මහා පිරමීඩ තවමත් පුදුමයක් වන්නේ ඇයි?

 ඡායාරූපය:

මහා පිරමීඩ තවමත් පුදුමයක් වන්නේ ඇයි?

 

ගීසාහි පිරමීඩ තුනකි. එයින් විශාලතම එක කුෆු තැනූ පිරමීඩයයි. ඉන්පසු කුෆුගේ පුතණුවන් වූ කෆ්රේ තැනූ කුෆුගේ විශාලතම පිරමීඩයට ආසන්න සමාන පිරමීඩය තිබේ. මෑන්කරේ යනු සුවිසල් පිරමීඩය තැනූ කුෆුගේ මුනුබුරාය. ගීසා බිමේ ඇති විශාල පිරමීඩ තුනෙන් කුඩාම එක මුනුබුරු මෑන්කරේගේය. අවට තවත් කුඩා සයිස් පිරමීඩ කිහිපයකි. ඒවා නායකයන්ගේ බිරියන් උදෙසා නිමවූ ඒවා යැයි සැලකේ.

ගීසාහි පිරමීඩ පිළිබඳ ඔබ දැන සිටියාද? එහි ඇති සුවිශේෂතා පිළිබඳ හා නිර්මාණකරණයන් පිළිබඳ කියවා හෝ තිබේද? අප ඔබව රැගෙන යන්නේ ගීසාහි පිරමීඩ නැරඹීමටය.

ගීසාහි ඇති විශාලතම පිරමීඩයේ වර්තමාන උස මීටර 139කි. දැන් තිබෙන පිරමීඩය ගල් කුට්ටි එක මත එක තබා තිබෙන ආකාරයෙන් දිස් වේ. එහෙත් පිරමීඩය හැදූ කල පටන් වර්ෂ දහස් ගණනක් තිස්සේ පිරමීඩ වටේ කවරයක් විය. ඒ මහා හිරිගල් කවරය සමඟ නියම පිරමීඩයේ උස මීටර 146.7ක් විය. ක්‍රිස්තු පූර්ව 2580-2560 කාලේ පිරමීඩ ඉදි කර ඇත. ක්‍රි.ව. 1311දී එංගලන්තයේ ලින්කොල්නින් ආසන දෙව්මැදුර ලොව උසම ගොඩනැඟිල්ල විය. එහි දෙව්මැදුරේ උස මීටර 147ක් විය. එනම් වර්ෂ 3871ක් තිස්සේ ලොව උසම ගොඩනැඟිල්ල ලෙස ලොව විරාජමාන වූයේ ගීසාහි පිරමීඩයි. ගීසාහි පිරමීඩ තැනූ යම් දිනයක් වේද එදා සිට මේ දක්වාම ගීසා පිරමීඩ, යුග ගණනාවක මිනිසුන් පුදුමයට පත් කරන මහා නිර්මාණයකි.

පිරමීඩ හදන මන්තරේ

අපිට අනුරපුර පොළොන්නරු වැව් ආදිය දුටු විට මේවා ඒ කාලේ හැදුවේ කොහොමද යන ගැටලුව නිතැතින්ම පැන නඟී. ඒ මීට වසර දහසකට දෙදහසකට එපිට අපේ රජදරුවන් කළ නිර්මාණ කාර්යයෝය. එවිට අඩුතරමේ යකඩ සොයාගෙන තිබිණි. එහෙත් මීට වසර හාරදහස් පන්සීයකට එපිට ඊජිප්තු පාරෝ රජුන් කල ගල් කුට්ටි තබා තැනූ පිරමීඩ හැදුවේ කෙසේද යන්න අදටත් රහසකි. පුරාතනයේ මිනිස්සු තමුන්ට තේරුම් ගැනීමට නොහැකි සොබාදහමේ දෙයක් වේ නම් එය දෙවියන්, යකුන්, ප්‍රේතයන්ගේ නිර්මාණයක් වේ යැයි කියූහ. නූතන තාක්ෂණයෙන් සපිරි දක්ෂ මිනිස්සුට තවමත් පිරමීඩ තැනූ ඊජිප්තු සාස්තරේ අදටත් සොයා ගැනීමට අපහසු වී තිබේ. එනිසාම බොහෝ අය ඒ නිර්මාණ පිටසක්වල ජීවීන්ගේ යැයි කියති.

