මුවා මැරූ සල්මන්!

 ඡායාරූපය:

මුවා මැරූ සල්මන්!

එවකට සල්මන්ගේ වයස අවුරුදු 32කි. කෙළිලොල් හා විනෝදකාමියකු වන ඔහුට මුදල්වලින්, ජනප්‍රියත්වයෙන් ඉන්දියාව තුළ කිසිදු අඩුවක් නොවිණි. එවකටත් ඔහු දෛනිකව ඉන්දියාවට පුවත් සපයන්නකු විය. නළුවන් සමඟ වන ගැටුම්, නිළියන් හා නිරූපිකාවන් සමඟ ඇති වන ප්‍රේම සම්බන්ධකම්, රිය අනතුරු, ඒවායෙන් සිදු වන මරණ, යාචක දැරිවියන් සහෝදර තනතුරේ තබා නඩත්තු කිරීම, මිතුරන්ට උදව් කිරීම යනාදී හොඳ - නරක සියලු සිදුවීම් එවකට සල්මන් දෛනිකව ඉන්දීය මාධ්‍යයට සැපයූ පුවත්ය. ඉන්දියාවේ නළු නිළියන් හඹා යන පැපරාසි පන්නයේ වාර්තාකරුවන්ට සල්මන් ගුවන්තොටුපොළක ඇවිද ගියද එවකට ජනප්‍රිය මාතෘකාවකි. මේ සිදුවීම වූයේ එවැනි වකවානුවකය.   

1998 වර්ෂයේ සල්මන් සිය ක්ෂේත්‍රයේ මිතුරු මිතුරියන් කිහිප දෙනකු සමඟ ඉන්දියාවේ බටහිර පළාතේ රක්ෂිතයක සංචාරයකට සහභාගි වී සිටියේය. ඒ සායිෆ් අලී ඛ්හාන්, සොනාලි බේන්ද්‍රේ, තාබු සහ නීලම් යනාදීන් සමගය. සිවුදෙනා ගමන් ගත්තේ ජීප් රියකිනි. සල්මන් හැරෙන්නට අනෙක් තිදෙනා හිටියේ ජීප් රිය තුළය. තමන්ට ජීප් රිය පදවන ගමන් දඩයමේ නිරත විය හැකි බව සල්මන් විශ්වාස කළේය. සියල්ලෝම එයට කැමැත්තෙන්ද සිටියා වන්නට ඇත. වෙඩි තැබීම සිදු වන්නේ එවිටය. ඒ ඉන්දියාවේ දඩයම් කිරීම තහනම් කරන ලද කළු මුව වර්ගයක සතෙකුටය.   

සිද්ධියෙන් අනතුරුව එවකට රාජස්ථාන් පොලිසිය විසින් සල්මන් ඇතුළු හතර දෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර සල්මන් එහි වරදකරුවකු වන බව ඉන්දීය මාධ්‍ය චෝදනාත්මකව පෙන්වා දී තිබිණි. අනතුරුව වරින් වර නඩුව විභාග වුවද සල්මන් නඩුවේදී පැවසුවේ තමන් මුවකුට වෙඩි තැබීමක් සිදු නොකළ බවය.   

ඕනෑම ක්‍රියාවකට ප්‍රතිවිපාකයක් නියමිත වීම ලෝක ධර්මතාවයි. සල්මන්ට සිදු වූයේද එවැන්නකි. ඒ අනුව ඊයේ (5) ඉන්දීය ප්‍රධාන පුවත් සිරස්තල මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවලද ප්‍රධාන පුවතක් වන්නට සල්මන් සමත් විය. ඒ අදාළ චෝදනාව එල්ල වී වසර විස්සකින් අනතුරුවය. ඊයේ ජෝද්පූර් අධිකරණයේදී නඩුව විභාග කෙරුණු අතර සල්මන් ඊයේද අධිකරණය හමුවේ පැවසුවේ තමන් කිසිදු මුවෙකුට වෙඩිතැබීම් නොකළ බවය. කෙසේ වුවද සල්මන් වැරදිකරු කරමින් ජෝද්පූර් අධිකරණය ඔහුට වසර පහකට සිර දඬුවම් ලබා දීමට නියෝග දුනි. සිද්ධියට සම්බන්ධ බව කියූ සායිෆ්, නීලම් හා තාබු ප්‍රධාන අධිකරණ මහේස්ත්‍රාත් දේව් කුමාර් කත්‍රි විසින් නඩුවෙන් නිදහස් කෙරිණි. ජෝද්පූර් අධිකරණය ඉන්දීය රුපියල් 10,000ක් සල්මන්ට දඩ වශයෙන් නියම කර තිබිණි.

අධිකරණ නියෝග ලද සැණින් සල්මන් බන්ධනාගාරයට ගෙන යාමේ වීඩියෝ හා ඡායාරූප ලෝකයේ දසත පළ කෙරුණු අතර සල්මන් කර තිබුණේ වරදක් බව ඇතැමුන් පෙන්වා දුන් අතර ඇතැම් අය සල්මන් සතුන් නොමරන අහිංසකයකු බවද හැඳින්වූහ.

