ලෝක බලවතාගේ “න්‍යෂ්ටික බොත්තම”

 ඡායාරූපය:

ලෝක බලවතාගේ “න්‍යෂ්ටික බොත්තම”

පසුගිය දිනක ට්විටර් සමාජජාල වෙබ් අඩවියේ ඇමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියාවට එරෙහිව කළ එක් ප්‍රකාශයක් නිසා ලෝකය දැඩි ලෙස කතා බහ කරන මාතෘකාවක් කරළියට පැමිණියේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඒ ප්‍රකාශයේ සදහන් වුණේ න්‍යෂ්ටික බොත්තම හැම වෙලාවෙම තමන්ගේ මේසයේ තිබෙන බවයි. එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වූයේ ඔහු එය ක්‍රියාත්මක කිරීමටද නොපසුබට වන බවය. එම ප්‍රකාශයත් සමඟ බොහෝ දෙනා තෙවන ලෝක යුද්ධය ගැනත් මේ න්‍යෂ්ටික බොත්තම ගැන කතා කරන්න පටන් ගැනුණි.

සැබැවින්ම මොකක්ද මේ න්‍යෂ්ටික බොත්තම? සමහරවිට ඇමෙරිකාව සතු න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක කරන පද්ධතිය ක්‍රියා කරවන බොත්තම විදිහට කෙනෙකු ඒ ගැන සිතන්නට පුළුවන. නමුත් සැබැවින්ම එවැනි න්‍යෂ්ටික බොත්තමක් නැත.  මේ බොත්තම වටා අපුරු කතාවක් ගොඩනැගී ඇත. එම කතාව ඇරඹෙන්නේ දෙවන වන ලෝක යුද සමයේදීය.

ලෝක ඉතිහාසයේ න්‍යෂ්ටික ප්‍රහාරයකට සමාන වූ ප්‍රහාරය වන්නේ ඇමෙරිකාව විසින් ජපානයේ හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ දියත් කළ අවස්ථාවන් වේ. මෙය සිඳු වන්නේ ඇමෙරිකාවේ 33 වන ජනාධිපතිවරයා වූ හැරී එස් ටෘෘමන්ගේ සමයේ දීය. සැබැවින් ම ඔහු එයට අවසර ලබා නොදුන්නත් හමුදා ප්‍රධානීහු ඔහුට රහසේ ජපානයේ නාගසාකි හා හිරෝෂිමා ප්‍රහාර දියත් කළෝය. ඇමෙරිකානු ජනාධිපතිවරයා 1945 අගෝස්තු 06 වෙනිදා එල්ල කරන ලද ඒ ප්‍රහාරය ගැන දැන ගන්නේ පැය 16කට පසුවයි. ඔහු ප්‍රහාරය සිදුකරන දිනයේ විවේකීව තමන්ගේ නිවසේ සිටියේ සංගීත කණ්ඩායමක් සමග විනෝද වෙමිනි. සැබැවින්ම ටෘෘමන් ජනාධිපතිවරයා මෙම බෝම්බ ප්‍රහාරයක් දියත් වන බවවත් දැන නොසිටියේය. නාගසාකි ප්‍රහාරයෙන් පසුව තමන් 3 වන බෝම්බයත් සතියකින් හෙලීමට සුදානම් බව හමුදා ප්‍රධානින් ටෘෘමන්ට ජනාධිපතිවරයාට පවසා තිබුණි.

වහාම හමුදා බලය තමන්ගේ යටතට ගත් ජනාධිපතිවරයා ඔහු සතු බලය යොදාගෙන ජනාධිපතිවරයාගේ අවසර නැතිව කිසිදු එවැනි බෝම්බ ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි ලෙස අණක් ඇති කරනු ලැබීය. මේ සිදුවීමත් සමඟ න්‍යෂ්ටික බොත්තම ගැන කතාබහ කරළියට පැමිණිණි.