ගීසා පිරමීඩ තනා තිබෙන එක ගල් කුට්ටියක් ටොන් 2.5ක් බරය. එවැනි ගල් කුට්ටි මිලියන 2.5කට ආසන්න ප්‍රමාණයක පිරමීඩ තිබේයැයි විශ්වාස කෙරේ. මේ තිබෙන සියලුම ගල් ටොන් 2.5ක බරින් යුතු ඒවා නොවේ. ටොන් 5-10-15 ආදී විශාල ගල් කුට්ටිද පිරමීඩ තැනීමට පාවිච්චි කර තිබේ. පාරාවෝ නායක කුෆු ජීවත් වූ කාලය අවුරුදු 23ක් වන හෙයින් පිරමීඩය අඩු වශයෙන් අවුරුදු විස්සකට ආසන්න කාලයකදී නිම කරන්නට ඇතැයි සැලකේ. මේ පිරමීඩය තැනීමට එක දිනකට ඔලිම්පික් ස්විමින් පූල් එකක් පිරවීමට තරම් ගල් වුවමනා විය. වසර විස්සකින් මෙම නිර්මාණය නිම කිරීමට නම් විනාඩි තුනකට එක ගලක් බැගින් වූ හිතාගත නොහැකි තරම් වේගයකින් පිරමීඩ සකස් කළ යුතුය. එම ගල් අඩි හතර බැගින් දිග පළල සහිත වන අතර අඩි එකහමාරක් තරම් උසින් යුක්ත වේ.

වැඩි වශයෙන් හුනුගල් හිරිගල් වැනි ගල් විශේෂයක් භාවිත කර ඇති නමුත් මේ අතර ග්‍රැනයිට් හෙවත් කළු ගල් නිමැවුම්ද විටින් විට හමුවේ. දිග පළල මීටර 230 බැගින් වූ මෙම පිරමීඩය නියම ආකාරයට දිශාවන් අනුව පිහිටුවා ඇත. සුවිශාල අනෙක් පිරමීඩවලින් මෙන් අභ්‍යන්තරයේ වැඩි යමක් ගීසා පිරමීඩ තුළින් හමු නොවුණි. එහෙත් නිර්මාණමය දක්ෂතාව අතින් අනෙක් සෑම පිරමීඩයකටම වඩා මේ විශාල පිරමීඩ දෙක පුදුමයක්ව පවතී.

නයිල් ගඟේ වතුර මතින් තැනූ පිරමීඩ

නයිල් ගඟ මීට වසර හාරදහස් පන්සීයකට පෙර ගීසා බිම යටකරගෙන වසරකට වතාවක් ගංවතුර තත්ත්වයක් ඇති කළේය. එකල ජීවත් වූ ඊජිප්තු වැසියෝ මේ ගංවතුර තත්ත්වය ගැන මනා අවබෝධයකින් යුක්ත වූහ. ඔවුන් සුවිශාල ගල් ආදිය වතුරේ පා කරගෙන ඇවිත් මෙම නිර්මාණ කළා යැයි මතයක් තිබේ. හුනුගල් හෝ කළුගල් වතුරේ පාවෙන්නේ නැත. ඒ සඳහා ඔවුන් වායු බැලුන යොදාගත්තා යැයි පවසයි.

ඒ අනුව ටොන් ගණන් බර ගල් කුට්ටි පිරමීඩය හැදීමේදී ඉහළට ගෙන ඇත්තේ පිරමීඩය තුළම වූ විශාල ජල කුටීර තුළිනි. වසරකට මාස තුනක් ගංවතුර තත්ත්වයක් තිබූ එකල ගීසා පිරමීඩ බිමේ ජනයා ලහි ලහියේ ඉදිකිරීම් කටයුතු කරන්නට ඇත. වේදිකාවක් මුලින් තනා ඉන්පසුව ඒ වේදිකාව දිගේ ටොන් ගණන් බර ගල් තල්ලු කරගෙන ගියේ යැයිද මතයක් තිබේ. එහෙත් එවැනි වේදිකා තිබුණේ යැයි කිව හැකි සාධක කිසිත් සොයාගෙන නැත.

 

ගල් පෙරළූ ඊජිප්තු මිනිස්සු

මීට වසර තිහ හතළිහකට පෙර කාටුන්වල මෙන්ම වෙනත් නිර්මාණවලද ගීසාහි පිරමීඩ හැදීමට වහලුන් බැරිමරගාතේ ගල් තල්ලුකරගෙන යන වීඩියෝ ආදිය තිබිණි. එකල පිරමීඩ නිර්මාණය කළ ශ්‍රමය වහල් ශ්‍රමය වී යැයි යන මතය ප්‍රබලව තිබිණි. එහෙත් පසුව ගීසා පිරමීඩ අසල කළ කැණීම්වලදී පැරණි නිර්මාණකරුවන් නවාතැන් ගත් තිප්පොළවල් හමුවිණි. ඒවායේදී ප්‍රථමාධාර වෛද්‍ය ප්‍රතිකාර කළ ස්ථාන සොයා ගැනිණි. මිනිස්සු ශල්‍යකර්ම කළ පැරණි අස්ථි කැබලි හමු විය. ඔවුන් ආහාරයට ගත් සතුන්ගේ ඇට කැබලි හමු විය.

