දරුවන් 13ක් සිර කළ කැලිෆෝනියාවේ මව පියා අත් අඩංගුවට

 ඡායාරූපය:

දරුවන් 13ක් සිර කළ කැලිෆෝනියාවේ මව පියා අත් අඩංගුවට

ඊයේ (16) දින කැලිෆෝනියා ප්‍රාන්තයේ රිවර්සයිඩ් ප්‍රදේශයේ ෂෙරිෆ් දෙපාර්තමේන්තුව වෙත ලද 911 හදිසි ඇමතුම් සේවාවෙන් ලද ඇමතුමකින් කියවුනේ ඇමතුම ගත් තැනැත්තිය අවුරුදු 17ක දැරියක් බවත්, ඇයගේ සහෝදර සහෝදරියන් 12 දෙනෙකු දෙමව්පියන් විසින් සිරගත කර ඇති බවත්ය.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති රිවර්සයිඩ් ෂෙරීෆ් දෙපාර්තමේනතුව කැලිෆෝනියාවේ පෙරිස්හි ඇති ඔවුන්ගේ

නිවසට ගිය අවස්ථාවේ ඔවුන් දැක ඇත්තේ වයස අවුරුදු 2ත් 29ත් අතර වයසේ පසුවන 13 දෙනෙක් සිරගත කර ඇති අයුරුය. ඒ අතරින් කීප දෙනෙකු ඇඳන්වලට තබා බැඳ දමා අගුලු ලා ඇති අයුරු ෂෙරීෆ් දෙපාර්තමේනතුවේ නිළධාරීන් නිරීක්ෂණය කර තිබේ. ඔවුන්ගේ ප්‍රකාශිත වයසට වඩා ඔවුන් සියල්ලන්ම ප්‍රමාණයෙන් කුඩා, සුදුමැලි පැහැයෙන් යුක්ත වූවන් බව ෂෙරීෆ් දෙපාර්තමේන්තුවේ නිළධාරීහු පවසති.

57 හැවිරිදි ඩේවිඩ් ඇලන් ටර්පින් සහ 49 හැවිරිදි ලුයිස් ඇනා ටර්පින් යුවල ඔවුන්ගේ නිවසේ ලිපිනය ලියාපදිංචි කර ඇත්තේ පාසලක් ලෙස වන අතර එහි විදුහල්පති ලෙස නම් කර ඇත්තේ පියා වන ඩේවිඩ් වය.

ඩේවිඩ් ටර්පින්ගේ මවගේ ප්‍රකාශයකට අනුව ඔවුන් ඉතා වැදගත් ලෙස ජීවත් වන පවුලක් වන අතර, දරුවන්ගේ ආරක්ෂාව පතා එලෙස ඔවුන් ක්‍රියා කර ඇත.

මේ වන විට දරුවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.