවනෙහි බලය මේ වන විට ඇත්තේ රුසියානුවන් අතය​. එසේ තිබියදී තුර්කි ගුවන් යානා අෆ්‍රින් ප්‍රදේශයේ ඉලක්ක වෙත පහර දෙමින් සිටින අතර ඒ හේතුවෙන්ද මෙම යුද මෙහෙයුම යම් එකඟතාවක් ඇතිව සිදු කරන්නක් බවට සැක මතුවේ.   

මින් පෙර අවස්ථාවලදී ‍YPG සංවිධානයට රුසියාව විශේෂ විරෝධයක් නොදැක්වූ බව ද මෙහිදී සැලකිය යුතු තවත් කරුණක් වෙයි. මීට වසර කිහිපයකට පෙර රුසියාව විසින් මොස්කව්හි ඔවුනගේ කාර්යාලයක් විවෘත කිරීමට අවසර දෙන ලදී. එමෙන්ම ISIS සංවිධානයට එරෙහි යුද්ධය අවස්ථාවේදී සිරියානු හමුදා සහ SDF සංවිධානය අතර ගැටුම් ඇති නොවීමට දෙපාර්ශ්වයම වග බලාගත්හ​. බෂාර් අල් - අසාද්ගේ සිරියානු රජය සහ SDF සංවිධානය එදිරිවාදීන් වුවද ඔවුහු සිය​ පොදු සතුරා වූ ISIS සංවිධානයට එරෙහිව වෙන් වෙන් ප්‍රදේශයන්හි එකම කාලයේ සටන් කළෝය​.   

කුර්දි විරෝධය​

මේ අතර SDF සංවිධානය ප්‍රකාශ කරනුයේ තුර්කි හමුදා ප්‍රහාරයන් මගින් ISIS ත්‍රස්තවාදීනට සහය ලැබෙන බවය​.

ISIS ත්‍රස්ත සංවිධානය ඉරාකයේදී සහ සිරියාවේදී සම්පූර්ණයෙන්ම පාහේ පරාජය කරනු ලැබ තිබුණද තවමත් ඔවුනගේ අවශේෂ කණ්ඩායම් මේ දෙරටේම රැඳී සිටිති. ‍YPG ප්‍රමුඛ SDF සංවිධානයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවල යම් ස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති නමුත් තුර්කි ප්‍රහාර හමුවේ SDF පාලනය බිඳ වැටුණහොත් අරාජික තත්ත්වයක් නිර්මාණය වීමටත්, ඒ අවසරයෙන් අන්තවාදී සංවිධාන යළි හිස එසවීමටත් ඉඩ ඇත​.   

ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර සන්ධානය අමතන SDF සංවිධානය කියා සිටියේ තුර්කිය විසින් ගනු ලැබූ මෙම හමුදා ක්‍රියාමාර්ගය විසින් සිරියානු යුද්ධයේදී ISIS සංවිධානයට එරෙහිව ලබාගත් අවසන් ජයග්‍රහණය ඵල රහිත එකක් බවට පත් කරනු ඇත යන්නයි.   

තුර්කි ගුවන්යානා අෆ්‍රින් ප්‍රදේශයට ඉහළ අහසේ සැරිසැරීමට එරෙහිව පියවර නොගැනීම පිළිබඳව SDF සංවිධානය රුසියාවටද​ දෝෂාරෝපණය කළේය​.   

එමෙන්ම අෆ්‍රින් ප්‍රදේශයේ සටන්වලින් බරපතළ හානි ලබා මිස ගැලවී යාමට තුර්කි හමුදාවන්ට ඉඩ නොතබන බව එම සංවිධානය තුර්කිය වෙත අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියේය​.  

[චාමර සුමනපාල]