බුදු දහමත් චීන නිපැයුමක්ද?

 ඡායාරූපය:

බුදු දහමත් චීන නිපැයුමක්ද?

ගෞතම බුදුන් ශ්‍රී ලංකාවේ උපන්නේ යැයි කලක පටන් මතුවන අදහස් නැවත ඉස්මතු වීම හේතුවෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ විවාදයන් සිදු වන අයුරු අප දුටිමු. මේ අතර 2017 වසරේ අගභාගයේ සිට චීනයේ ද මෙවැනිම විවාදයක් මතුව ඇති බව වාර්තා වේ. එනම්, ගෞතම බුදුන් චීනයේ උපන්නේ යයි මතයක් පැතිර ගොස් ඇති අතර ඒ පිළිබඳ විවිධාකාර වාද විවාද චීනයේ සමාජ මාධ්‍යයන්හි හුවමාරු වෙමින් පවතී.

චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත පවසන අන්දමට මෑත කාලීන විවාදයට හේතු වී ඇත්තේ නේපාල ජාතික විද්‍යාර්ථියකු විසින් ලියන ලදැයි සමාජ ජාලයන්හි සංසරණය වන ලිපියකි. මෙම විද්‍යාර්ථියාගේ නම අමුහන්සෝගේ දැක්වෙන නමුත් එම නමින් යුතු අයකු පිළිබඳ වෙනත් කිසිදු ස්ථානයක සඳහන් නොවන බව ද ග්ලෝබල් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.

සාමාන්‍ය පිළිගැනීම නම් ගෞතම බුදුන් වර්තමාන නේපාලයේ ලුම්බිණියේදී උපන් බව ය​. චීනයේ කෘෂිකර්මයට අධිපති ෂෙන්නොංග් නම් දෙවියාගෙන් නේපාල වැසියන් උපන් බව පුරාවෘත්තයන් හි සඳහන් වන කතා පුවත ගෙන හැර දක්වන​ "අමුහන්සොංග්" ඒ ඔස්සේ තර්ක කරන්නේ බුදුන් තම රටේ උපන් බවට ඉන්දියානුවන් විසින් පැවසීම සාවද්‍ය බවයි.

අමුහන්සොංග් නැමැත්තකු පිළිබඳ වෙනත් කිසිදු ස්ථානයක සඳහනක් නොමැති වුවද ඔහු විසින් ලියන ලදැයි සංසරණය වන ලිපිය මුලින්ම පළ වී ඇත්තේ 2017 නොවැම්බරයේදී​ sohu.com වෙබ් අඩවියේ බව ග්ලෝබල් ටයිම්ස් වාර්තාව පවසයි. එය බීජිං හි චීන වෛද්‍යවිද්‍යාව පිළිබඳ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු සහ බෞද්ධ වෛද්‍යක්‍රම පිළිබඳ විශේෂඥයකු වන ලී ලියාංග්සොංග් විසින් ලියන ලද්දක් බව එම පුවත්පත තව දුරටත් කියා සිටියි. එනම්, අමුහන්සොංග් නම් අයකු ලියූ බැව් සඳහන් වන ලිපියේ සැබෑ කර්තෘවරයා විය හැක්කේ ලී ලියාංග්සොංග් ය​.

ලී සිය තර්කය ගෙනෙන්නේ කරුණු දහයක් මත පිහිටාගෙනය​. බුද්ධකාලීන නේපාලය චීන බලපෑමට යටත් වූ ප්‍රදේශයක් බව පවසන ඔහු බෞද්ධ ලේඛන අනුව ද බුදුන් වහන්සේ හා බැඳුණ සංස්කෘතිය මධ්‍යම චීනය සමඟ බැඳී ඇතැයි තර්ක කරයි.

ෂැංහයිහි සමාජ විද්‍යා විද්‍යායතනයේ ජාත්‍යන්තර සබඳතා ඒකකයේ පර්යේෂකයකු වන හූ සියොංග් සඳහන් කරන්නේ නේපාලයට යාබද ටිබෙටයේ ජනතාව සහ චීන ජනතාව එකම පරපුරකින් පැවතෙන්නන් හෙයින් ඉහත ප්‍රකාශය එකවර බැහැර කළ නොහැකි බවයි. ඉහත කී ලිපියෙහි කරුණු කෙසේ වෙතත්, බුදුන් වහන්සේ ඉන්දියාවේ උපන්නේ යයි නිසැකව පැවසීමට කරුණු නැති බව හූ සියොංග් තවදුරටත් කියා සිටියි.

