පලස්තීනයට අමෙරිකානු ආධාර අහවරයි

 ඡායාරූපය:

පලස්තීනයට අමෙරිකානු ආධාර අහවරයි

අමෙරිකා එක්සත් ජනපදය පසුගිය සතියේ පලස්තීනයේ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සහන සේවා සහ වැඩ ඒජන්සියට (යූඑන්ආර්ඩබ්ඒ) අමෙරිකා එක්සත් ජනපදයේ අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය (යූඑස්ඒඩී) අරමුදල විසින් ලබාදෙන ආධාරවලින් ඇමරිකන් ඩොලර් මිලියන 200ක් අත්හිටුවන්නට හදිසියේ තීරණය කළ බව මේ වන විට අනාවරණය වී තිබේ. මේ ආධාර දීම ගැන නැවත සලකා බැලිය යුතුව ඇතැයි එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන්ය.

ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ‘සරණාගතයන්’ නොසිටින බව ජනාධිපති ට්‍රම්ප්ගේ අදහසයි. එහි සිටින ඊනියා සරණාගතයන් එක්සත් ජාතීන්ගේ ‘සරණාගතයා’ යන්නේ නිර්වචනයට සහ නිර්ණායකවලට ගැළපෙන්නේද කවරාකාරයෙන් අනුගත වන්නේද යන්න යූඑන්ආර්ඩබ්ඒ වෙතින් විමසන්නට රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.

මේ විමසීම් කෙරෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ උභය මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරනු ලැබ පසුගිය මාර්තු 18 දින ජනාධිපති ට්‍රම්ප් විසින් අත්සන් කරන ලදුව නීතියක් බවට පත් වූ ‘ටේලර් ෆෝස් පනත’ අනුව ය.

ටේලර් ෆෝස් පනත යන කෙටි නාමයෙන් හැඳින්වෙන ඒ පනතේ දීර්ඝ නාමය ‘පලස්තීන බලධාරීන් විසින් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ඊශ්‍රායල් පුරවැසියන්ට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්ත ක්‍රියා අවසන් කිරීම සඳහා කොන්දේසි’ යන්න වේ. කෙටි නාමය ලෙස ටේලර් ෆෝස් යන්න යොදා ඇත්තේ එම නාමය දැරූ අමෙරිකානු ජාතික විද්වතකු සිහිවීම පිණිසය. ඔහු මිලිටරි ඇකඩමිවලින් යුද්ධ කළමනාකරණය පිළිබඳ හදාරා උපාධි ලබා තිබූ නමුත් සොල්දාදුවෙක් නොවීය. 2016 මාර්තු 08 දින ටෙල්අවිව් නුවරදී ගාසා තීරයේ කල්කියා නම් නගරයෙන් පැමිණි පලස්තීන ජාතික තරුණයකු විසින් පිහියකින් ඇණ ෆෝස් ඝාතනය කරන ලද අතර ඝාතකයා ඒ අවස්ථාවේ ම ඊස්‍රායල් පොලීසිය විසින් මරා දමන ලදි.

අමෙරිකාවේ කෝපයට හේතුව වන්නේ තමන් ත්‍රස්තයකු සේ සලකන ඝාතකයා ජාතිය වෙනුවෙන් දිවි පිදූ වීරයකු කොට පලස්තීනය සැලකීමය. එවැන්නන්ගෙන් යැපෙන්නන්ට ආධාර කිරීමේ අරමුදලක් පලස්තීන බලධාරීන් විසින් පවත්වා ගෙන යනු ලැබේ. ඒ අරමුදලෙන් ෆෝස් ඝාතනය කළ පුද්ගලයාගේ පවුලේ අයට මාසික වේතනයක් ලැබේ. මෙලෙස ආධාර ලබන පවුල් සිය ගණනකි.

එක අතකින් අමෙරිකා එක්සත් ජනපදයේ තර්කය සාධාරණ ය. පලස්තීනයේ එවැනි අනුග්‍රහවලින් ත්‍රස්ත ක්‍රියාවලට අනුග්‍රහය දැක්වෙනවා මෙන්ම පෙලඹවීමක් ද ඇතිවේ. සිය රටේ ජනතාවගේ බදු මුදල් ත්‍රස්තයන් නිසා නාස්ති වන්නේය යන්න ජනාධිපති ට්‍රම්ප් නිතර කියන්නකි. මේ පනත අනුව පලස්තීනය එබඳු ගෙවීම් වහා නතර කළ යුතු ය. එහෙත් පලස්තීනය ඊට එකඟ නොවේ.

