පෘතුගාලය චීනයේ මීලඟ ඉලක්කය

 ඡායාරූපය:

පෘතුගාලය චීනයේ මීලඟ ඉලක්කය

නිරවි යුද්ධයේ අවසානයෙන් පසුව එතෙක් අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ රටවල ඒකාධිපති පාලකයන් කෙරෙහි සහ පොදුවේ එම රටවල් කෙරෙහි ඇමරිකාවේ මෙන්ම රුසියාවේ ද අවධානය අඩු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ඒකාධිපති පාලකයන් බලයෙන් නෙරපන ලද අතර වෙනත් රටවල සිවිල් යුද්ධ නිමාව කරා ගියේ ය. පැරණි ඒකාධිපතීන් බලය දිගටම රඳවා ගත් රටවල් කෙරෙහි ද විදෙස් බැල්ම අඩු වූයේ ය.

මේ අතර චීනය විවෘත ආර්ථිකය කරා නැඹුරු වෙමින් සිටි අතර අධික ලෙස විදේශ ආයෝජන සහ කාර්මිකකරණය එරට වෙත ළඟා විය. 1993 දී මුල් වරට එය ඛනිජතෙල් ආනයනය කරන රටක් බවට පත් වූයේ ය.

මින් පසු වර්ෂයන්හි චීනය විදේශ ආයෝජනයන්ගෙන් උපයාගත් ධනය ආයෝජනය කිරීමට පටන් ගත්තේ ය. ඔවුනගේ අවධානය යොමු වූයේ බටහිර රටවල අවධානයෙන් ඉවත් වූ අප්‍රිකාව සහ එක්තරා දුරකට ලතින් ඇමරිකාව වෙත ය. විශේෂයෙන්ම ඛනිජතෙල් සහ අනෙකුත් ස්වාභාවික සම්පත් අවශ්‍යතා සපුරා ගැනීම එරට අභිලාශය වූයේ ය.

මේ අතර මීට දශකයකට පමණ පෙර ඇමරිකාව සහ යුරෝපා සංගමය ආර්ථික අවපාත තත්ත්වයකට ගමන් කළේය. අප්‍රිකාවේ ඉතියෝපියාව, ඇන්ගෝලාව වැනි රටවල් වේගවත් ආර්ථික වර්ධන වේගයන් පෙන්නුම් කළේ චීන ආයෝජනයන්හි උපකාරයෙනි.

මෙහි දෛවෝපගතම සිදුවීමක් වූයේ පෘතුගාලයට ය. ආර්ථික අවපාතය තදින්ම බලපෑ පෘතුගාලයේ ආර්ථිකයට වඩා ඇන්ගෝලාවේ ආර්ථිකය වර්ධනය වූ අතර ඇන්ගෝලාවේ ධනපති පැළැන්තිය සිය යටත් විජිත ස්වාමීන් වූ පෘතුගාලයේ ආයෝජනය කිරීමට පටන් ගත්තේ ය. පෘතුගාලයේ ඇතැම් දේශපාලකයන් ද ඇන්ගෝලාවේ මුදල්වලට යට වූ බවට චෝදනා එල්ල වූයේ ය.

ලෝකයේ කේන්ද්‍රය

චීනය අධිරාජ්‍යය පැවති සමයේ එරට ජනයාගේ විශ්වාසය වූයේ තම රාජ්‍යය ලෝකයේ කේන්ද්‍රය නොහොත් මධ්‍යය බවත් ඒ වටා පවතින්නේ වනචාරීන්ගේ ප්‍රදේශ බවත් ය. මේ අනුව ඔව්හු චීනය "මධ්‍ය රාජධානිය" (The Middle Kingdom) ලෙස හැඳින්වූ හ.