පුරාවිද්‍යාත්මක සාධක​

බුදුන් උපන්නේ චීනයේ යයි මුලින් ම තර්ක කරනුයේ "අමුහන්සොංග්" නොවේ. චීනයේ සිෂුවාන් පළාතේ චෙංග්ඩු තාක්ෂණික සරසවියේ ඛණිජ විද්‍යාඥයකු වන සෑංග් රුබායි විසින් ලියන ලද, චෙංග්ඩු තාක්ෂණික සරසවි ජර්නලයේ 2016 ජනවාරියේදී පළ වූ ලිපියකින් තර්ක කර සිටින්නේ, බුදු දහම චීනයෙන් මධ්‍යම ආසියාවට සහ ඉන්දියාවට පැතිර ගොස්, පසුව චීනයේ අභ්‍යන්තරය කරා පැතිර ගිය බවයි. ඔහු මේ සඳහා සිෂුවාන් පළාතේ සන්‍ෂින්ග්ඩුයිහි පුරාවස්තු සාක්ෂි ඉදිරිපත් කරයි. ජේඩ්වලින් සහ ඇත් දළයෙන් තැනූ බුද්ධ රූප මෙන්ම පළිඟු බුදු හිසක් ද ඒ අතර වෙයි.

කෙසේ නමුත් සෑංග් රුබායිගේ ප්‍රකාශයන් සන්‍ෂින්ග්ඩුයි කෞතුකාගාරය විසින් සම්පූර්ණ හිතලුවන් ලෙස ඒවා බැහැර කරන ලදී. එම කෞතුකාගාරය 2016 මාර්තු මාසයේදී සිය වෙයිබෝ (චීන සමාජ ජාලයක්) ගිණුම හරහා සඳහන් කළේ සෑංග් රුබායිගේ තරම් නිර්ලජ්ජිතයකු ඔවුන් දැක නොමැති බවය​. ඔහු විසින් සාක්ෂි ලෙස ඉදිරිපත් කළ පුරාවස්තු ප්‍රදේශයේ ඒවා නොවන බව එම කෞතුකාගාරය කියා සිටියේ ය​.

මේ අතරවාරයේදී චීනය තුළ සංසරණය වන තවත් මතයකට අනුව බුදු දහම උපත ලබා ඇත්තේ ඊසානදිග සහ වයඹදිග චීනයේ ෂාමන් (පාරම්පරික භූතාත්ම ආදිය සමඟ ගනුදෙනු කරන​) ධර්මයන් අනුසාරයෙනි. වර්තමානයේද චීනයේ යට කී ප්‍රදේශවලත්, ටිබෙටය​, මොන්ගෝලියාව සහ ඒ ආසන්න රුසියානු ප්‍රදේශවලත් පමණක් නොව උතුරු කොරියාවේ පවා ෂාමන් (ෂමන්) දහම පැතිර ගොස් ඇති අතර ඇතැම් අවස්ථාවල එය එම ප්‍රදේශයන් හි පවතින බෞද්ධ සම්ප්‍රදායයන් සමඟ ද ඒකාබද්ධ වී තිබේ.

දේශප්‍රේමය​

ඉන්දියාවට පහර වදින ආකාරයේ මෙවන් මතයක් චීන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාම වේගවත් වීමට හේතුවක් වී ඇත්තේ චීනය සහ ඉන්දියාව අතර තරඟකාරීත්වයක් ඇති වී තිබීමයි. ඉන්දියාව සිය ඉතිහාසයේ එක් වැදගත් අංගයක් ලෙස බුදුන්ගේ සහ බුදු දහමේ උපත සලකන අතර විශේෂයෙන් ම වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ ම සාඩම්බරයෙන් කතා කරන අයකු බව ප්‍රකට ය​. එහෙයින් බුදු දහම ඉන්දියාවේ බිහි නොවූයේ යයි යමෙකු තර්ක කරයි නම් එය ඉන්දියාවේ ප්‍රෞඪත්වයට එල්ල කරන පහරකැයි ඇතමෙක් විශ්වාස කරති.

කෙසේ වෙතත් මෙවන් තහවුරු කළ නොහැකි කරුණු උලුප්පාලමින් දේශප්‍රේමයක් නිර්මාණය කිරීමට දරන​ උත්සාහය ඇතැම් විද්වතුන්ගේ දැඩි දෝෂදර්ශනයට හේතු වී තිබේ. බීජිංහි සමාජවාදය පිළිබඳ මධ්‍යම ආයතනයේ ආගමික කටයුතු පිළිබඳ විශේෂඥයකු වන ෂෙන් ගුයිපිං පවසා සිටින්නේ මේ සිදු කරන ලද අධ්‍යයනයන් සඳහා භාවිත කළ ක්‍රමවේදයන්හිද දුර්වලතා ඇති බවයි. එහෙයින්, මෙවන් තහවුරු නොකළ කරුණු භාවිත කරගෙන දේශප්‍රේමයක් ගොඩ නගන්නට යමෙකු උත්සාහ කරන්නේ නම් එය උද්දච්ච වූ ක්‍රියාවක් බව ගුයිපිං කියා සිටියි.

[චාමර සුමනපාල]