කමල් හසන්ගේ දේශපාලන ජවනිකාව

 ඡායාරූපය:

කමල් හසන්ගේ දේශපාලන ජවනිකාව

කලකදී සිනමා තරු, ක්‍රීඩා තරු සහ සංගීත තරු වූ ප්‍රතිරූප තවත් කලකදී ප්‍රකට දේශපාලන තරු බවට පත් වීමේ ලෝක දේශපාලනය තුළ නව ප්‍රවණතාවයක් නොවේ. වර්තමාන දේශපාලන කරළියේ සිටින විශ්‍රාමික සුපිරි සිනමා තාරකාවන් පිළිබඳව සොයනා අයෙකුට ආර්නල්ඩ් ස්වෙසනගර් මඟ හැරිය නොහැකි වේ. නමුත් ආසියානු කලාපය තුළ දැඩි බලපෑමක් කළ සිනමාවෙන් දේශපාලනයට පැමිණි චරිත බොහොමයක් බිහි වන්නේ ඉන්දියාවෙනි. ඒ අතුරිනුත් දකුණු ඉන්දීය සිනමා තරු දේශපාලනයට පැමිණීමේ වැඩි නැඹුරුවක් පවතී.   

තෙවරක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරය දැරූ එම්.ජී.ආර්. සහ සය වතාවක් මහ ඇමති ධුරය දැරූ ජෙයලලිතා ජයරාම් ඒ අතුරිනුත් සුවිෙශ්ෂී චරිත වේ.   

තමිල්නාඩු සිනමාවේ දේශපාලන ආගමන තුළ නවතම පෙරළිය පසුගිය බදාදා දින සනිටුහන් විය.   

ඒ දකුණු ඉන්දීය ප්‍රේක්ෂක හදවත් දිනා ගත සුපිරි නළුවකු වන කමල් හසන්ගේ නායකත්වයෙන් නවතම දේශපාලන පක්ෂයක් බිහි වීමත් සමඟය.   

'මක්කල් නීදි මයියම්' යන නමින් හැඳින්වෙන මෙම නව දේශපාලන පක්ෂයේ සමාරම්භක අවස්ථාව සඳහා මෑතක ඉන්දීය මැතිවරණ දේශපාලනය තුළ විප්ලවකාරී වෙනසක් සිදු කළ 'ආම් ආද්මි' පක්ෂයේ නායක අර්වින්ද් කෙජ්‍රිවාල් සහභාගි වීම මෙම අවස්ථාව වඩාත් කැපී පෙනීමට හේතු විය. දූෂණ සහ වංචා සම්බන්ධව කුප්‍රකට ඉතිහාසයක් ඇති දකුණු ඉන්දීය දේශපාලන කරළියේ 'දූෂණයට එරෙහි දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක්' බිහි වීමේ අවශ්‍යාතාව ගැන මෙම අවස්ථාවේදී දැඩි ලෙස කතා බහට ලක් විය.   

'මක්කල් නීදි මයියම්' පක්ෂයේ නිල ලාංඡනය සහ කොඩිය නිරාවරණය කරමින් කමල් හසන් දකුණු ඉන්දීය දේශපාලනයේ නව දිශානතියක් ගැන ඉඟි දෙන ප්‍රකාශයක් සිදු කළේය. විශේෂයෙන් අත් සයකින් එකිනෙක තදින් ග්‍රහණය කර සිටින ආකාරයක් නිරූපණය තුළින් තමන් අදහස් කරන්නේ දකුණු ඉන්දීය ප්‍රාන්ත හය පිළිබඳව බවත්, මැද ඇති තරුවෙන් නිරූපණය වන්නේ සත්‍යය, ජනතාව සහ යුක්තිය බවත් ප්‍රකාශ කළේය. මෙයින් දකුණු ඉන්දියාව වෙනම සාමූහික බල කේන්ද්‍රයක් දක්වා පරිවර්තනය වීමේ ශක්‍යතාවයක් මෙන්ම, අභිනව පක්ෂයේ දේශපාලන නියෝජනය තුළ දකුණු ඉන්දීය ප්‍රාන්ත හයේම සහභාගීත්වය දක්වා පුළුල් කිරීමේ සැලසුමක් පවතින බවද කියා පායි.   

ආම් ආද්මි පක්ෂ ආරම්භයේදී තිබූ දැවැන්ත ජන රැල්ල තරම් නොවෙතත් තමිල්නාඩුවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් 15,000කට අධික ජනකායක් නව පක්ෂ සමාරම්භක උළෙල සඳහා සහභාගී වීම ඉතා කැපී පෙනෙන සිදු වීමක් වේ. නව පක්ෂයේ දේශපාලන මතවාදය කුමන දේශපාලන ප්‍රවාහයේද යන්න පිළිබඳව නොසිතන බවත් ඒ වෙනුවට 'ජනතා සුබසාධනය' වෙනුවෙන් ක්‍රියාත්මක වන බවත්' පැවසීම තුළින් දූෂණයට එරෙහිව මධ්‍යම සහ දකුණු ආසියාවේ නැගී එන රැල්ලට අනුගත වීමේ සූදානම පැහැදිලි කර තිබේ.   

මෙම නව දේශපාලන ආරම්භයට ප්‍රථම දකුණු ඉන්දීය දේශපාලනය තුළ සිටින බොහෝ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් හමු වී සාකච්ඡා පැවැත්වීමට කමල් හසන් කටයුතු කර තිබිණි. නමුත් පාලක AIADMK පක්ෂයේ නායකයන් සමඟ සාකච්ඡා නොපැවැත්වීමට ඔහු වග බලාගෙන තිබේ. එසේම AIADMK කෙරෙහි තමන් තුළ පවතින අකැමැත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමටද ඔහු වගබලාගෙන ඇත.   

සිය රැලිය තුළ කමල් හසන්ගේ පළමු නවාතැන බවට පත් වූයේ මුන්නේස්වරම්හි පිහිටි හිටපු ඉන්දීය ජනාධිපති අබ්දූල් කලාම් අනුස්මරණ මධ්‍යස්ථානය වීමද සංකේතාත්මකව 'මක්කල් නීදි මයියම්' හි නව ගමන ගැන පූර්වකථන සැපයීමට සමත්ය.  

මාතෘකා