ගුරු තරුව

 ඡායාරූපය:

ගුරු තරුව

ජයලත් මනෝරත්නයන් නිර්මාණය කළ නාට්‍ය අතුරින් විශිෂ්ට නාට්‍යයක් වශයෙන් ‘ගුරු තරුව’ වේදිකා නාට්‍ය පෙන්වා දිය හැකිය. 1996 ලුම්බිණි රඟහලේ ප්‍රථම වරට වේදිකාගත වූ ගුරු තරුව වේදිකා නාට්‍ය ඉන් ඉක්බිතිව දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂක ආකාර්ෂණය රඳවා තබා ගැනීමට සමත් විය. මනෝ අප අතරින් නික්ම ගියද ඔහු නාට්‍ය මඟින් ප්‍රකට කළාවූ දර්ශනය, චින්තනය, දේශපාලනික දැක්ම, ජීවිතය පිළිබදව හෙළන්නාවූ දයාද්‍ර බැල්ම කිසි ලෙසකින් අමතක කළ නොහැකිය.

සුසාදිත නාට්‍ය ආකෘතිය වෙනුවට වාර්තා රංගය දේශීය වේදිකාවට හඳුන්වා දුන් දයානන්ද ගුණවර්ධනයන්ගේ ආභාසය ගනිමින් ‘ගුරු තරුව’ ඉදිරිපත් කර ඇත්තේද වාර්තා රංගයේ ශෛලියෙනි. මනෝරත්නයන්ගේ සෙසු නාට්‍යවල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වූ නාට්‍ය පෙළහි අන්තර්ගත සාහිත්‍යමය අගය මෙම නිර්මාණයේද සුරක්ෂිත වී තිබේ. සරච්චන්ද්‍රයන්ගෙන් පසුව දේශීය රංගය සකස්විය යුත්තේ කෙසේදැයි සොයා ගිය ගමනෙහි ඉදිරියෙන්ම සිටින්නේ මනෝරත්නයන්ය. ඔහු විසින් නිපදවන ලද සියලුම නාට්‍ය ස්වතන්ත්‍ර වූ අතරම කලාත්මක ගුණයෙන්ද දේශපාලනික අර්ථයෙන්ද පොහොසත්ය. නාට්‍ය ශරීරයේ මතුපිටින් වූ සෞන්දර්ය සේම, නාට්‍ය ශරීරිය ඇතුළතින් කඩාහැලෙන මහා ඛේදවාචකයක් මනෝරත්නයන්ගේ නාට්‍යයන්හි නිරතුරුවම දැකිය හැකිය. ‘ගුරු තරුව’ නාට්‍යයටද එම ලක්ෂණය පොදුය. සොකරි, කෝලම්, නාඩගම්, ශාන්තිකර්ම, නූර්ති, ටීටර් මිනර්වා, ජනකවි, ජනශ්‍රැති ආදී සකල කලාවන්ගේ ආභාසය ගනිමින් මනෝටම ආවේණික නිර්මාණයක් කිරීමට නිරතුරුවම හෙතෙම සමත්ය. සංදේශ කාව්‍යයන්ගේ ආභාසය ගනිමින් රසවින්දනාත්මකව නාට්‍ය නිමවා තිබුණත් එහි අභ්‍යන්තරයෙන් සාකච්ඡා කරන්නේ සමාජයක් වශයෙන් අප ගමන් කරමින් හිදින්නා වූ ඛේදවාචකයයි.

සමාජයක් වශයෙන් පෝෂණය වීමට සාහිත්‍ය කොතරම් දුරට ඉවහල් වන්නේද යන්නත් සාහිත්‍ය විෂය පාසල් පද්ධතියෙන් ඉවත් කිරීම නිසා සාහිත්‍ය ගුරුවරයාද පාසලෙන් පිටමං කිරීමත් “ගුරු තරුව” වේදිකා නාට්‍යයෙන් නිරූපණය වේ. උදේ සිට රාත්‍රිය දක්වාම ගුවන්විදුලියේ හා රූපවාහිනියේ පිරිත් දේශනා, ධර්ම දේශනා පවත්වනු ලැබූවද සමාජයක් වශයෙන් ගමන් කරන්නේ සුවඳ වහනය වන ගමනක් නම් නොවේ. සෑම ආයතනයක්ම පිරිහී යන විට කලාවත් කලාකරුවත් සාහිත්‍යකරුවත් තමා අතින්ම සියදිවි හානි කරගනිමින් හිඳියි. එහෙත් කොතරම් අභියෝග ආවත් මනෝගේ කලාව හෝ මනෝගේ කලා භාවිතාව අපහරණය වූයේ නැත. ‘ගුරු තරුවෙහි’ වූ සාහිත්‍ය ගුරුවරයාගේ මනෝකායත් මනෝගේ මනෝකායත් එකක් ලෙස පෙනෙන්නේ ඔහු අප අතරින් නික්ම ගිය පසුවයි. ‘ගුරු තරුවෙහි’ වූ සාහිත්‍ය ගුරුවරයාට සේම මනෝටත් පිරවිය නොහැකි ඉඩක් සාදා නිහඬවම නික්ම යන්නට සිදුවිය.

