නිව්යෝර්ක් නගරයේ කෞතුකාගාරයක් හැදූ ලාංකික දියණිය ජූලියා

 ඡායාරූපය:

නිව්යෝර්ක් නගරයේ කෞතුකාගාරයක් හැදූ ලාංකික දියණිය ජූලියා

 

මම ඉපදුණේ නිව්යෝර්ක්වල. හැදුණේ බටහිර පරිසරයක. කතෝලික පාසලක අධ්‍යාපනය ලබපු මට හිතුණා ලංකාවේ සංස්කෘතිය මේ රටේ අයට පෙන්වන්න ඕන කියලා. මගේ තාත්තා තමයි නිව්යෝර්ක්වල පළමු ශ්‍රී ලාංකික අවන්හල ආරම්භ කළේ. එතනට එන අන්‍ය ජාතිකයන්ට අපේ රටේ අනන්‍යතාව පෙන්වන්න මම සුළුවෙන් කෞතුකාගාරයක් පටන් ගත්තා. මට අවශ්‍ය වුණා මගේ රටේ අභිමානය ලොවට පෙන්වන්න.”

එලෙස බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූයේ ජූලියා විජේසිංහ නම් ඇ‍ෙමරිකා එක්සත් ජනපදයේ උපත ලබා දැනට උසස් අධ්‍යාපනය හදාරන 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියකි.

විදේශයක වාසය කළද ඇය කුඩා කල සිටම සිය පියාගේ ආභාසය අනුව යමින් ශ්‍රී ලාංකික සංස්කෘතියට මුල්තැන දී කටයුතු කරන්නට වූවාය.

‘සැටන්’හි ශ්‍රී ලාංකික අවන්හලක් පවත්වාගෙන යන ජූලියාගේ පියා එම අවන්හල නිමවා ඇත්තේද ශ්‍රී ලාංකික හුරුවට මුල් තැන දෙමිනි.

එහි පැමිණෙන සියල්ලන්ට ශ්‍රී ලාංකික ආහාර වේලක් රස විඳින අතරම ලාංකේය චිත්‍ර සහ මූර්ති සම්බන්ධයෙන්ද අත්දැකීමක් ලබා ගත හැකිය.

මේ පරිසරය තුළ කුඩා කල සිට හැදී වැඩුණ ජූලියා අවන්හලට පැමිණෙන පුද්ගලන් එහි ප්‍රදර්ශනයට තබා ඇති නොයකුත් භාණ්ඩ කෙරෙහි දක්වන ආකර්ෂණයද නිරීක්ෂණය කළ බව බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

තමන් අධ්‍යාපනය ලබන පාසලේ ව්‍යාපෘති පැවරුමකට අනුව යමින් ශ්‍රී ලාංකික කෞතුක භාණ්ඩ සහ අනුරූ එකතු කිරීමට පෙලඹුණු ඇය, ඒවා නිව්යෝර්ක්හි ප්‍රදර්ශනයකට තැබීමට අදහස් කළාය.

"තාත්තා පුදුම වුණා මම මුලින්ම කෞතුකාගාරයක් ගැන අදහස කිව්වාම. තාත්තා මගෙන් ඇහුවා කොහොමද ඔයා මේක සැලසුම් කරන්නේ කියලා. මොකද මට එතකොට අවුරුදු 15යි. තාත්තා මට කිව්වා මුලින්ම ඔයා ලංකාව ගැන වගේම සංස්කෘතිය ගැන තවත් දැනුවත් වෙන්න කියලා. හැබැයි මට උපදෙස් දුන්නා මුලින්ම මේකට අවශ්‍ය කරන භාණ්ඩ තවත් ඒකරාශී කරගන්න කියලා."

සිය මිත්තණියට බෙහෙවින් ආදරය කරන ජූලියා තමන්ට වයස අවුරුදු තුන සපිරුණු මොහොතේ සිට සෑම වසරකම පාසල් නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණියාය.

කෞතුක භාණ්ඩ එක්රැස් කිරීමට කැමැත්ත

එලෙස පැමිණෙන අතරවාරයේ සිය අනාගත අභිලාසය සාක්ෂාත් කර ගැනීම සඳහා ඇය දැඩි කැපවීමකින් කටයුතු කළාය. අවස්ථා කිහිපයකදී ජාතික කෞතුකාගාරය නිරීක්ෂණය කළ ජූලියා විවිධ කාල පරාසයන්ට අාවේණික කෞතුක භාණ්ඩ ගැන ප්‍රාමාණික දැනුමක්ද ලබා ගත්තාය. එමෙන්ම දේශීය හස්ත කර්මාන්තය ගැන අධ්‍යයනය කර බොහෝ නිර්මාණ මිලට ගත් ඇය එම නිර්මාණ නිව්යෝර්ක් වෙත රැගෙන ගියාය.

