බැලස්ටික් මිසයිල බියකින් “හවායි” කැලඹේ

 ඡායාරූපය:

බැලස්ටික් මිසයිල බියකින් “හවායි” කැලඹේ

ඇමෙරිකාවේ හවායි දූපත් වැසියන් පසුගිය සෙනසුරාදා (13) උදෑසන අවදි වූයේ තම ජංගම දුරකථනයට අසාමාන්‍ය කෙටි පණිවිඩයක් පැමිණි බව දැනීමෙනි. සම්පූර්ණ කැපිටල් ඉංග්‍රීසි අක්ෂරයන්ගෙන් සමන්විත වූ මෙම පණිවිඩයේ සඳහන් වූයේ 'හවායි වෙත බැලැස්ටික් මිසයිලයක් පැමිණීමේ අවධානමක් ඇත. ඉක්මනින් ආවරණයක් වෙත යන්න. මෙය පෙර පුහුණුවක් නොවේ' ලෙසයි.

පණිවුඩයෙන් කලබලයට පත් හවායි වැසියන් වෙත තවත් මිනිත්තු 30කින් පමණ එවන ලද කෙටි පණිවිඩයකින් දැනුම් දී තිබුණේ එය වැරදීමක් බවත්, එවැනි අවධානමක් නොමැති බවත්ය. කෙසේ වෙතත් මෙම නිවැරදි කිරීමේ පණිවිඩය ලැබෙන තෙක් කාලය අතරතුර බොහෝ හවායි වැසියන් තමන් රැඳි සිටි ස්ථානවලින් ඉවත්ව ආරක්ෂිත යැයි සිතෙන ස්ථාන සෙවීමටත්, රූපවාහිනී ඉදිරිපිට එක් රැස් වී එම තත්වයේ අලුත්ම වර්ධනයන් ගැන තොරතුරු සෙවීමටත් උත්සාහ කළ හවායි ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය වසරේ ජුලි සහ නොවැම්බර් අතර කාලය තුළ උතුරු කොරියාව සාර්ථකව අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීමත්, දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර උණුසුම් වචන හුවමාරුවත් හවායි වැසියන් තුළ බැලස්ටික් භීතිය වැඩි කිරීමට හේතු වී ඇත. මෙම අවිනිශ්චිත තත්වය තුළ ඇමෙරිකාවේ ප්‍රමුඛතම සංචාරක ආකර්ෂණය සහිත ප්‍රදේශයක් වන හවායි වෙත ඇති සංචාරක ආකර්ෂණයටද හානියක් සිදු වීමේ අවධානමක් මතුව තිබේ. විශේෂයෙන් සෙනසුරාදා සිදුවීමේදී බොහෝ සංචාරකයන් අධික භීතියට පත්ව සිටිනු දැකගත හැකිව තිබේ. කුමක් කළ යුතුදැයි නිශ්චිත උපදෙස් නොලැබූ විදෙස් සංචාරකයන් තමන් නවාතැන් ගෙන සිටි හෝටල්වල මේස යටට රිංගා ඇති බවද CNN වෙබ් අඩවිය වාර්තා කරයි.

යම් හෙයකින් උතුරු කොරියාවෙන් හවායි වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වුවහොත් යම් ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ඔවුන්ට ඉතිරි වන්නේ විනාඩි 20ක කාලයක් පමණි. උතුරු කොරියාව විසින් නිෂ්පාදිත යැයි පැවසෙන KN-08 හෙවත් 'රොඩොංග් සී' නම් වන බැලැස්ටික් මිසයිලයට කිලෝ ග්‍රෑම් 500-700 අතර පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් හවායි වෙත ගෙන යෑමේ හැකියාව ඇත. හවායි දුපත් පිහිටා ඇත්තේ උතුරු කොරියාවේ සිට ආසන්න වශයෙන් කිලෝ මීටර් 7500ක පමණ දුරකින් උතුරු පැසිෆික් සාගරයේය.