චීන - ඉන්දියා දේශ සීමා අර්බුදය | ඇස පාදන රැස


චීන - ඉන්දියා දේශ සීමා අර්බුදය

 ඡායාරූපය:

චීන - ඉන්දියා දේශ සීමා අර්බුදය

චීන දේශ සීමාවේ මුර සංචාර වැඩි කිරීම සඳහා පියවර ගන්නා බව ඉන්දියාව පසුගිය දා නිවේදනය කිරීම කලාපයේ ආරක්ෂාව පිළිබඳ යම් අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට හේතු විය​. චීනය විසින් දේශසීමා ප්‍රදේශවල සිදු කරනු ලබන යම් යම් පෙලඹවීම්වලට පිළිතුරක් ලෙස සිය දේශ සීමා මුර සංචාර වැඩි කරන බව ඉන්දියාව විසින් ප්‍රකාශ කරන ලදී.  

කලකට පසුව පසුගිය වසරේදී දෙරට අතර දේශසීමා ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් තත්ත්වය සහ වර්තමාන අර්බුදකාරී වාතාවරණය හමුවේ කලාපයේ බලවතුන් දෙදෙනා අතර විරසකයක් වර්ධනය වීමේ අවදානමක් මතුව තිබේ. චීනය සහ පාකිස්ථානය අතර ඇති සබඳතා වර්ධනය වීමේ ලක්ෂණද ඉන්දියාව සහ පාකිස්ථානය අතර දේශසීමා ගැටුම් වර්ධනය වීමේ ලක්ෂණද පසුගිය සති කිහිපයේදී දක්නට ලැබුණ අතර එයද චීන​-ඉන්දියා අර්බුද වැඩි දියුණු කිරීමට හේතු විය හැකිය​.

අර්බුදයට මුල​

චීනය සහ ඉන්දියාව අතර අර්බුදවලට හේතු වී ඇත්තේ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී අඳින ලද දේශසීමා මායිම් කිහිපයකි. ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශයේ විශාල කොටසකට චීනය අයිතිවාසිකම් කියයි. එමෙන්ම කාශ්මීරයට මායිම්ව පිහිටි චීනය පාලනය කෙරෙන අක්සායි චින් ප්‍රදේශයට ඉන්දියාව අයිතිවාසිකම් කියයි. මීට අමතරව භූතානය සහ චීනය අතර ද දේශසීමා ගැටුමක් ඇති අතර මෙහිදී ඉන්දියාව භූතානයට සහය පළ කරයි.

චීනය සහ ඉන්දියාව අතර පසුගිය වසර 70 ක කාලය තුළ පැවතුෙණ් වරෙක ශක්තිමත් වන වරෙක කඩා වැටෙන ආකාරයේ සබඳතාවකි. ඉන්දියාව ස්වාධීනතාව ලබන සමයේ චීනය පැවතුණේ ජාතිකවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් අතර පැවති සටනක් මැද ය​. 1949 දී ජාතිකවාදීන් තායිවානයට පළා ගිය අතර කොමියුනිස්ට්වාදීන් විසින් මහජන චීනය ස්ථාපනය කරන ලදී.

ඉන්දියාවේ ජවහර්ලාල් නේරුගේ පාලන සමයේ මුල් අවධියේදී ඔහු මහජන චීනයට හිතවත් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මහජන චීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය හිමි විය යුතු බව නේරු කියා සිටියේය​. දේශසීමාව පිළිබඳ යම් යම් මත ගැටුම් මතු වෙද්දී පවා නේරු විශ්වාස කළේ සියල්ල සාකච්ඡා මගින් විසඳාගත හැකිවන බවය.

1962 ඔක්තෝබරයේදී චීනය ඉන්දියාව ආක්‍රමණය කිරීමත් සමඟ නේරුගේ මෙම බලාපොරොත්තු කඩා වැටුණි. මාසයක් පැවති මෙම යුද්ධයේදී ඉන්දියානු හමුදා දරුණු ලෙස පසු බස්වන ලද අතර එම යුද්ධය නිමා වූයේ චීනය එම ආක්‍රමණය නවතා දැමීමෙනි. වයෝවෘද්ධ අගමැති නේරුට මේ යුද්ධය දරුණු කම්පනයක් වූයේය​.

