චාවේස්ගේ පරම්පරාවෙන් සකර්බර්ග් යුගයට

 ඡායාරූපය:

චාවේස්ගේ පරම්පරාවෙන් සකර්බර්ග් යුගයට

හියුගෝ චාවේස් (නිවැරදි ස්පාඤ්ඤ උච්ඡාරණය ඌගෝ චාවේස්) සහ මාර්ක් සකර්බර්ග් යනු විවාදාත්මක චරිත දෙකකි. සෝවියට් දේශය බිඳ වැටී සමාජවාදී ලෝකය කඩා හැලී තිබියදී චාවේස් වෙනෙසුවේලාවේ දේශපාලන විප්ලවයක් දියත් කරමින් ධනේෂ්වර ලෝකයට අභියෝග කළේ ය​. කෙසේ වෙතත් ඔහුගේ අතිධාවනකාරී ක්‍රියා, ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ පසුකාලීන දේශපාලනික කටයුතු හේතුවෙන් ඔහු විවාදාත්මක චරිතයක් වූයේය. මේ අතර, ලෝකයේ සන්නිවේදනය සහ මිනිසුන් අතර සම්බන්ධතා විප්ලවීය වෙනසකට භාජනය කළ ෆේස්බුක් ආයතනයේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් එම ආයතනයේ විවිධ හැලහැප්පීම් සහ ආන්දෝලනයන් හේතුවෙන් විවාදාත්මක අයකු බවට පත් වී හමාර ය​.

මේ දෙදෙනා හාත්පසින් ම වෙනස් පසුබිම්වලින් පැමිණි, එමෙන්ම පරම්පරා දෙකකට අයත් දෙදෙනෙකි. සකර්බර්ග්ට මෙම මැයි මාසයට වයස අවුරුදු 34 ක් වන්නේය​. චාවේස් වර්තමානයේ ජීවත් වී නම් මෙම ජූලි මාසයේදී ඔහුට වයස අවුරුදු 64 ක් පිරීමට නියමිතව තිබිණ​.

කෙසේ වෙතත් මේ දෙදෙනා ම එක් වැදගත් කරුණකදී සමාන හැසිරීම් පෙන්නුම් කළෝ ය​. එය සාමාන්‍යයෙන් වගකිව යුත්තකුගෙන් දකින්නට නොලැබෙන ආකාරයේ හැසිරීමකි. ශ්‍රී ලංකාවේ අපට නම් අමුතුම ආකාරයේ සිදු වීමකි.

"වරද මගේ ය​"

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියන ගණනකගේ පුද්ගලික දත්ත සොරාගැනීමේ සිද්ධිය අරබයා මාර්ක් සකර්බර්ග් සහ ෆේස්බුක් ආයතනය දැඩි ලෙස විවේචනයට බඳුන් වන සමයක, සකර්බර්ග්ට ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය ඉදිරියේ කරුණු දැක්වීමට සිදු විය​. ඔහු එහිදී තම ආයතනය සිය පාරිභෝගිකයන්ගේ දත්ත ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ලෙස කටයුතු නොකළ බව පිළිගත්තේ ය​.

"අප අපගේ වගකීම පිළිබඳ අවශ්‍ය තරම් පුළුල් ලෙස දුටුවේ නැත​. එය මගේ වරදකි. ඒ පිළිබඳ සමාවන්න​. ෆේස්බුක් ආයතනය ඇරඹුවේ මම යි. එය මෙහෙයවන්නේ මම යි. එහි සිදුවන දෙයට වගකිව යුත්තේ මම යි."

සකර්බර්ග් පැහැදිලිව ම සිය වගකීමේ ප්‍රමාණය තේරුම් නොගත් බව සිදුව ඇති කරුණු අනුව පැහැදිලි ය​. මෙහිදී ඇතැම් විට ඔහුට වගකීම භාර ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති වන්නට ඇත​. නමුත් මෙහිදී වැදගත් වන්නේ ඔහු එය අවබෝධ කරගැනීම යි. ඇතැම් දේශපාලන නායකයන් සිය වරද පිළිගන්නේ වෙන විකල්පයක් නොමැති බව සක්සුදක් සේ පැහැදිලි වූ පසුව ය​. මීට වසර විස්සකට පෙර මොනිකා ලුවින්ස්කි අරභයා ඇතිවූ ආන්දෝලනයේදී බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය මේ සඳහා මෑත කාලීන ඇමරිකානු ඉතිහාසයේ දකින්නට ලැබෙන ප්‍රසිද්ධ ම සිදු වීමකි. 