 

දිවයිනට පැමිණි ඇතැම් අවස්ථාවන්හිදී පුරාණ රාජධානි පැවති ඓතිහාසික ස්ථාන රැසක සංචාරය කළ ඇය අනාගතයේ ආරම්භ කරන කෞතුකාගාරයට අවශ්‍ය දැනුමින් සන්නද්ධ වූ බව පැවසුවාය. එමෙන්ම අපනයන වෙළෙඳාම කෙරෙහි නැඹුරුවක් දක්වමින් තේ, පොල් සහ රබර් කර්මාන්ත මෙන්ම මුතු මැණික් කර්මාන්ත සම්බන්ධයෙන්ද අධ්‍යයනය කර කෞතුකාගාරයට පැමිණෙන්නන්ට ඒ සම්බන්ධයෙන්ද වැඩි දැනුමක් ලබා දිය හැකි ආකාරයේ නිර්මාණ බිහි කිරීමට තීරණය කර තිබිණ. අවසානයේදී 2017 වසරේ මාර්තු මස 27 වැනිදාට යෙදුණු ඇයගේ උපන් දිනයදා ජූලියා සිය අරමුණ සාක්ෂාත් කර ගනිමින් "Sri Lankan Art & Cultural Museum" නමින් සිය කෞතුකාගාරය විවෘත කළාය. සිය පියාගේ අවන්හලේ පහළ කොටස මේ සඳහා ඇය ප්‍රයෝජනයට ගෙන තිබිණ.

එතැන් පටන් තමන්ට වැඩි කාලයක් යොදා කෞතුකාගාරයේ දියුණුව වෙනුවෙන් කැපවීමට සිදුවූ බව ජූලියා ප්‍රකාශ කළාය. එමෙන්ම නිව්යෝර්ක්හි දිවි ගෙවන බොහෝ දෙනා තමන් ශ්‍රී ලාංකික කෞතුකාගරයක හිමිකාරියක ලෙස හැඳින්වීම නිහතමානී ආඩම්බරයකටද හේතු වූ බව ජූලියා පවසන්නීය.

නිව්යෝර්ක්හි පැවැත්වෙන විවිධ සංස්කෘතික උත්සව නියෝජනය කිරීමටද ඇයට ආරාධනා ලැබී තිබිණ. ලද හැම අවස්ථාවකදීම ඇය තම කෞතුකාගාරය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්‍ය ජාතිකයන් දැනුවත් කළාය. දිනෙන් දින මෙම ශ්‍රී ලාංකික කෞතුකාගාරය සම්බන්ධයෙන් නිව්යෝර්ක් නගරයේ වැඩි කතාබහක් ඇති වූ බව ජූලියා පවසන්නීය.

 

බොහෝ පිරිසක් එහි නිර්මාණ රස විඳීමට පැමිණි අතර ඇතැම් ශ්‍රී ලාංකිකයන් තමන්ට විවිධ කෞතුක භාණ්ඩ තෑගි වශයෙන් ලබා දීමට තරම් කාරුණික වූ බවද ඇය සිහිපත් කළාය. බොහෝ රටවල් තම නිර්මාණ එළිදැක්වීම සඳහා සංවිධාන කරන උත්සවවලට තමන්ට ආරාධනා ලැබුණු බව පවසන ජූලියා, එහිදීද රට සම්බන්ධයෙන් වැඩි දැනුමක් ඔවුන්ට ලබා දීමට තමන්ට හැකි වූ බවද පැවසූවාය.

අලුත්ම තැනක කෞතුකාගාරය ඉදිවෙයි

වසරක් ගතවීමටද මත්තෙන් ජූලියා සහ ඇගේ උත්සාහය බොහෝ ඇගයීමට පාත්‍ර විය. අවන්හලට දේශීය ආහාර සොයා පැමිණෙන පුද්ගලයන්ට අමතරව බොහෝ පිරිසක් දේශීය අනන්‍යතාව පිළිබඳව අධ්‍යයනය කිරීමට කදිම තෝතැන්නක් ලෙස සලකා කෞතුකාගාරය නැරඹීමට පැමිණ තිබිණ.

"එන්න එන්නම කෞතුකාගාරය දියුණු වුණා. ඉඩකඩ මදි වුණා. මොකද වැඩි පිරිසක් නරඹන්න එනවා. අලුතින් භාණ්ඩ එක් වුණා. ඉතින් මම කල්පනා කළා වෙන තැනකට ගෙනියන්න. මම ඒ අදහසත් තාත්තට කිව්වා. ඇත්තටම තාත්තත් ඒ අදහසින්ම හිටියා. ඒ වගේම මගේ උත්සාහය අගය කළ හැම දෙනාම මාව දිරිමත් කළා. අවසානයේ මම ඉකුත් වසර අග භාගයේදී මම මගේ කෞතුකාගාරය වෙනත් තැනක වඩා ක්‍රමවත් මෙන්ම නිර්මාණශීලීව යළි නිර්මාණය කළා." ජූලියා පැවසුවාය.