ඒ පුරාණ ඊජිප්තු පිරමීඩ තැනූ කම්කරුවන්ගේ නවාතැන්වලින් සොයාගත් කරුණු අනුව ඒ වෙනමම වහලුන් ජාතියක් නොව ඊජිප්තු ජාතිකයන් බව පුරාවිද්‍යාඥයෝ මත පළ කර තිබේ. වසරේ මාස 9ක් ගොවිතැන් වගා කටයුතු කරන ඊජිප්තු ජාතිකයෝ ගංවතුර ගලන මාස තුනක කාලය මේ නිර්මාණ වෙනුවෙන් වැඩි වශයෙන් කැප කරන්නට ඇතැයි සැලකේ. තළා පෙළා වැඩගත් වහල් සේවයක් එකල නොතිබෙන්නට ඇත. ෙපා්ෂ්‍යදායී සත්ත්ව මාංස ආදියෙන් පිරිපුන් ආහාර වේලක් ලැබ ඊජිප්තු පිරමීඩ කම්කරුවන් වැඩ කරන්නට ඇත.

බුදුන් වහන්සේ ඉන්දියාවේ සිටි ක්‍රි. පූ. 480-420 කාලයේ ග්‍රීසියේ හෙරඩෝටස් නමැති ඉතිහාසඥයෙක් සිටියේය. අපි දැන් ඒ ග්‍රීක ඉතිහාසය අධ්‍යයනය කළද එදා ග්‍රීකයෝ එවකට පැවති ඉතිහාසය ගැන අධ්‍යයනය කළෝය. පිරමීඩ අසලටම ගොස් ඒ දැක බලාගත් හෙරඩෝටස් මේ පිරමීඩ මිනිස්සු ලක්ෂයක්වත් වෙහෙස මහන්සි වී වර්ෂ ගණනක් තිස්සේ කළ නිර්මාණයකැයි කීවේය. එහෙත් නවීන විද්‍යානුකූලව සොයාගත් කරුණු කාරණා අනුව පිරමීඩ තනා ඇත්තේ මිනිස්සු දහදාහත් විසිදාහත් අතර ගණනකගේ ශ්‍රම දායකත්වයෙනි.

 

පිරමීඩවලට ඇති අවදානම

පිරමීඩ පිටට පෙනෙන්නේ පෞරාණික චෛත්‍යයක් ආකාරයෙනි. එහෙත් පිරමීඩ හැදූ කාලයේ එය සුදෝ සුදට බැබළෙන අලංකාර බිත්ති ලෙස නිම කර තියෙන්නට ඇත. පසුකාලීනව ඊජිප්තුවේ කයිරොවේ දේවස්ථානවල ඉදිකිරීම් කටයුතුවලට මේ මහා පිරමීඩවල පිටත ගල් කුට්ටි යොදාගෙන තිබිණි. එම නිසා ඒ පිටතට අල්ලා තිබූ සුදු හුනුගල් තට්ටු බොහොමයක් අද වන විට අතුරුදන්ව පවතී.

ගීසාහි තිබෙන මහා කුෆු පිරමීඩ අභ්‍යන්තරයේ වස්තු සම්පත් ආදිය නොතිබෙන්නට ඇතැයි බොහෝ දෙනා පවසති. ඒ වස්තුව තිබී කොල්ලකෑමකට ලක්වී ඇත්ද? එසේත් නොමැති නම් වස්තු හා මමි ආදිය තිබුණේම නැතිද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් අද නම් මේ පිරමීඩ ඇතුළෙහි කුටීර තුළ කිසිවක් නොමැත. සැඟවුණු කුටීර සහ ස්ථාන සොයා ස්කෑන් පරීක්ෂාවන් ආදිය දැනටමත් මේ ගීසා පිරමීඩ ආශ්‍රිතව සිදු කෙරේ.

