තෝරු මෝරු අස්සේ උඩ යන මාලදිවයින් කූනිස්සා | ඇස පාදන රැස


තෝරු මෝරු අස්සේ උඩ යන මාලදිවයින් කූනිස්සා

 ඡායාරූපය:

තෝරු මෝරු අස්සේ උඩ යන මාලදිවයින් කූනිස්සා

දකුණු ඉන්දියන් සාගර කලාපයම එකවිට නොසන්සුන් වූයේ පසුගිය දා මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අමුතු තීන්දුව නිසාය. එරටේ දේශපාලන සිරකරුවන් මුදාහළයුතු බවත් අවශ්‍ය නම් ඔවුන්ට එරෙහිව මුල සිට යළි පරීක්ෂණ ආරම්භ කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය. ඒ සමඟම දේශපාලන අස්ථාවරභාවයක් මෙන්ම නොසන්සුන්තාවක් මාලදිවයිනේ ඇතිවිය.   

එම තත්ත්වය ලෝක භූ දේශපාලන ප්‍රවනතාවක් දක්වා වර්ධනය වූයේ මාලදිවයිනේ මහජන මැතිවරණයකින් බලයට පත්වූ ප්‍රථම ජනාධිපති වන මොහොමඩ් නෂීඩ් විසින් කරන ලද ප්‍රකාශයකිනි. ඔහු ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවෙන් ඉල්ලා සිටියේ දේශපාලන සිරකරුවන් හා අත්අඩංගුවට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් ගලවා ගැනීම සදහා වූ "මැදිහත්වීමකි".   

මාලදිවයින් ජනරජයේ දේශපාලන කටයුතුවලට ඉන්දියන් මැදිහත්වීම නුහුරු නුපුරුදු නැත. මීට තිස් වසරකට ඉහත දී මාලදිවයින් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලාංකික කැරළිකරුවන්ගේ සහායෙන් දියත් වූ රාජ්‍ය විරෝධී කැරැල්ලට එරෙහිව ඉන්දියාව "මැදිහත්" විය. එහෙත් ඒ මැදිහත්වීම ඉන්දියානු රජය විසින් කළේ එවකට මාලදිවයින් ජනාධිපතිව සිටි අබ්දුල් ගයූම්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි.   

2008 වර්ෂයේ මාලදිවයිනේ පැවැති ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් පරාජයට පත්විය. සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ සුභපැතුම් මධ්‍යයේ බලයට පත්වූයේ මොහොමඩ් නෂීඩ්ය. එහෙත් 2012 වර්ෂයේ දී ඔහුට එරෙහිව ඇති වූ කුමන්ත්‍රණයකින් පසුව රාජ්‍ය බලය අත්හැරීමට අබ්දුල් නෂීඩ්ට සිදුවිය. අනතුරුව 2013 පැවැති දීර්ඝ ජනාධිපතිවරණ ක්‍රියාවලියකින් පසුව අබ්දුල්ලා යමීන් ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.   

ඔහු බලයට පත්වූ පසුව තදබල අධිෂ්ඨානයකින් තම දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහි කටයුතු කිරීමට පෙළඹුණි. එනිසා හිටපු ජනාධිපති අබ්දුල් නෂීඩ් ඇතුළු දේශපාලන නායකයන් රැසක් බන්ධනාගාරගත කරන ලදි. ඒ අතර නෂීඩ් අාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් නෂීම්, ජනාධිපති යාමීන්ගේ වරෙක විශ්වාසවන්තම උප ජනාධිපති වූ ආමඩ් අධීප්, විපක්ෂගේ අදාලත් පක්ෂයේ නායක ෂීක් ඉම්රාන් අබ්දුල්ලා ද වේ. මේ අතර හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ ගතවීමට අවශ්‍ය වූ අතර බටහිර මැදිහත්වීමකින් ඒ සඳහා අවස්ථාව ලබාදීමට ජනාධිපති යාමීන්ට සිදුවිය. අනතුරුව නෂීඩ්ට එක්සත් රාජධානියේ සරණාගත වීසා ලැබුණි.   