 

ධනයෙන් සවිමත් වන විට නූතන චීනයේ ද මීළඟ අභිප්‍රාය වූයේ ලෝකයේ ආර්ථික කේන්ද්‍රය වීම ය. ඒ සඳහා ඔවුන් විසින් නිර්මාණය කළ සංකල්පය වූයේ ලෝකයේ ආර්ථික ගනුදෙනු චීනය වෙත කේන්ද්‍රගත කිරීමයි. මේ සඳහා, තම ධනයෙන් ද සවිමත් කළ වැඩපිළිවෙලක් ඔව්හු හඳුන්වා දුන්හ. 21 වන සියවසේ සේද මාවත නමින් කලක් නම් කරන ලද එය පසුව එක් තීරයක්, එක් මාවතක් (One Belt, One Road) යයි ද, වර්තමානයේ තීරය සහ මාවත මූලාරම්භය (Belt Road Initiative) යයිද නම් කරනු ලැබ තිබේ.

මෙහි ප්‍රධානම අභිප්‍රායයක් වනුයේ පැරණි ලෝකයේ පැවති මාර්ග සහ නව මාර්ග ඔස්සේ යුරෝපය සහ චීනය අතර වෙළෙඳ මාර්ග දියුණු කිරීම ය. නමුත් චීනය පැරණි ලෝකයේ රටවල් සමග ගනුදෙනු කළාට වඩා වෙනස් ආකාරයකින් දැන් ගනුදෙනු කිරීමට පටන් ගෙන තිබේ. අධිරාජ යුගයන්හිදී චීනය බලාපොරොත්තු වූයේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයන්හි රාජ්‍යයන් තමන්ට ගැති රටවල් ලෙස පවත්වා ගැනීම ය. වර්තමානයේ චීනය උත්සාහ කරනුයේ ප්‍රත්‍යන්ත රටවල ආර්ථික බලය අල්ලා ගැනීමයි.

 

පෘතුගාල ඉලක්කය

චීනයේ මෙම නව ආර්ථික ඉලක්ක අතර ප්‍රමුඛ වන්නේ යුරෝපය ය. විශේෂයෙන්ම ඇමරිකාව සහ රුසියාව සමග යුරෝපය ගැටුම් වර්ධනය කර ගැනීම චීනයට අමතර වාසියක් බවට පත්ව තිබේ. කලක පටන් චීනය නැගෙනහිර සහ දකුණු යුරෝපීය රාජ්‍යයන් කෙරේ විශේෂ අවධානයක් දැක්වූ අතර එම රටවල් සහ චීනය අතර ජාත්‍යන්තර සමුළුව (චීනය සහ මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවල සමුළුව හෙවත් 16+1 සමුළුව) මෙවර ද ජූලි මාසයේදී පවත්වන ලද්දේ හත්වන වරට ය.

 

චීනය විසින් යුරෝපා රටවල සමාගම් මිලට ගැනීම පිළිබඳ විචාරකයන් කලක පටන් අනතුරු අඟවමින් තිබේ. ආර්ථික වශයෙන් ඉතා අසීරු අඩියක සිටින රටවල පමණක් නොව ජර්මනිය වැනි රටවල ද සමාගම්වල කොටස් චීන සමාගම් විසින් මිලට ගැනීම ආන්දෝලනාත්මක කරුණක් ව ඇත්තේ වසර කිහිපයක සිට ය.

මේ අතර චීනය විසින් පෘතුගාලය ද සිය පාලනයට නතු කරගැනීමේ අවදානමක් මතුව ඇති බව ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති. මේ සඳහා මෑත කාලීන උදාහරණයක් වන්නේ පෘතුගාලයේ එනර්ජියාස් ඩි පෝර්චුගාල් (EDP) හෙවත් පෘතුගාල බලශක්ති සමාගම මිලට ගැනීම සඳහා චීනයේ ත්‍රී ගෝර්ජස් චයිනා (TGC) සමාගම සූදානම් වීම ය. කලක් සේවකයන් 25,000 ක පමණ සංඛ්‍යාවක් සේවය කළ රාජ්‍ය ආයතනයක් වූ EDP හි සියයට 23 ක කොටස් මේ වනවිට ද TGC සමාගම සතු ය. TGC සමාගම විසින් EDP සමාගමේ ඉතිරි කොටස් මිලට ගැනීමට සූදානම් වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 10.83 කට ය.