ඊස්‍රායලයේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ටෙල්අවිව් සිට යෙරුසෙලම වෙත ගෙනයාම පසුගිය මැයි 15 දිනට යෙදී තිබිණි. පලස්තීනය ඒ ගැන කියන්නේ මොනවාද කියා තමන් නොදන්නා නමුත් යෙරුසෙලම ඊස්‍රායලයේ අගනුවර බව තමන් පිළිගන්නා බව ජනාධිපති ට්‍රම්ප්ගේ ට්වීටර් පණිවුඩවල සඳහන්ව තිබිණි. ඒ පිළිබඳව නිවේදනය කෙරුණු දින සිටම බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ විවිධ විරෝධතා ක්‍රියාත්මක විය. මේ විරෝධතාවලදී අමෙරිකාවට එරෙහිවද විරෝධය පළ කෙරිණි. සංහිඳුවන්නට යාමේදී පලස්තීනුවන් 171ක් මළ බව වාර්තාගතය. මේ අතර බාලයෝ සහ ස්ත්‍රීහුද වෙති. මේ ගැන පලස්තීනය අමෙරිකාවට චෝදනා කළේ ය.

විරෝධතාවලට සහාය පළකරමින් සිටි ක්‍රිස්ටීන් ෆොස් නමැති නෝවිජියානු ක්‍රියාධාරිනියකට දෙවරක් වෙඩි තැබූ බව ඇය ඊයේ (27) මාධ්‍යයට පවසා තිබිණි.

ඊස්‍රායලය හා පලස්තීනය අතර දිගු කාලයක් තිස්සේ පැවැත්වෙන සාම සාකච්ඡා තවමත් නිමාවක් දැක නැත. ඒ සාකච්ඡාවලට අමෙරිකා එක්සත් ජනපදයේ නිලධාරීහු ද සහභාගි වෙති. අමෙරිකාව සැමවිටම ඊස්‍රායලයේ පැත්ත ගන්නා නිසා එරට සහභාගිවන සාම සාකච්ඡාවලින් තමන්ට ප්‍රයෝජනයක් අත්විය නොහැකි බව පලස්තීනයේ මතයයි.

මේ තත්ත්වය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු උග්‍ර විය. මේ කටයුතු ධවල මන්දිරයේ සිට මෙහෙයවන්නේ ජනාධිපතිවරයාගේ බෑණා වන ජාරෙඩ් කුෂ්නර්ය. ඔහු යුදෙව් සම්භවයක් සහිත පුද්ගලයෙකි.

මෙහි දී ඊස්‍රායලයටද කාර්යභාරයක් පැවරේ. එයද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යෝජනාවකි. එක්සත් ජාතීන් විසින් පලස්තීනයේ ක්‍රියාත්මක කරන වැඩ සටහන් ගැන අවලෝකනයක් කිරීමයි ඒ. මෙය කෙතරම් දුරට සාර්ථක වේදැයි කිව නොහැකි නමුත් ඊශ්‍රායලය මෙය ඉටු කිරීමෙන් වැළැකී සිටිනු ඇති බවක් ද පැවසේ. එහෙත් අමෙරිකා එක්සත් ජනපදය විසින් පවරනු ලබන කාර්යයක් පැහැර හරින්නට ඊශ්‍රාලයට දිරියක් නොමැති බව ද තතුදත් මතයයි.

කෙසේ වෙතත් අමෙරිකා එක්සත් ජනපදයේ තීරණය ඊශ්‍රායල් බලධාරීන්ගේ අමන්දානන්දයට හේතු වී ඇති බැව් සඳහන්ය. ඔවුන් අල්ලා ගෙන ඇති පලස්තීනයේ සමහර ගම්වල අමෙරිකානු ආධාර නතර කළ බව දැක්වෙන ස්ථිර ප්‍රචාරක පුවරු පසුගිය 24දා වන විටත් කොට ඇත්තේ ඊස්‍රායෙල් හමුදා විසින් සවි කොට තිබිණි.

මේ තීරණය නිසා ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ සරණාගතයන්ට ලැබෙන ආහාර සලාක යනාදිය විශාල වශයෙන් කපා හරින්නට සිදුවනු ඇත.

එම ඒජන්සිය මගින් සරණාගතයන් 810,000කට ආසන්න සංඛ්‍යාවකට සහන සැලසේ. කඳවුරු 19කි. ළමුන් 48,956ක් ඉගෙනුම ලබන පාසැල් 96ක් ඒ මගින් පවත්වාගෙන යනු ලැබේ. ඊට අමතර වශයෙන් වෘත්තිය පුහුණු ආයතන 2ක්, ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 43ක්, ප්‍රජා විශෝධන මධ්‍යස්ථාන 15ක් සහ කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථාන 19ක් මේ ආධාරවලින් ක්‍රියාත්මකය.