ජනාධිපති යාමීන්ට එරට පාර්ලිමේතුවේ බහුතරය නොමැත. ඊට හේතුවූයේ ඔහුගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙක් ඔහුට එරෙහිව විපක්ෂයට එක්වීම නිසාය. එම මන්ත්‍රීවරුන්ගේ ආසන අහිමි කිරීමට යාමීන් කටයුතු කළ අතර පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ආන්දෝලනාත්මක තීන්දුවෙන් කීවේ ඔවුන්ව යළි ආසනවල පිහිටුවන ලෙසය. එහෙත් ඒ තීන්දුව දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ද හිටපු ජනාධිපති අබ්දුල් ගයූම් ද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.   

ජනාධිපති යාමීන් මාලදිවයිනේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමත් සමඟ පාර්ලිමේන්තුව රැස්කිරීම වැළැක්වී තිබේ. ඔහුගේ දරදඬු පාලනයට එරෙහිව විපක්ෂය ශක්තිමත්ව බලමුළු ගැන්වේ යැයි යාමීන් බියට පත්ව ඇති අන්දමත් දිස්වේ. තමන්ගේ පක්ෂපාතීන්ගෙන් අධිකරණය පුරවමින් සිටින අතර විපක්ෂය නිහඬ කරගැනීමට බලවත් උත්සාහයක් දරමින් සිටී. මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී විපක්ෂය බලවත්ව ඔහුව පරාජය කරාවි යැයි යාමීන් තිගැස්මකට ලක්වීම තාර්කිකය.   

මාලදිවයින් ජනතාවගේ ව්‍යවස්ථාමය අයිතීන් අත්හිටුවීමක් කර ඇතැයි ඉන්දියාව නිවේදනය කළාය. මීට කලින් එරට විදේශ අමාත්‍යශය තම රටවැසියන්ට කීවේ මාලදිවයිනේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි. තමන් තත්ත්වය තදබල ලෙස නිරීක්ෂණය කරමින් සිටින බව ඉන්දියාව තවදුරටත් ප්‍රකාශ කළාය.   

ඉන්දියාව ඉතිහාසය පුරාම මාලදිවයින සමඟ සමීප සබඳතා පැවැත්වීය. හිටපු ජනාධිපති අබ්දූල් ගයූම්ගේ පාලන කාලයේ සිට පැවැති ඒ සබඳතා නතර වූයේ ජනාධිපති නෂීඩ් 2012දී බලයෙන් පහවීමත් සමඟය. මාලදිවයිනේ මාලෙ නුවර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සඳහා වූ ඉන්දියානු සමාගමකට ලබාදී තිබූ එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක කොන්ත්‍රාත්තුව හිටි අඩියේ ආකාස්මිකව අවලංගු කළේ ඉන් අනතුරුවය.   

මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යාමීන් ඉන්දියාව සමඟ තිබූ සබඳතා අත්හරිමින් මහජන චීනය සමඟ සමීප සබඳතා ගොඩනගා ගැනීම ආරම්භ කළේය. 2014 වර්ෂයේ දී මහජන චීන ජනාධිපති සිං ජිංපිං මාලදිවයිනේ සංචාරය කළ අතර චීන රජයට අයත් සමාගමකට මාලේ ගුවන් තොටුපල සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව එහිදී ප්‍රදානය කරන ලදී. මාලදිවයිනේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වූ බෙජිං උනන්දුව පෙන්නුම් කරමින් ද්විපාර්ශ්වික එකඟතාවන්ට මෙහි දී දෙපාර්ශ්වය යොමුවිය.   

"ස්ට්‍රිංස් පර්ල්ස්" (String of Pearls) යනු ඉන්දියානු සාගර කලාපයේ මහජන චීන අභිලාශයන් නිරූපනයවන භූ විද්‍යාත්මක න්‍යායකි. මහජන චීනයේ සිට සුඩාන වරාය දක්වා පැතිරෙන මුහුදු මාර්ග සන්නිවේදනය දිගේ දිවෙන චීන හමුදාමය, වෙළෙද පහසුකම් ජාලය මීට අදාළය. එම උපක්‍රමශීලී ප්‍රවේශය මගින් මහජන චීනය පසුගිය කාලය පුරා මාලදිවයින සමඟ සමීප සබදතා ඇතිකර ගත්තේය.   

