මාධ්‍යයට වසන් වූ පලස්තීන අර්බුදයේ අනෙක් පැත්ත

 ඡායාරූපය:

මාධ්‍යයට වසන් වූ පලස්තීන අර්බුදයේ අනෙක් පැත්ත

ඊශ්‍රායෙල් හමුදාව අත්අඩංගුවට පත්වන පලස්තිනුවන්ට වධ හිංසා පැමිණවීම් සාමාන්‍ය සාධාරණ සිද්ධියක් ලෙස සලකා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිදා ඒවා වාර්තා නොකරන බව අල්-ජසීරාහි මාධ්‍යවේදිනී මේරියම් බාර්ගෞටි පෙන්වා දෙයි. ඒ පිළිබඳ උදාහරණ විශාල සංඛ්‍යාවක් ඇය ඉදිරිපත් කරන්නීය.

පසුගිය දෙසැම්බර් 06දා ඊශ්‍රායෙල් සොල්දාදුවන් විසි දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ෆවුසි අල්-ජුනයිදි නම් සොළොස් හැවිරිදි පලස්තීන පිරිමි දරුවකු අල්ලා ගෙන දෑස් බැඳ තළමින් පෙළමින් ඇදගෙන යන ඡායාරූපයක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල සංසරණය විය. මෙය සිදු වූයේ ඊශ්‍රායලය බලෙන් අත්පත් කැර ගෙන සිටින බටහිර ඉවුරේ හෙබ්රොන් නගරයේදීය. එසේ කරන්නට හේතුව ළමයා ඊශ්‍රායෙල් හමුදාව දෙසට ගල් ප්‍රහාරයක් එල්ල කිරීම යැයි චෝදනා නැගිණි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෙරුසෙලම ඊශ්‍රායෙල් අගනුවර බව පිළිගන්නේ යැයි ප්‍රකාශයට පත් කිරීමත් සමග ඇති වූ කැරලිකාර අවස්ථාවේ මේ අත්අඩංගුවට ගැනීම සිදු විය.  

ඡායාරූපය පළ වීමත් සමග එය සිව්දිග සංසරණය වූ අතර ඊශ්‍රායෙල් හමුදාව වෙත කෝපය සහ පිළිකුල පළ කෙරෙන දහස් ගණන් කමෙන්ටු පළ වී තිබිණි. ඊශ්‍රායෙල් හමුදාව ළමයා නිදහස් කළේ 27දා රැයේය.   

ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට එරෙහිව පලස්තිනුවන් පාරට බැස්ස බවත්, ඔවුන්ගේ හැසිරීම් ආවේගකාරී, වියරු, කෝපාවිෂ්ට, ප්‍රචණ්ඩ බවත් දැක්වෙන වාර්තා සහ ටයර් ගිනි තැබීම්, ඊශ්‍රායෙල් හමුදාව දෙසට ගල් ගැසීම් යනාදිය නිතිපතා පළ කළ සහ විකාශය කළ ලොව සුපතල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක මේ ඡායාරූපය පළ වී තිබුණේ නැත. මුහුණු පොතේ සංසරණය වීමෙන් පසුව පවා එය එක් හුදෙකලා අහඹු සිද්ධියක් ලෙස ගෙන නොසලකා හරින ලද බව සාමාන්‍ය අවබෝධයයි.  

ඊශ්‍රායෙල් හමුදාව අත්අඩංගුවට පත් වන පලස්තීනුවන්ට වධ හිංසා පැමිණවීම් සාමාන්‍ය සාධාරණ සිද්ධියක් ලෙස සලකා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිදා ඒවා වාර්තා නොකරන බව අල්-ජසීරාහි මාධ්‍යවේදිනී මේරියම් බාර්ගෞටි පෙන්වා දෙයි. ඒ පිළිබඳ උදාහරණ විශාල සංඛ්‍යාවක් ඇය ඉදිරිපත් කරන්නීය.  