චීනය මේ වනවිට ද පෘතුගාලය තුළ යටිතල පහසුකම්, මූල්‍ය, රක්ෂණය සහ බැංකු කටයුතු ආදී ක්ෂේත්‍රයන් හි ආයෝජනය කර තිබේ. පෘතුගාලයේ රක්ෂණ සමාගමක් සහ වෛද්‍යවරුන් චැනල් කිරීම සිදු කරන සමාගමක් චීනයේ ෆෝසුන් සමාගම විසින් මිලට ගෙන ඇති අතර මිලේනියම් BCP බැංකුවේ ද කොටස්වලින් හතරෙන් එකක් එම චීන සමාගමට හිමි ය. චීනයේ හයිටොංග් සමාගම විසින් BESI ආයෝජන බැංකුව මිලදී ගත්තේ මීට කලකට පෙර ය. මේ අතර ලිස්බන් නගරයට දකුණින් පිහිටි සිනෙස් නගරයේ වරාය චීන සමාගම් විසින් වැඩිදියුණු කෙරෙමින් පවතී.

පෘතුගීසි දේශපාලන නායකත්වය ද චීන ආයෝජන කෙරෙහි ධනාත්මක හෝ නිහඬ හෝ ප්‍රතිචාරයක් දක්වන බවක් පෙනී යයි. ආර්ථික අපහසුතා හේතුවෙන්, විශේෂයෙන්ම ණය අර්බුදය හේතුවෙන්, චීන ආයෝජන පෘතුගාලයට අත්‍යාවශ්‍ය සහනයක් බවට පත්ව තිබේ. නමුත් විශේෂයෙන්ම බලශක්තිය වැනි ඉතා වැදගත් ක්ෂේත්‍රයක පාලනය සම්පූර්ණයෙන්ම එක් රටකට පැවරීම පිළිබඳව පැහැදිලි ගැටළුවක් පවතී.

මේ අතර EDP සමාගම පිළිබඳ අවධානය යොමු වීම තවත් විශේෂිත වන්නේ එයට පෘතුගාලයෙන් එපිට ද වත්කම් පැවතීම හේතුවෙනි. දකුණු ඇමරිකාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන ප්‍රදේශයන් ඇතුළුව ලෝකයේ ප්‍රදේශ කිහිපයකම EDP සමාගම සතු ජල විදුලි, සුළං සහ සූර්යය බලාගාර වේ. EDP සමාගම මිලට ගැනීමෙන් චීනයට එම වෙළෙඳපොල කරා ද යොමු වීමේ අවස්ථාවක් ලැබේ.

ඇතැම්විට TGC සමාගම විසින් EDP සමාගම මිලට ගැනීමේ සැලසුම් කඩාකප්පල් වීමට මෙම කරුණ හේතු විය හැකිය. ඇමරිකාව තම රට තුළ වන වත්කම් චීන සමාගමක් අතට පත් වීම කෙරේ අවධානයෙන් සිටිනු ඇත. මීට පෙර ද චීන සමාගම් විසින් ඇමරිකානු සමාගම් මිලට ගැනීමට කරන ලද උත්සාහයන් ඇමරිකාව විසින් වැළැක්වූ අවස්ථා තිබේ. විශේෂයෙන්ම ඇමරිකාව සහ චීනය අතර මෑතකදී මතුව ඇති තීරුබදු යුද්ධය හේතුවෙන් පෙරටත් වඩා වැඩියෙන් චීනයේ ක්‍රියාකාරකම් පිළිබඳ ඇමරිකාව අවධානයෙන් සිටිනු ඇත.

[චාමර සුමනපාල]

මාතෘකා