සැබැවින්ම එය බොත්තමක් නොවීය. එය කිලෝ 20ක පමණ බරින් යුත් 'සූට්කේස්' එකකි. මෙය හඳුන්වන අන්වර්ථ නාමය වන්නේ “Nuclear Football” (න්‍යෂ්ටික පාපන්දුව)යි. හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු මගින් ආරක්ෂා කරන මෙය ඇමෙරිකානු ජනාධිපතිවරයාට පමණක් ක්‍රියාත්මක කළ හැකි ඇමෙරිකානු න්‍යෂ්ටික පද්ධතිය ක්‍රියාත්මක කරන උපකරණයකි.  

ඇමෙරිකානු ජනාධිපතිවරයා කුමන ප්‍රදේශයකට සංචාරය කළද මෙම 'සූට්කේස්ය' ජනාධිපතිවරයා සමඟම රැගෙන යනු ඇත. මෙලෙස එය ජනාධිපතිවරයා සමගම රැගෙන යාමට හේතුව කියුබානු අර්බුදය ඇති වූ අවස්ථාවේ තුන්වන ලෝක යුද්ධය නැතිනම් සීතල යුද්ධය ඇති වීමට ආසන්න වූ බැවිනි. සෝවියට් සංගමය එම අවස්ථාවේදී අනවශ්‍ය මැදිහත් වීමක් සිදු කළේය. සෝවියට් සංගමය එදා ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ඇමෙරිකාවට එරෙහිව භාවිතා කර හදිසි ප්‍රහාරයක් දියත් කළා නම් එයට විරුද්ධ ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකාවට ලැබෙන්නේ විනාඩියක් තරම් කාලයක් පමණි. මේ නිසාම එදා මේ 'සූට්කේසය' ජනාධිපතිවරයා සමඟ නිතරම රැගෙන යාමට කටයුතු කළේය.  

එදා පටන් අද දක්වාම එම ක්‍රියා පටිපාටිය එලෙසම ක්‍රියාත්මකය. මෙය ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයා පමණක් දන්නා කේතයකින් වීම විශේෂත්වයකි.

නව ජනාධිපතිවරයෙකු තේරී පත් වූ පසුව මෙම කේතය වෙනස් කරනු ලබයි. මේ තුළ ඇත්තේ න්‍යෂ්ටික පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය උපදෙස් මාලාව හා ඇමෙරිකාව සතු න්‍යෂ්ටික අවි දහසක ප්‍රමාණය ස්ථානගතව ඇති තැන් පිළිබඳව රහස් තොරතුරු වේ. මෙහි පරණ පද්ධතිය තුළ පැවතියේ දුරකථනයක් හා උපදෙස් මාලාවයි. එහිදි සිදු වීමට නියමිතව තිබුණේ දුරකථන ඇමතුමක් ලබා දී කේතය ලබා දීමෙන් ප්‍රහාරය දියත් කිරීම බවද කියවේ.

යුද විද්‍යාඥයින් පවසන ආකාරයට මෙය වැරදීමකින් හෝ ක්‍රියාත්මක වුවහොත් මිනිස් පරිණාමයේ මිනිසා දකින ඛේදජනකම සිදුවීම මිනිසාගේ දෑස්වලින් දැක ගන්නට ලැබෙනු ඇති බවයි. මේ පද්ධතිය නිර්මාණය කර ඇත්තේ එයට දෙන පළමු විධානයෙන්ම ක්‍රියාත්මක විමට බැවින්, බොහෝ පිරිසකගේ ප්‍රාර්ථනය වන්නේ "පිස්සු මිනිහෙකුගේ" අතට මෙය පත් නොවේවා ලෙසයි. මන්ද මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයාට කිසිදු නීතියක් සකස් වී නොමැති නිසාවෙනි. දැනට න්‍යෂ්ටික අවි නිෂ්පාදනය හා ක්‍රියාත්මක කරන ප්‍රොටෝකෝලය ස්ථාපිත කර ඇත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ බලය යටතේ අතර ඔහුට හමුදා බලයේදී කෙළින්ම ක්‍රියාත්මක කළ හැකි එකම දෙය වන්නේද මේ “Nuclear Football” නැතිනම් න්‍යෂ්ටික පාපන්දුව පමණය.

[සංජේ රණවක]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?