ඉන්දියානු සාගර කලාපයේ වරායන් අතර ජාලයක් නිර්මාණය කරගැනීමට මහජන චීනය මහන්සි විය. පසුගිය කාලය පුරා ඔවුන්ගේ වෙහෙස මහන්සියේ උපරිමය වූයේ මාලදිවයින සමඟ සබදතා ගොඩනගා ගැනීමයි. ඒ නිසා මහජන චීනය හා මාලදිවයින අතර අලුත් ගනුදෙනු සිදුවිය. මේ නිසා මහජන චීන භූ දේශපාලන අවශ්‍යතා තුළ මාලදිවයින උද්යෝගීමත් කොටස්කරුවකු බවට පත්විය.   

ඉන්දියානු සාගර කලාපය තුළ මහජන චීනයේ උන්දුව හුදු අහිංසක ක්‍රියාවක් නොවේ. තම භූ දේශපාලන අවශ්‍යතා සඳහා වූ සැලස්මක් ඒ සියලු මැදිහත්වීම් තුළ පවතී. පසුගිය දෙසැම්බරයේ දී මාලදිවයින සමඟ නිදහස් වෙළෙද ගිවිසුමක් අත්සන් කළේ ද මෙම උපක්‍රමික අවශ්‍යතාව පෙරටු කරගෙනය. මේ උපක්‍රමික අවශ්‍යතා සම්බන්ධයෙන් ඉන්දියාවද පසුවන්නේ දැඩි උනන්දුවකය.   

චීනයේ භූ දේශපාලනික අවශ්‍යතා නිසා ඉන්දීය සාගර කලාපය තුළ ඉන්දියාව පසුවන්නේ සැකයෙනි. මාලෙහි පවතින චීන නාවුක බලය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඔවුන් දකී. ගිය වසරේ දී චීන නාවුක යාත්‍රා කිහිපයක් මාලෙහි නවතා තැබූවේ ඉන්දීය විරෝධය නොතකාය. ඉන්දියානු සාගර කලාපයේ චීන හැසිරීම සම්බන්ධයෙන් ඉන්දියාව කෙසේ අදහස් පළ කළ ද චීනයේ මතය වී ඇත්තේ මාලදිවයිනේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිළි ගැහීමට ඉන්දියාවට අයිතියක් නැති බවයි.   

ඉන්දියාවේ අභ්‍යන්තරයෙන් අදහස් පළවන්නේ මාලදිවයින් අර්බුදයට මැදිහත්වීම ඉන්දියාව ගෝලීය ප්‍රබලයකු ලෙස වර්ධනය වන පෞරුෂය තුළ වැදගත් වන බවයි. එවැනි මැදිහත්වීමක දී ඇමෙරිකන් එක්සත් ජනපදයත්, එක්සත් රාජධානියත් ඉන්දියාවට ශක්තියක් වනවා නොඅනුමානය. ඊට හේතුව වන්නේ ඉන්දියානු කලාපය තුළ මහජන චීනයේ කැපී පෙනෙන වර්ධනය එම දෙරට විසින් ද නොඉවසීමයි. මහජන චීනයට ගැති මාලදිවයිනේ වත්මන් ජනාධිපති යාමීන් පදවියෙන් ඉවත්වීම ඇමෙරිකන් එක්සත් ජනපදයේ ද එක්සත් රාජධානියේ ද කැමැත්තයි.   

ඉන්දියානු සාගර කලාපය තුළ බලවත් රටවලට ස්වකීය භූ දේශපාලන අභිලාශයන් පවතී. කුඩා රටවල් කළ යුත්තේ සංවේදී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඒවා අතර සීරුමාරුවට තීන්දු තීරණ ගැනීමයි. මාලදිවයිනේ උද්ගතව ඇති දේශපාලන නොසන්සුන්තාව තුළ ජනාධිපති යාමීන් හැසිරෙන්නේ එවැනි සංවේදීතාවක නොවන බව ඉතා පැහැදිලිය.

[කේ. ජී. පිලිප් ශාන්ත]

මාතෘකා