මෙහිදී වැදගත් ම කරුණ වන්නේ සකර්බර්ග් සිය ආයතනයේ අනෙකුත් අය කෙරෙහි වගකීම පැටවීමෙන් වැළකී සම්පූර්ණ වගකීම තමන් භාර ගැනීම ය​.

"මේ වතාවේ"

1992 පෙබරවාරි 3 වනදා නින්දට ගිය වෙනෙසුවෙලා වැසියන් ඊළඟ දිනයේ පිබිදුණේ බලාපොරොත්තු නොවූ සිද්ධියක් දැකීමටය. 4 වනදාට එළිවන පාන්දර, රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් දියත් වී තිබුණි. 

මෙම කුමන්ත්‍රණයේ නායකත්වය ගත්තේ එතෙක් කල් වෙනෙසුවෙලාවේ අප්‍රකට චරිතයක් වූ, පැරෂුට් බලකායේ නිලධාරියෙකි. ඔහු ලුතිනන් කර්නල් හියුගෝ චාවේස් නම් විය. ඔහුගේ වීරයා වූයේ දකුණු ඇමරිකාවේ "විමුක්තිදායකයා" හෙවත් සයිමන් බොලිවාර් ය. බොලිවාර් බලාපොරොත්තු වූ ආකාරයේ එක්සත් සමාජයක් ඇති කිරීම චාවේස්ගේ බලාපොරොත්තුව විය.

චාවේස් කුමන්ත්‍රණය දා රැඳී සිටියේ අගනුවර වූ කරාකස් හි ය​. නගරයේ හමුදා කැරැල්ල අසාර්ථක වූ අතර පෙබරවාරි 4 වනදා උදෑසන 7 වනවිට ඔහු යටත් වූයේ ය​. උදෑසන 10 වනවිට චාවේස් ආරක්ෂක අමාත්‍යාංශය වෙත රැගෙන යන ලදී. එහිදී ඔහු දැනගත්තේ පිට පළාත්වල, විශේෂයෙන් ම මැරකේ නගරයේ, සගයින් තවමත් සටන් මෙහෙයවන බවයි. 

තමා මැරකේ නගරයේ සිය අනුගාමිකයනට සෘජුවම​ අමතා යටත් වන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාව චාවේස් විසින් ඉදිරිපත් කෙරු‍ෙණ් මේ අවස්ථාවේය. නමුත් නගරයට වූ දුරකථන මාර්ග විසන්ධි වී තිබිණ. එවිට චාවේස් ගුවන්විදුලිය ඔස්සේ ඔවුන් ඇමතීමට යෝජනා කළේය. ඔහුගේ පෙර පිනකට මෙන් රූපවාහිනිය වඩා සුදුසු බවට එහි හුන් හමුදා නිලධාරීන් අතුරින් අදහසක් යොමු විය. ආරක්ෂක ඇමතිවරයා වූ ඔචොආ ඇන්ටිච්, ජනපති පෙරේස් අමතා ඒ සඳහා අවසර පැතීය. පෙරේස් නියෝග ක‍ෙළ් චාවේස්ට මාංචු දමා සිරකරුවකු ලෙස ඉදිරිපත් කිරීමටත්, ඔහුගේ කතාව කලින් ලියාගනීමටත් ය. නමුත්, චාවේස් ඒ එකදු කොන්දේසියකට හෝ එකඟ වූයේ නොවේ. පරාජිත හැඟීමෙන් ඔහු දැඩි ලෙස පීඩා වින්ද නමුත් ඒ බව පෙන්වීමට ඔහුට අවශ්‍ය නොවීය. ජාතිය ඉදිරියේ පෙනී සිටීමට ලැබෙන මේ අවස්ථාවේ ඔහු හැකි තරම් ගාම්භීර ලෙස ජනතාව අබියස පෙනී සිටීමට අදිටන් කරගත්තේය. 