ඊජිප්තුවේ කයිරෝවට අතේ දුරින් මෙම පිරමීඩ පිහිටා තිබේ. සංචාරකයන්ට නම් එය වාසියකි. එහෙත් නාගරීකරණයේ බලපෑම ඊජිප්තු පැරණි නටබුන්වලට දැඩිව බලපා තිබේ. කසළ බැහැර කිරීම්, වායු දූෂණය නිසා වන හානිවලට ගීසාහි පිරමීඩ ඇතුළු නටබුන් අදද මුහුණ දෙයි.

ගීසා පිරමීඩයේ බර දරාගෙන සිටින ගීසා ස්ථරය යටින් අධිවේගී මාර්ගයක් තැනීමටද නියමිතව තිබේ. කයිරෝ නුවර සිට වෙනත් නුවරක් දක්වා දිවෙන අධිවේගී මාර්ගයක් මේ ගීසා පිරමීඩ හරහා වැටීමට නියමිතව තිබේ. ඒ ගැන යුනෙස්කෝවද මේ වන විට අවධානය යොමු කර තිබේ.

හැදුවේ පිරමීඩ විතරද?

මේ මුල්කාලීන පාරෝ රජවරුන්ගේ කාලසීමාව වසර පන්හයසීයක් තරම් දිගු කාලයකි. කුෆුට කලින්ද පිරමීඩ තනා ඇති මුත් ඉදිකිරීම අතින් කුෆුගේ පිරමීඩ වඩාත් සාර්ථකය. කුෆුගේ මුනුබුරු කාලසීමාවට එන විට පිරමීඩ පොඩියටත් ඉන් පසුව සුවිශාල දේවස්ථාන දේව ප්‍රතිමා ආදියත් ගල් කැටයම් ආදියත් වැඩි වැඩියෙන් නිමවා තිබේ. ඒ බොහෝ නිර්මාණ ගල්වලින් තනා තිබෙන නිසා අදටත් ඇතැම් දේවස්ථානවල කැටයම් ආදිය ඉතිරි වී තිබේ.

මේ අතරින් මෙන්කරේ නමැති මුනුබුරු පිරමීඩය කුඩාම එකය. එහෙත් ඒ තුළ තිබූ ද්‍රව්‍ය ප්‍රමාණය වැඩිය. ඔහුගේ කාලයේදී වඩාත් විසිතුරු දේවස්ථාන නිර්මාණය කොට තිබේ. ඔහුගේ පිරමීඩය අනෙක් පිරමීඩ දෙක වැනි වුවත් එහි අභ්‍යන්තරයේ බඩු බාහිරාදිය වැඩිපුර තිබිණි. අද වන විට ඒවා ලන්ඩන් කෞතුකාගාරය, කයිරෝ කෞතුකාගාරය වැනි ස්ථානවල දැක බලාගැනීමට තිබේ.

පිරමීඩ තැනූ කාලයේ මිනිස් සමාජය දියුණුය. අවට සිදුකළ කැණීම් ආදියෙන් වඩාත් දියුණු ලෙස ජීවත් වූ ජන කොටසක් පිරමීඩ ආශ්‍රිතව ජීවත් වූ බව සොයාගෙන තිබේ. ඔවුහු ඒකරාශී වී රජුගේ මතු දියුණුව වෙනුවෙන් පිරමීඩ තැනුවා මෙන්ම ඔවුන් වෙනුවෙන් දේවස්ථාන ආදියද ඉදි කළහ. ඒ ඇතැම් දේවල් අදටද පුදුමයකි. ටොන් ගණනක් බර ගල් කුට්ටි එහා මෙහා කළ ක්‍රමය අදට පවා සිතා ගැනීමට අපහසුය. ඔවුන් ඇඳ ඇති චිත්‍ර, තනා ඇති මූර්ති ඉතිරිව ඇති නටබුන් ආදියෙන් පිරමීඩ යුගයේ ජීවිතය ගැන අල්පමාත්‍රික අදහසක් ගත හැකිය.

ගීසා පිරමීඩ සහ ඒ ආශ්‍රිත ඉතිහාසය යනු වෙනමම භාෂාවකි. ඒ පිරමීඩ තැනීම, ඊට හේතු වූ කරුණු, විස්මිත ඉංජිනේරු වාස්තු විද්‍යාත්මක හැකියාවන්, දැවැන්ත ශෛලමය නිර්මාණ ආදියේ අප දැනට සොයාගත් දේට වඩා අපට තේරුම් ගත නොහැකි දේ වැඩිය. එනම් පුරාණ ගීසා පිරමීඩ තැනූ ඊජිප්තු භාෂාව තවමත් අපිට නොතේරෙන දෙයකි.

[අමිල චතුරංග]

මාතෘකා