පෙර සැළලිහිණියේ කවි, ජනකවි, අන්දරේගේ කවි, ගජමන් නෝනාගේ කවි, ගී සිංදු රසවත්ව ගායනා කළ සාහිත්‍ය ගුරුවරයා අද දින පාසලේ දක්නට නැත. වේදිකාවේද නැත. ප්‍රේක්ෂකයා මනෝරංජනය කළ සාහිත්‍ය ගුරුවරයා අද පාසලේ නැත. මනෝද වේදිකාවේද නැත.

රෝස මල් අඳිමින් සුවඳ පිරුණු පෙම් හසුන් ලියූ පෙම්වතුන් පෙම්වතියන් අද නැත. අද සිටින්නේ මැසජ් පෙම්වතුන්ය. මැසේජ් මඟින්ම ප්‍රේමය ආරම්භ කොට, මැසේජ් මඟින්ම විවාහ වී, මැසේජ් මඟින්ම දික්කසාදයද කර ගනී. ප්‍රේමය නිසා හෝ විභාගය අසමත් වීම නිසා හෝ බොහෝ පිරිසක් සිය දිවි හානි කරගනිමින් හිඳිති. මංමාවත්වල රථයෙන් ගමන් බිමන් යන්නේද පා ගමනින් සරන්නේද උන්මත්තකයන් ලෙසින්ය. “සාහිත්‍ය කන්නද? ” කියා ඇසූ සමාජයක සාහිත්‍ය ගුරුවරයාට කාර්යයක් නොමැති විය. එහෙත් රසවින්දනයක්, වින්දනයක් නොමැති සමාජයක සාහිත්‍ය ගුරුවරයාගේ මෙහෙය වෙනදාටත් වැඩියෙන් අද දැනෙමින් තිබේ. ගුරුතරුව නාට්‍යයෙන් ධ්වනිත කරන්නේ එම ඛේදයයි.

මෙම නාට්‍යයෙහි වඩාත් රස වින්දනාත්මක අවස්ථාවක් වන්නේ ටිකිරි බණ්ඩාර නම් දිළිඳු දරුවා සොරකු ලෙසින් නම්කරන අවස්ථාවයි. එක පාසලක් ආරම්භ කරන විට සිරගෙවල් දහසක් වැසී යන බව ප්‍රසිද්ධ කියමනකි. එහෙත් පාසලෙන් සිදුකරන්නේ විෂය කරුණු වනපොත් කරමින් විභාග ඉලක්ක කර ගත් අජානීය අශ්වයන් බිහිකිරීම පමණක් බවට වර්තමාන අධ්‍යාපනය පත්වී අවසන්ය. දරුවන්ගේ ජීවිතවලින් වැඩි කොටසක් ගෙවී යන්නේ ටියුෂන්වලට. ගුරුවරයාද කරක් ගසමින් හිඳින්නේ ටියුෂන් අසබඩය. විභාග මත යැපෙන සමස්ත අධ්‍යාපන ක්‍රමයම වෙනස් නොවී උමතු බවට පත්වූ සමාජය වෙනස් කරගත නොහැකිය. එසේ නොවනතාක් සාහිත්‍ය ගුරුවරයාගෙන් පාසලට ප්‍රයෝජනයක් නොමැත. සාහිත්‍ය ගුණ නොහඳුනන, කලාවෙහි ගුණ නොහඳුනන සමාජයකට මනෝලා වැනි උතුම් මිනිසුන්ගෙන්ද උතුම් කලාකරුවන්ගෙන්ද ප්‍රයෝජනයක් නොමැත. එබැවින් බොහෝ පිරිපත හිත දරන් මනෝ, නුබ පිටව යාම හොඳය. අප සරච්චන්ද්‍රයන්ගේ වචනවලින්ම මනෝට සමුදෙමු.

“...තව කල්දමමින් කවදාහරි යන්න එපායැ. මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්. නොගියොත් යළිත් ආ නොහැකියි. යාම හොඳය. ගොස් ඊමත ්හොඳය. ලොව ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය...”

[ගාමිණී බස්නායක]

News Order: 
1
මාතෘකා