මතුව තිබුණ තත්ත්වයෙහි බැරෑරුම්කම සලකා ආරක්ෂක අංශ ඔහුගේ ඉල්ලීමට එකඟ වූහ. මනාව සැරසුණ චාවේස් රූපවාහිනී කැමරා ඉදිරියේ පෙනී සිටියේය​. ඔහු සිය අනුගාමිකයන් අමතා කළ තත්පර 72 ක කතාව ඓතිහාසික එකක් වනු ඇතැයි එවිට ඔහුට නොසිතෙන්නට ඇත​.

ඔහු එහිදී මෙසේ පැවසී ය​.

“මේ පණිවිඩය ඔබට දෙන කමන්ඩන්ටේ චාවේස්ගේ හඬට ඇහුම්කන් දෙන්න. කරුණාකරලා, යළි සිතා බලා, අවි බිම තබන්න. මොකද, අගනුවරදී අපට රාජ්‍ය බලය අල්ලා ගැනීමට නොහැකි වූ නිසාත් ඊට අවස්ථාවක් නොමැති නිසාත්. සහෝදරවරුනි, ඔබ වෙත එන මේ සහයෝගීතාවයේ පණිවිඩය අසන්න. මා ඔබේ පක්ෂපාතීත්වයටත්, නිර්භීතභාවයටත්, නොමසුරු ආධාරයටත් සදා ණය ගැතියි. දේශය සහ ඔබ අබියස මා මේ බොලිවාරියානු ව්‍යාපාරය සඳහා පූර්ණ වගකීම භාර ගන්නවා. බොහොම ස්තූතියි!”

තමන් මවිතයට පත් කල කුමන්ත්‍රණයේ නායකයා, තමන් ඉදිරියේ බොහෝ ගාම්භීර ආකාරයෙන් පෙනී හිඳිමින්, කුමන්ත්‍රණයේ අසාර්ථකත්වය පිළිබඳ​ වගකීම භාර ගනු දුටු වෙනෙසුවෙලා වැසියෝ පුදුමයෙන් ගල් ගැසුණහ. රටේ බොහෝ දේ හරි ආකාරව සිදු නොවෙද්දී පවා, තමන් අතින් වූ වරදකට වගකීම භාරගත් දේශපාලකයකු ඔවුන් ඉන් පෙර දැක තිබුනේ නැත. නමුත් එම පෙබරවාරි මස 4 වනදා උදෑසන ඔවුන් ඉදිරියේ පෙනී සිටි තරුණ හමුදා නිලධාරියා සිය අසාර්ථකත්වයට වගකීම භාරගත්තේ, තමා අනෙක් දේශපාලකයන්ට වඩා වෙනස් බව පසක් කරමිනි.

චාවේස් වීරයකු වූයේ මෙම සිදුවීම හේතුවෙනි. එමෙන් ම ඔහු නොදැනීම පිට කළ "මේ වතාවේ" (ස්පාඤ්ඤ බසින් Por Ahora) යන වචන දෙක ජනතාවට බලාපොරොත්තුවක් ගෙන දුන්නේ ය​. 1998 දී චාවේස්ගේ ජනාධිපතිවරණ සටන් පාඨය වූයේ ද මෙම වචන දෙකයි. තමන් නායකත්වය දුන් යමක් අසාර්ථක වීමෙන් පසු එහි වගකීම අන් අය මතට පැටවීම වෙනුවට එය තමන් ම භාර ගැනීම චාවේස් සහ සකර්බර්ග් දෙදෙනා ම අපේ කාළයේ වීරයින් බවට පත් කිරීමට හේතු වූයේ ය​. මේ විශේෂිත ගුණය හේතුවෙන් වෙනස්වන වෙනෙසුවේලාවට නායකත්වය දීමට ජනතාව විසින් චාවේස් තෝරාගන්නා ලද්දේය​. ඇතැම් විට සකර්බර්ග් ද බලාපොරොත්තු වනු ඇත්තේ ඉතිහාසය විසින් ඔහුට සාධාරණත්වයක් ඉටු කරනු ඇත යන්න යි.

[චාමර සුමනපාල]