දේශ සීමාවට ආසන්නව වෙසෙන පලස්තීනුවන් ඊශ්‍රායෙල් හමුදාව නිසා බොහෝ කම්කටොලුවලට මුහුණ දෙන බව ලොවම දන්නා බව ඇය පෙන්වා දෙන්නීය. ජුනයිදි එබඳු සීමා කිරීම් යටතේ සිටින පස් වන පරම්පරාව නියෝජනය කරයි. ඔහු අත්අඩංගුවට පත් වන්නේ බිස්කට් පැකැට්ටුවක් ගෙන ඒමට කඩේ යමින් සිටියදීය. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙබඳු දරුවන් ලක්ෂයකට අධික පිරිසක් ඊශ්‍රායෙල් හමුදා කඳවුරුවල රඳවනු ලැබ සිටිති. ඒවා රහසිගතය. තොරතුරු නොමැත. එබැවින් දරුවන් වෙනුවෙන්, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිදු සංවිධානයක් ඒවා ගැන කතා කරන්නේ නැත.  

බොහෝ මාධ්‍ය යෙරුසෙලම ඊශ්‍රායෙල් අගනුවර ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගින්නකට තෙල් විසි කිරීමක් ලෙස දක්වතත් ගින්නට හේතුව පසුගිය සැත්තෑ වසර පුරා එනුවර වාර්ගික ශුද්ධ කිරීමකට යටත් කිරීම බව පෙන්වා දෙන්නේ නැත. පලස්තීනුවන් කෝපයෙන් වියරුහුණු විරෝධතාකරුවන් සහ ප්‍රචණ්ඩකයන් ලෙස හුවා දක්වන්නට උත්සාහ කරන බටහිර මාධ්‍ය කිසිදා ඔවුන් ඒ තත්ත්වයට පත් කරන්නට හේතුකාරක ගැන කිසිවක් කියන්නේ, ලියන්නේ නැත.  

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් පලස්තීනුවන් ආවරණය කරනු ලබන්නේ ඔවුන් විරෝධතා ව්‍යාපාරවල නිරතව සිටින අවස්ථාවල සහ ඊශ්‍රායෙලුන් සමග කලකෝලාහලවලට එළැඹෙන අවස්ථාවල පමණි. බොහෝ විට ඒවා හැඳින්වෙනුයේ ප්‍රචණ්ඩත්වය ඔසොවා තැබීම් ලෙසය. වරින්වර මේ විරෝධතා පැන නැගීමට හේතු වන්නේ එක්කෝ ඊශ්‍රායෙල් හමුදාව රාත්‍රී කාලයේ පලස්තීන නිවෙස් සෝදිසි කිරීම් නිසාය; නොඑසේ නම් අනවසර ඊශ්‍රායෙල්  ජනපදිකයන් පලස්තීන ගොවි පොළවලට ප්‍රහාර එල්ල කළ විටය. ප්‍රචණ්ඩත්වය ඔසොවා තබන බව වාර්තා කරන මාධ්‍ය ඵලය මිස හේතුව නොකියයි. ඔවුන්ට වැදගත් වන්නේ පලස්තීනුවන්ගේ ප්‍රතික්‍රියාව පමණය. ඊශ්‍රායෙලුන්ගේ ක්‍රියාව වැදගත් නැත. පලස්තිනුවන්ගේ ආරක්ෂක පියවර ප්‍රවෘත්තියක් වූවාට ඊශ්‍රායෙලුන්ගේ ප්‍රහාරාත්මක පියවර ප්‍රවෘත්තියක් නොවේ.  

ප්‍රධාන ධාරාවේ පුවත්වල සඳහන් වනුයේ පලස්තීන කැරලිකරුවන් ඊශ්‍රායෙල් හමුදාව විසින් විසුරුවා හරින ලද බවයි. දෙරට අතර ඇති වර්ගවාදී තාප්පය ඒවාට වෙන් කිරීමේ බිත්තියයි. පලස්තිනුවන්ගේ යෙරුසෙලම ඊශ්‍රායෙලුන් අල්ලා ගෙන සිටින බව ඔවුන් නිකමටවත් සඳහන් කරන්නේ නැත.  