ඒ අනුව ස්ටැටන්හි කැනන් වීදියේ අංක 66 දරන ස්ථානයේ නව කෞතුකාගාරය ඉදි කෙරිණි. ශ්‍රී ලංකාව නියෝජනය කරන සියලු ආගම්, විවිධ ජාතීන්ට අයත් ඇඳුම් ආයිත්තම්, සංගීත භාණ්ඩ, ශිලා නිර්මාණ අනුරූ මෙන්ම කැටයම් නිර්මාණ මෙහි පැමිණෙන අයකුට දැකගත හැකි බව ඇය පවසයි. එමෙන්ම ජූලියා පවසන පරිදි ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව දැනුමක් ලබා ගැනීමටද මෙහි හැකියාව පවතී. නව තාක්ෂණික ක්‍රම මඟින් දේශීය අනන්‍යතාව සවිස්තරාත්මකව පැහැදිලි කිරීම මෙන්ම සිත් ඇදගන්නාසුලු ගෘහ නිර්මාණකරණය තුළින් කෞතුකාගාරයකට අවශ්‍ය ප්‍රමිතිය ලබාදීම බොහෝ නරඹන්නන් නිතර අගය කරන බව ඇය පවසන්නීය.

තමා වැනිම ඇමරිකා එක්සත් ජනපදයේ උපත ලැබූ බොහෝ දරුවන්ට සිය දෙමාපියන්ගේ මවු රටෙහි අභිමානය මෙන්ම ඉතිහාසය සම්බන්ධයෙන් දැනුමක් ලබා ගැනීමේදී මේ උත්සාහය අගැයීමට ලක්වන බවද ඇය පවසන්නීය.

ඇ‍ෙමරිකානු ජන සමාජයෙන් ඉහළ පිළිගැනීමක්

එමෙන්ම පාසල් වයසේදී මෙවැනි කාර්යයකට මුලපුරමින් එය සාර්ථක කර ගත් තරුණියක ලෙස ඇ‍ෙමරිකානු සමාජය තුළද තමන්ට වැඩි පිළිගැනීමක් ලැබී ඇතැයි ජූලියා පවසන්නීය. එරට ප්‍රධාන පෙළේ රූපවාහිනී, ගුවන් විදුලි නාලිකා මෙන්ම මුද්‍රිත මාධ්‍ය ඇයගේ මෙම උත්සාහය අගය කර තිබිණ.

මේ සියලු ප්‍රතිචාර මධ්‍යයේ තම කෞතුකාගාරයට ඇ‍ෙමරිකානු රජයේ පිළිගැනීම ලබා දිය හැකි ආකාරයක් සම්බන්ධයෙන්ද ඇය අවධානය යොමු කළාය.

"මට අවශ්‍ය වුණා ඇ‍ෙමරිකාවට පැමිණෙන සංචාරකයෙක් මුලින්ම පිරික්සුමට ලක් කරන රටේ සිත් ඇදගන්නා ස්ථාන ලැයිස්තුවට මගේ කෞතුකාගාරයේ නම ඇතුළු කරන්න. ඒක ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. මම උත්සාහ කළා. මම ඉල්ලීම් ඉදිරිපත් කළා. ගුණාත්මකභාවය වැඩි දියුණු කළා. අවසානයේ මම ජයග්‍රහණය කළා. ඒක මට වගේම මගේ රටට ආඩම්බරයක්. මගේ මේ උත්සාහය අද ජාත්‍යන්තර තත්ත්වයට පත්වීම පුංචි මම ලබපු ලොකු ජයග්‍රහණයක්." ඇය කීවාය.

ඒ අනුව නිව්යෝර්ක්හි සංචාරයට පැමිණෙන කාහට වුවද එරට රජය සංචාරක ආකර්ෂණීය ස්ථාන ලැයිස්තුගත කර ඇති වෙබ් අඩවියට පිවිස "Sri Lankan Art & Cultural Museum" නමින් ජූලියාගේ ලාංකික කෞතුකාගාරය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා ගත හැකිය.

වයස අවුරුදු තුනේ සිට ලංකාවට පැමිණෙමින් සිය මිත්තණිය සමඟ සතුටින් කාලය ගත කරමින් ජාත්‍යන්තරය ජය ගත්තද මෙවර ඇයට ලංකාවට පැමිණ එලෙස සතුටින් සිටීමට හැකියාව නොලැබිණ.

"ලංකාවේ මේ හැම තැනකටම මාව අරගෙන ගියේ මගේ අත්තම්මා. ඇය තමයි තාත්තා වගේම මට තිබුණ ශක්තිය. ඇය අපි අතරින් සමුගත්තා. මම මේ වසරේ ලංකාවට ආවේ ඇය වෙනුවෙන් අවසන් කටයුතුවලට සහභාගි වන්න. මම තවත් මේ කෞතුකාගාරය දියුණු කරනවා. ඒක ඇයටත් ආඩම්බරයක් වේවි. මට අවශ්‍යයි මුළු ලෝකයටම කියන්න ශත වර්ෂ ගණනාවක් පැරණි ඉතිහාසයක් හිමි රටක මම කොටස්කාරියක් කියලා ලෝකෙටම කියන්න," ජූලියා අධිෂ්ඨානශීලීව පැවසුවාය.

(BBC සිංහලසේවය ඇසුරිනි)
[කසුන් දිසානායක]

මාතෘකා