කළු මුවන් ඉන්දීය වනජීවී ආඥා පනතට අනුව මැරීම තහනම්ය. සල්මන් වෙඩි තබා තිබුණේ එවැනි මුවෙකුටය. මුව ඝාතනය සිදු වී වසර 20කට පසුව මෙම අධිකරණ නියෝගය ලැබීමද ඉන්දීය අධිකරණ ඉතිහාසයේ සුවිශේෂ සිද්ධියක් වේ.

හින්දි සිනමාව හෙවත් බොලිවුඩයේ සුපිරිතම නළුවන් අතරින් එක් අයකු වන සල්මන් ඛාන් එරට ධනවත්ම නළුවන් හා නිරූපණ ශිල්පීන් අතරද කැපී ෙප ෙන්. අවුරුදු 32ක් වන තරුණ වයසේදී මුවා ඝාතනය කරන සල්මන්ට අධිකරණයෙන් දඬුවම් හිමි වන්නේ ඔහු වයස අවුරුදු 52ක මැදි වියේ මිනිසකු වූ පසුවය. අබ්දුල් රශීඩ් සල්මන් ඛාන් උපත ලබන්නේ 1965 දෙසැම්බර් 27ය. හින්දි සිනමාව එනම්, බොලිවුඩයේ නළුවකු, නිෂ්පාදකවරයකු, ගායකයකු, හා පුංචි තිරයේද ජනප්‍රිය චරිතයක් වන සල්මන් දශක තිහක් වන සිය සිනමා දිවියේදී බොහෝ සම්මාන ලැබූවෙකි. හින්දි සිනමාවේ අති සාර්ථක නළුවකු වන ඔහු චිත්‍රපටි තිර රචකයකු හා නිෂ්පාදකවරයකු වන සලීම් ඛාන්ගේ දෙටු පුත්‍රයාය. 1988දී 'බීවී හෝ තෝ ඒසී' චිත්‍රපටියේ රඟපාමින් සිනමා නළුවකු වූ ඔහු ඉන්දියාවේ වාණිජ වශයෙන් සාර්ථක වූ ප්‍රේමාන්විත හා ක්‍රියාදාම චිත්‍රපටි අති විශාල ගණනක ප්‍රධාන නළුවා වූයේය. අර්පිතා ඛාන් නමින්ග් සිය පාරම්පරික නාමය ලබා දෙමින් සල්මන් යාචක දැරියක සිය සහෝදරිය වශයෙන් හදා වඩා ගැනීමට සල්මන් වරෙක කටයුතු කළේය. අර්පිතාට සහෝදරයකු වශයෙන් සල්මන් කෙතරම් ආදරය දැක්වූයේද යත් ඔහු ඇගේ විවාහය ඉන්දීය රුපියල් කෝටි ගණනක් වියදම් කළේය.

හින්දි නිළියන් හා නිරූපිකාවන් ගණනාවක සැබෑ ජීවිතයේ පෙම්වතා වූ සල්මන් සුප්‍රකට ඉන්දීය ලෝක රූ රැජිණක් හා නිළියක් වන ඓශ්වර්යා රායි සමඟ පැවැත්වූ ප්‍රේම සම්බන්ධය බෙහෙවින් ප්‍රසිද්ධ එකකි. ඒ එම සම්බන්ධය බිඳී ගිය වකවානුවේ සිය වාහනය ඉන්දියාවේ පදික වේදිකාවක පදවාගෙන ගොස් ඒ මත නිදා සිටි මිනිසුන් පස් දෙනකු අනතුරකට ලක් කර ඔවුන් එක් අයෙකු මිය යෑමත් සමගය. එම නඩුවෙන් වසර පහකට සිර දඬුවම් ලැබූ සල්මන් පසුව අධිකරණයෙන් නිදහස් කෙරිණි. සල්මන් බීමත්ව රිය පැදවූ බවට එම නඩුවේදී තහවුරු කෙරිණි.  

2004 වර්ෂයේදී ලොව හොඳම පෙනුමැති තැනැත්තා වූ, 2008 හා 2012 වර්ෂවලදී මැඩම් ටුසාට් කෞතුකාගාරයේ ඉටි රුවක් හදා තැන්පත් කළ, ඉන්දියාවේ පීපල් සඟරාව විසින් 2011, 2012, 2013 වර්ෂවලදී ඉන්දියාවේ සරාගීම මිනිසා වශයෙන් හැඳින්වුණ සල්මන් දැන් බන්ධනාගාරයේය. පවුලේ හිතවතුන්, හින්දි සිනමාවේ බොහෝ දෙනකු, රසිකයින් ඔහු වෙනුවෙන් හඬා වැළපෙද්දී කළ වරදට ඔහු දඬුවම් ලැබිය යුතු බව කියන ඉන්දියානුවෝද සිටිති. සල්මන් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔහුගේ පදිංචි ස්ථානය වන බන්ද්‍රාහි 'ගැලැක්සි අපාට්මන්ට්' රසිකයින්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිබිණි.

සල්මන්ගේ ෆේස්බුක් පිටුව මේ වන විට රසිකයින් මිලියන 36 ඉක්මවා තිබේ. ට්විටර් ගිණුමට මිලියන් 32.5ක රසිකයෝ සිටිති. ඉන්දීය අධිකරණය බන්ධනාගාරගත කිරීමට නියෝග දුන්නේ එවන් නළුවකුය.

මාතෘකා