ඊශ්‍රායලය කලක් තිස්සේ පලස්තීනයට අයත් භූමිය බලෙන් අල්ලාගෙන එහි ජනාවාස ඉදි කරමින් සිටියි. මෙය එක්සත් ජාතීන්ගේ සමුළුවේ සැමදාම සාකච්ඡාවට බඳුන්වන කාරණයක් නමුත් මෙතෙක් කිසිඳු නිමාවක් නොමැත. ඒ අතර ඊශ්‍රායලය දිනෙන් දින විශාල වෙමින් පවතියි. අමෙරිකා එක්සත් ජනපදයේ පිටුබලය ඊශ්‍රායලයට ලැබෙන අතර අරාබි ලෝකය ද ප්‍රසිද්ධියේ ඊශ්‍රායලයට එරෙහි වන්නේ නැත. ඊට හේතුව ඉරාණයට එරෙහිව සටන් කරන්නට නම් ඔවුන්ට ඊශ්‍රායලයය වැනි බලවතකුගේ සහාය ඇවැසි වීමයි.

මෙහි යටි පෙළ වශයෙන් එකිනෙකට පටහැනි කරුණු දෙකක් අනුමාන කළ හැකි ය.

පළමු කාරණාව වන්නේ අරාබි ලෝකය තමන්ගේ ආගමේ ම අනෙක් පාර්ශ්වය අදහන කණ්ඩායමට එරෙහි ව මාරාන්තික සටනක යෙදී සිටිමින් සතුරාගේ සතුරා මිතුරාය යන ආකල්පයෙන් යුදෙව් ලබ්ධිකයන් සමග එකඟත්වයෙන් කටයුතු කරන බවයි. දෙවැන්න වන්නේ මේ අනුව අමෙරිකා එක්සත් ජනපදය ශියා සටන්කරුවන්ට අනියමින් සහාය පළ කරන බවයි. ශියා සටන්කරුවන් යනු තාලිබාන් සහ ඉසිස්ය. මේ ගැන මෙනෙහි කරන විට ලෝක බලවතුන් තමන්ගේ බලය රැක ගැනීම සඳහා නොකරන දෙයක් නැති බව පැහැදිලිය.

ට්‍රම්ප්ගේ සිද්ධාන්ත පදනම් වන්නේ වාසි සහගත අන්‍යොන්‍ය හුවමාරුව නමැති සංකල්පය මත බව යෙරුසෙලම් පෝස්ට් පෙන්වා දෙයි. ඔහු චීනය සමග වෙළෙඳ යුද්ධයකට අර අඳියි. ඇත්තටම මේ වනවිටත් එය ඇරැඹී ඇත. මෙක්සිකෝවල යුරෝපා සංගමය සහ තුර්කිය සමගද එසේමය. ඔහු රුසියාව සමගද හිත හොඳක් නැත. බිලියනපති ව්‍යාපාරිකයකු වන ඔහුට වැදගත් වන්නේ මුදල් පමණි. මානුෂික හේතු නිසා ඇතිවිය හැකි අවුල් වියවුල් ගැන ඔහුගේ තැකීමක් නොමැත.

එක්සත් ජනපදය පලස්තීනයට විශාල වශයෙන් මුදල් ලබාදෙයි. පලස්තීනය ඒ මුදල්වලට සාධාරණය ඉටු කරන්නේද? නැති බව ට්‍රමප්්ගේ අදහසයි. එලෙස සාධාරණය ඉටු කරනවා නම් අමෙරිකා එක්සත් ජනපදයේ බහට නැමී ‘සියවසේ මහා ගිවිසුම’ අත්සන් කළ යුතු ය.

පලස්තීනය අමෙරිකානු ආධාරවලින් යුද්ධයක් පවත්වා ගෙන යන්නේ නැතිවාක් මෙන්ම පෙර රට වෙනුවෙන් දිවි පිදූ ත්‍රස්තයන්ගේ පවුල්වලට දීමනා ගෙවන්නේද නැත. අමෙරිකානු ආධාර පාලනය කරන්නේ අමෙරිකානු නිලධාරීන් මිස පලස්තීන නියෝජිතයන් නොවේ. එහෙත් රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒවා අත් හිටුවන්නේ තමන්ගෙන් ලැබෙන මුදල් රටේ සංවර්ධනයට යොදන ගමන් රටේ ආදායමෙන් ත්‍රස්තවාදය පෝෂණය කරන බව කියමිනි. කෙසේ වෙතත් යූඑස්ඒඩී වැසී ගියහොත් පලස්තීන ජනතාව මහත් අමාරුවක් වැටෙන බව නම් ප්‍රත්‍යක්‍ෂය.

[එස්. නන්දලාල්]

මාතෘකා