යෙරුසෙලමේ ජිලෝ වැනි ඊශ්‍රායෙලුන්ගේ අනීතික ජනාවාස හැඳින්වීමේදී මාධ්‍ය ඒවා අසල්වාසී වටපිටා යන පදය භාවිත කරමින් විස්තර කරයි. පලස්තීනුවන් වෙසෙන බටහිර ඉවුර ගැන කීමේදී මතභේදයට තුඩුදුන්, විවාදාපන්න, අර්බුදකාරී වැනි විශේෂණ පද භාවිත කෙරේ.   

ඊශ්‍රායෙල් පුරවැසි බව සහිත පලස්තිනුවන් ඔවුන්ට සරල ලෙස ඊශ්‍රායෙල් අරාබීන්ය. ගාසා නමැති ජනාකීර්ණ පලස්තීන නගරය ඊශ්‍රායෙලයට අයත් ලෙස පෙන්වා දෙන අතර බටහිර ඉවුර ඊශ්‍රායෙලය සිය රාජ්‍යය පිහිටුවන්නට අපේක්ෂා කරන භූමිය ලෙසින් හුවා දක්වනු ලැබේ.  

මාධ්‍ය දැඩි උත්සාහයක් ගන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ දෙසැම්බර් 06 දින ප්‍රකාශය කරුණු හරිහැටි නොදැනීම නිසා සිදු වූ පමා දොසක් බව පෙන්නවන්නටය. ඉස්ලාම් ලබ්ධිකයන්ට අයත් යෙරුසෙලම සියොන් ලබ්ධිකයන්ට පවරා දීම ට්‍රම්ප්ගේ අත්වැරැදක් නිසා සිදු වූවක් නොව ඉතිහාසය පුරාම ගලා ආවකි. මේ නිසා පලස්තීනුවන්ට එදිනෙදා ජීවිතයේ විඳින්නට සිදුව ඇති දුක්ගැහැට ගැන මාධ්‍ය කිසිදා කට හොල්ලන්නේ නැත.  

ජනාධිපති ට්‍රම්ප් යෙරුසෙලම පලස්තීනයේ අගනුවර ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කරන්නේ ඔහුට සිදු වූ අත්වැරැද්දක් ලෙස නොවේ. මේ සම්බන්ධ පනතක් අමෙරිකානු උභය මන්ත්‍රී මණ්ඩලය සම්මත කොට ඇත්තේ 1995දීය. අවුරුදු පහකට වරක් ජනාධිපතිවරයාට එය කල් දැමිය හැකිය. ජනාධිපති ට්‍රම්ප් මේ වර එසේ කල් නොදමයි. ඒ වෙනුවට ක්‍රියාත්මක වන්නට හරියි. ඉතින් එය අත්වැරැද්දක් වන්නේ කෙසේද? මීට හරියටම වසර සියයකට පෙර එවකට මේ කලාපයේ තීරණ ගැනීම සම්බන්ධව බ්‍රිතාන්‍ය යටත් විජිත බලවතාව සිටි ආතර් බැල්ෆෝ සාමි අතින්ද අත්වැරැද්දක් සිදු විය. ඒ අවස්ථාවේ ඔහු ප්‍රකාශයට පත් කළේ රටක් නැති මිනිසුන්ට මිනිසුන් නැති රටක් ලබාදීම යනුවෙනි. ඉස්ලාම් ආගම ගහන අරාබිකරයේ සියොන් ලබ්ධිය පැළ වූයේ එලෙසිනි. අද එය මහා රුකක්ව පරම්පරාගත පදිංචිකරුවන් අවහිර කරයි.  

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මේ කිසිවක් වාර්තා කරන්නේ නැත.! 

[එස්. නන්දලාල්]