මෙම යුද්ධයෙන් පසු කලක් යනතුරු චීන - ඉන්දියා සබඳතා උණුසුම් තත්ත්වයක පැවති නමුත් ඉන්දු - පාකිස්ථාන දේශසීමා මෙන් නොව චීන - ඉන්දියා දේශසීමා අසල සටන් ඇවිළ ගියේ නැත​. දශක කිහිපයකට පසු චීනය සහ ඉන්දියාව සිය දේශසීමා අර්බුදයන් පිළිබඳ සාකච්ඡා පැවැත්වූ අතර 1996 දී දෙපක්ෂය අතර ගිවිසුමක් අත්සන් කෙරුණි.

ඉන්දියාව “වටලෑම​”

මන්මෝහන් සිංගේ පාලන කාලය තුළ ඉන්දියාව කෙමෙන් බටහිර දෙසට වඩ වඩාත් නැඹුරු වූ අතර බටහිර රටවල ඇතිවූ ආර්ථික අවපාතයත් සමඟ චීනය ලෝක ආර්ථිකයේ වැදගත් සාධකයක් බවට පත් විය​. විශේෂයෙන්ම අප්‍රිකාවේ සහ ඇතැම් ආසියාතික රටවල විශාල වශයෙන් ආයෝජනය කිරීමට චීනය කටයුතු කළේය​.

මේ සමය තුළ පාකිස්ථානයේ, ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ චීනය විසින් සිදුකරන ලද වරාය සංවර්ධනයක් පාදක කර ගනිමින් චීනය ඉන්දියාව වටලමින් සිටින බවට අදහසක් පළ විය. මෙම අදහස මුලින්ම මතු වූයේ බටහිර රටවල විද්වතුන් අතරිනි. ඔවුහු මෙයට මුතු වැල හෙවත් String of Pearls යයි නම් තැබූහ​. මෙම අර්ථ දැක්වීමට අනුව පාකිස්ථානයේ ග්වාදාර්, ශ්‍රී ලංකාවේ හම්බන්තොට සහ බංග්ලාදේශයේ චිතගොං යන වරායයන් මෙම මුතු වැලෙහි මුතු ඇට ලෙස සළකන ලදී. කෙසේ නමුත් මෙම අදහස චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය​.

විශේෂයෙන්ම ෂී ජින්පිං චීනයේ ජනාධිපති ධුරයට පත් වූ පසු චීනය ඉන්දියාව සමඟ සබඳතාවලට විශේෂ වැදගත්කමක් දුන්නේය​. 2013 දී අගමැති ධූරයට පත් ලී කෙකියෑංග්, අගමැතිවරයා ලෙස සිය පළමු නිල සංචාරයෙහි යෙදුණේ ද ඉන්දියාවටයි. ඉන්දියාව සහ චීනය BRICS රටවල් දෙකක් වීම හේතුවෙන් ද ඔවුන් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වීම කෙරෙහි අවධානය යොමු වූයේය​.

වෙළෙඳ සබඳතා

චීනය සහ ඉන්දියාව අතර අන්තර් පුද්ගල සබඳතා සහ වෙළෙඳ සබඳතා ඉතා අඩු තත්ත්වයක පැවැතුනේය​. 2014 ඉන්දීය මහ මැතිවරණයට පෙර නරේන්ද්‍ර මෝදිට සහය පළ කළ භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ විද්වත්හු චීන ඉන්දියා වෙළෙඳ සබඳතා වර්ධනය කිරීම කෙරෙහි විශාල අවධානයක් යොමු කළෝය​. ආර්ථිකය මත පදනම් වූ ආසියාතික පොදු රාජ්‍ය මණ්ඩලයක් පිළිබඳ පවා ඔවුන් අතරින් අදහස් පළ විය​. මීට සමගාමීව චීන ජනපති ෂී ජින්පිං 21 වැනි සියවසේ සේද මාවත නම් නව සංකල්පයක් හඳුන්වා දෙමින් කලාපයේ ආර්ථික සබඳතා පුළුල් කිරීමේ අදහසක් කරලියට ගෙන ආවේය.

ඉන්දියාවේ ස්ථාවරය වන්නේ ආර්ථික සහයෝගීතාව ඔස්සේ රටවල් අතර සබඳතා වර්ධනය විය යුතු බවයි​.  
පවතින තත්ත්වය යටතේ දෙරට අතර අනවශ්‍ය අර්බුදයක් කරා ගමන් කිරීම දෙපාර්ශ්වයට ම අයහපත් වන හෙයින් මෙම එදිරිවාදිකම් සමනය වීමේ වැඩි ඉඩක් ඇත​.

[චාමර සුමනපාල]