'ට්‍රම්ප්ගේ ඔළුව චෙක් කරන්න!' වෛද්‍යවරු ඉල්ලති

 ඡායාරූපය:

'ට්‍රම්ප්ගේ ඔළුව චෙක් කරන්න!' වෛද්‍යවරු ඉල්ලති

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන්' පසු වෙන බව ධවල මන්දිර නිල වෛද්‍යවරයා වන වෛද්‍ය රොනී ජැක්සන් පසුගිය සිකුරාදා (12) ප්‍රකාශ කිරීමත් සමඟ ඔහුට වෛද්‍යවරුන්ගෙන් සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලිපි සිය ගණන් ලැබීමට පටන්ගෙන ඇත. එම ලිපිවලින් ඉල්ලා ඇත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරයා මූලික මානසික සෞඛ්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසයි. 

කෙසේ වෙතත් මත්පැන් සහ දුම්පානයෙන් සදහටම තොර පුද්ගලයෙකු ලෙස සැලකෙන ට්‍රම්ප්, ව්‍යායාම කරා විශ්වාසය නොතබයි. ඔහුගේ මතය අනුව 'මිනිස් සිරුර සීමිත ශක්තියක් ඇති බැටරියක් මෙන් වන අතර ව්‍යායාම්වලින් සිදු වන්නේ එය නිකරුනේ වැයවීමකි'. බර්ගර්, කුකීස්, චිප්ස්, චොක්ලට්, මිල්ක් ෂේක් වැනි ආහාරපාන සඳහා වැඩි නැඹුරුතාවක් දක්වන ඩොනල්ඩ් ට්‍රම්ප් 71 හැවිරිදි වූවත් රුධිරගත සීනී ප්‍රමාණය සහ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනිමට සමස් වී ඇති බව කියැවේ.

ට්‍රම්ප්ගේ ශරීර සෞඛ්‍යය එසේ වුවත් ඔහුගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් වැඩි ජාත්‍යන්තර අවධානයක් යොමු වූයේ මයිකල් වොල්ෆ් විසින් රචිත Fire & Fury (‘ෆයර් ඇන්ඩ් ෆියුරි’) කෘතියෙනි. ඉන් හෙළි කර තිබුණේ ජනාධිපතිවරයා සම්බන්ධ පෞද්ගලික කාරණා රැසකි. විශේෂයෙන් මිනිත්තු 30ක කතාබහක් තුළදී ඔහු එකම කතාව අවම තරමේ තෙවතාවක්වත් නැවත පැවසීම, ඔහුට පැරණි මිතුරන් හඳුනාගත නොහැකි වීම, අකුරු අමතක වීම, කියවීමේ අපහසුතා ආදී ගැටලු රැසක් ඇමෙරිකානු ජනාධිපතිවරයා සතු බව ඉන් අනාවරණය කෙරුණු අතර එබැවින් ඔහුට රාජකාරී කිරීමේ ධාරිතාවක් නොමැති බව පෙන්වා දුනි.