මාධ්‍යය නොදන්නා නිගර්හි බොකෝහරාම් | ඇස පාදන රැස


මාධ්‍යය නොදන්නා නිගර්හි බොකෝහරාම්

 ඡායාරූපය:

මාධ්‍යය නොදන්නා නිගර්හි බොකෝහරාම්

පසුගිය 17දා නිගර් රටේ අග්නිදිග ප්‍රදේශයේ චැඩ් විල්තෙර ටඋමර් නම් ග්‍රාමයේ හමුදා මුරපොළකට බොකෝහරාම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එයින් හමුදා භටයන් 4ක් මිය ගිය බව වාර්තා වෙයි.

නිගර් හි බොකෝහරාම් ත්‍රස්තයන් විසින් 2009 වසරේ සිට එල්ල කරන ලද ප්‍රහාරවලින් මේ වන විට 15,000කට අධික සංඛ්‍යාවක් මියගොස් එමෙන් සිය ගුණයකට අධික සංඛ්‍යාවක් අවතැන් වී තිෙබ්.

නයිජීරියානු නගරයකට බොකෝහරාම් ප්‍රහාර එල්ල වූ විට ලොව ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට එය හොඳ පුවතක් වන නමුත් යාබද රාජ්‍යවලට එම සංවිධානය කරන හානි එතරම් වැදගත් සේ සැලකෙන්නේ නැත.

ඉරාකය හා සිරියාව ඇතුළත් මැද පෙරදිග කලාපයේ ඉසිස් හෙවත් ඉසිල් ක්‍රියාත්මක වන්නා සේම බටහිර අෆ්‍රිකාවේ ක්‍රියාත්මක සන්නද්ධ ජිහාඩ් කණ්ඩායම බොකොහරාම්ය. පොදු වශයෙන් මෙය නයිජීරියාවේ ක්‍රියාත්මක සේ ප්‍රසිද්ධ නමුත් යාබද මාලි, චැඩ්, නිගර් සහ බෙනින් වැනි රටවලටද බලපෑම් ඇත.

ගිය වසරේ ජුලි මස 02 වැනිදා රැයේ නිගර්හි න්ගුඑලීවා නම් ගම වෙත පා ගමනින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් ගමේ වැඩිහිටියන්ට පහරදී තරුණයන් කිහිප දෙනෙකු ඝාතනය කොට ස්ත්‍රීන් සහ දරුවන්ගෙන් සමන්විත 39 දෙනකු පැහැරගෙන පලා ගියහ. ජනවාරි 18 දා ෆ්‍රාන්ස් 24 වාර්තාවක දැක්වෙන පරිදි ඒ වනතුරුත් ඔවුන් ගැන කිසිදු ආරංචියක් නොමැත. මේ සිද්ධිය මාධ්‍යවල පළ නොවිණි. ජනාධිපතිවරයා ඒ ගැන ප්‍රකාශයක් කළේ සිද්ධියෙන් මසකට පසුවය. ඉන් පසු සිය අලුත් අවුරුදු පණිවුඩයේ පවා ඒ ගැන සඳහනක් නොකළේය.

39 දෙනා පැහැර ගැනීමේ සිද්ධිය සමාජ මාධ්‍යජාල හරහා ලොව පුරා පතුරුවා හරින්නට ඒ ගමේ මිනිස්සු සමත් වූහ. ෆ්‍රාන්ස් 24 වාර්තාකරණයට එළැඹෙන්නේ ඒ ඔස්සේය.

එදා රැයේ ම එගම වෙසෙනා යමක්කමක් දන්නා මිනිස්සු සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කැර ගනිමින් මේ සිද්ධිය ප්‍රචාරය කළෝ ය. #JeSuisNguéléwa නමින් එහි ක්‍රියාත්මක වූ ඔවුහු විරෝධතා පුවරු සහ සිය අදහස් එමගින් ප්‍රචාරය කළෝය. නමේ අරුත ‘මම න්ගුඑලීවා මි’ යන්නයි. මේ නම ඔවුන් සකසා ගත්තේ JeSuisCharlie නමින් යුතුව සමාජ ජාල ඔස්සේ ක්‍රියාත්මක වූ ව්‍යාපාරය ඇසුරිනි. 2015 වසරේ ප්‍රංශයේ චාලි හෙබ්ඩෝ සඟරාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඒ නමින් යුත් ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක විය.

2014 වසරේ නයිජීරියාවේ චිබොක්හි බාලිකා පාසැලේ සිසුවියන් 276 දෙනෙකු බොකෝහරාම් සාමාජිකයන් විසින් පැහැර ගෙන යනු ලැබූ අවස්ථාවේ එය ලොව පුරා වේගයෙන් ප්‍රචාරය වූ අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට එය හොඳ පුවතක් විය.
ඒ සිද්ධියේදී සමාජ මාධ්‍ය හරහා Bring Back Our Girls නම් ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය. අද දක්වාත් ඔවුන්ගෙන් බහුතරය ආපසු පැමිණ නැත. ප්‍රකට මතය වන්නේ ඒ දැරියන් බොකෝහරාම් විසින් සිය කඳවුරුවල ලිංගික වහලියන් ලෙස යොදා ගෙන සිටින බවය.

#JeSuisNguéléwa ව්‍යාපාරය සම්බන්ධීකරණය කරන්නේ නිගර්හි කාකා ටඋඩා මමානෙ ගොනී නමැති තරුණ මානව හිමිකම් නීතිවේදීයෙකි. ඔහු මෙසේ කියයි:

‘සිද්ධියෙන් මාසෙකට පස්සෙ නිගර් ජනාධිපතිවරයා දේශනයකදී පැවසුවා අතුරුදහන් පුද්ගලයන් සෙවීමට සෑම පරිශ්‍රමයක්ම දරනා බව. එච්චරයි. ඊට පස්සෙ කිසිම බලධාරියෙක් ඒ ගැන කටක් හෙල්ලුවේ නෑ. දෙසැම්බර් 31දා පවත්වන ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු කතාවෙදිවත් ඒ ගැන කිසිවක් කීවේ නෑ. අප ජෙ-සුඉස්- න්ගුඑලීවා ව්‍යාපාරය, ඒ 39 දෙනා සමාජ මතකයෙන් ගිලිහී යාම වැළැක්වීමටයි.

ඒත් කලකට පසු අපි ඉන් ඉවත් වුණා. ශක්තියක් නැතිව දුවන්න බැරි බව අපට වැටහුණා. අපේ පණිවුඩයෙන් මිනිසුන් වෙහෙසට පත්වනවා පමණයි. අපට එය අවශ්‍ය නෑ.

ජනවාරි 08දා අප නැවතත් ඒ ව්‍යාපාරය දියත් කළා. එදාට ඔවුන් පැහැරගෙන ගිහිල්ලා දින 190ක්. මේ අතුරුදහන් පුද්ගලයන් ගැන කතා කරන්නට අපට අවශ්‍යයි. මේ නිගර් රටේ බොකෝහරාම් ක්‍රියාත්මක වන බව බොහෝ දෙනා දන්නේවත් නෑ. නයිජීරියාවේ චිබොක් පාසැලේ ගැහැනු ළමුන්ට වුණු දේ හැමෝම දන්නවා. ඒත් අපට වුණු දේ මිනිසුන් දන්නේ නෑ.’

ඔවුන්ගේ දුක් ගැනවිල්ල එබඳු ය.

මේ සිද්ධියෙන් පසු සම්පූර්ණ න්ගුඑලීවා ගමේ ම මිනිස්සු සිය ගේදොර හැර දමා පලා ගියහ. දැන් ඔවුහු සරණාගත කඳවුරුවල දිවි ගෙවති.

න්ගුඑලීවා ගම සහ එය පිහිටා ඇති ඩිෆා කලාපයේ දැන් ආරක්ෂක විධිවිධාන තර කොට ඇත. තර්ජන අඩු ලෙස දැනේනේ ය’යි වැසියන් පැවසූ බව වාර්තාවල දැක්වේ. එදා සිද්ධියේ දී පැහැරගත් ළමුන් අතරින් දෙදෙනෙකු ආපසු එවා ඇති බව දැන ගන්නට ලැබුණත් ආරක්ෂක හමුදාව ඔවුන් බාරයට ගෙන ඇත. ත්‍රස්තයන් ඒ ළමුන් අත කවර පණිවුඩයක් එව්වාද කියා තවම සිවිල් වැසියන් දන්නේ නැත.

බොකෝහරාම් ත්‍රස්තයන්ට එරෙහි ව නයිජීරියාවේ විශාල මෙහෙයුමක් දියත් වේ. නිත්‍ය නයිජීරියානු හමුදාවේ 130,000ක් ඉක්මවන සෙබළු සිටිති. ස්වේච්ඡා බල සේනාවේ සෙබළු 32,000කි. බහුජාතික හමුදාව 70,000කි. අමෙරිකානු උපදේශකයෝ 300ක් දෙනා එහි සේවය කරති. මීට අමතරව ඇෆ්‍රෙකාම් නමින් යුත් අමෙරිකානු රහස් මෙහෙයුමක් ද එහි ක්‍රියාත්මක ය. බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඊස්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය නයිජීරියාවේ සහායට සිටිති. එහෙත් බොකෝහරාම් සාමාජික සංඛ්‍යාව 20,000ටත් අඩු ය. අවුරුදු ගණනාවක් තිස්සේ මේ කුඩා ගරිල්ලා ඒකකය මැඩලන්නට මෙතරම් විශාල සෙබළ මුළුවලට නොහැකි වූයේ මන්ද යන්න අධ්‍යයනය කළ යුතු කාරණයකි.

වැදගත් කරුණ වන්නේ බොකෝහරාම්ට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ නයිජීරියාවේ පමණක් වීමයි. ඊට අනෙක් යාබද රාජ්‍යවල ද සහාය ලැබේ. එහෙත් ඔවුන්ගෙන් බැටකන යාබද රාජ්‍යවලට පිහිටට එන කෙනෙක් නැත. නිගර්. මාලි. චැඩ් වැනි රාජ්‍යවලට සිදුව ඇත්තේ එයයි.

නයිජීරියාවෙන් බැහැර චැඩ් විල ආසන්නයේ සිය කඳවුරක් පිහිටුවා ගැනීම සඳහා බොකෝහරාම් ඉව අල්ලමින් සිටින්නේ 2015 සිටය. ඒ අපේක්ෂාවෙන් ඔවුහු වරින්වර ප්‍රහාර එල්ල කරමින් සිටිති. මෙලෙස මිනිසුන් පළවා හැරිය හැකි නම් ඔවුන්ගේ ඒ ව්‍යායාමය සපල වන දවස වැඩි ඈතක නොවනු ඇත.

[එස්. නන්දලාල්]

මාතෘකා