තාක්ෂණික සංස්කෘතිය

 ඡායාරූපය:

තාක්ෂණික සංස්කෘතිය

අද වන විට මානවයාගේ සාදාචාරාත්මක චර්යාවේ සීමා මායිම් පිළිබඳ වඩාත් කතා බහට ලක්වෙමින් ඇත. චාර්ල්ස් ඩාවින්ගේ පරිණාමීය ක්‍රියාවලිය පිළිගනිමින් වනසර වානරයකුගේ සිට බුද්ධියෙන් ඉහළ මානවයකු දක්වා අප වර්ගයා පරිණාමය වූ බව අප විශ්වාස කළද ඇතැම් මානව ක්‍රියාකාරීත්වයන් නිසා එම පරිණාමීය ගමන තුළ අත්නොහරින ලද වනසර ගතිපැවතුම් මෙන්ම මනාව මනස තුළ තවමත් හඳුනානොගත් අඳුරු කලාපද මානවයා තුළ ශේෂ වී තිබෙන බව තේරුම් ගැනීමට හැකිය. එනමුත් තමවමත් මිනිසුන් වනචාරීද? එසේත් නැතිනම් මානව මුතුන් මිත්තන් තම වනචාරී ස්වාභාවයෙන් මිදුනේ කවදාද? වෙනත් වචනවලින් පැහැදිලි කළොත් මානවයන් ගෘහාශ්‍රිත කිරීම සඳහා මානව පරිණාම ඉතිහාසය තුළ ඇති වූ සංක්‍රාන්තිය හෝ විභවය කුමක්ද? යන ගැටලු අප තුළ පැනනඟියි.

මුළු සමාජයකම නිරුවත මිනිසා විසින්ම නිර්මාණය කරන ලද මෙවලමක් වන දුරකථනයක් මඟින් කොට්ට උරයක් සේ ගලවා පෙන්වීමට හැකිව තිබුණද මිනිසා අන් සත්ත්ව වර්ගයාගෙන් වෙන්වන්නේද ඔහු සතු “ මෙවලම් තැනීම සහ භාවිතය” යන ශක්‍යතා නිසාය යන්න අප අවබෝධ කොට ගත යුතුය.

අදින් වසර මිලියන 3.3කට පෙර සිටම මානවයන් විසින් මෙවලම් තැනීම සහ භාවිත කිරීම කළ බව මේ වන විට ස්ථීර වශයෙන්ම සොයාගෙන ඇත. මිනිසා විසින් මුලින්ම තනන ලද මෙවලම් වශයෙන් ඉතිරි වී ඇත්තේ ඔහු විසින් විවිධ පාෂාණ භාවිත කොට තැනූ ශිලා මෙවලම්ය. නමුත් මෙවලම් භාවිත කරන්නේ මානවයන් පමණක්ම නොවේ. චිම්පන්සීන් වැනි මානව ගණයට අයත් නොවන ප්‍රිමාටයන්ද ගල් භාවිත කොට ඇට වර්ග තලා ගැනීම ආදිය සිදුකරයි. එසේ නම් වනචාරීව සිටින වනසතුන්ද දැනටත් විවිධ මෙවලම් භාවිත කරන්නේ නම් මානවයා මෙවලම් භාවිතයට හුරු වීම එකී වනචාරී ස්වභාවයෙන් මිදී යෑමක් සේ සැලකිය හැකිද? එහෙත් වැදගත් කරුණ නම් මෙවලම් භාවිතයටත් වඩා මෙවලම් තැනීමයි. එමෙන්ම කැඩුණු මෙවලම් නැවතත් භාවිත තත්ත්වයට ගැනීමයි. චිම්පන්සීන්ට මෙය කළ හැකිද? චිම්පන්සීන්ට ප්ලයිස්ටොසින මානවයන් කළාක් මෙන් සිතා මතා ඉතා සංකීර්ණ ශිලා මෙවලම් තනන්නට නොහැකිය. එවන් ක්ෂිතිජයකදී මානව වර්ගයා සහ අන් සත්ත්ව වර්ගයාගේ බෙදුම් රේඛාව පැහැදිලිව පෙනෙන්නට පටන් ගනියි.

තවද අදින් වසර මිලියන 2.5කට පෙර සිටි අප මුතුන් මිත්තන් අතුරින් ඔස්ට්‍රොලොපිතිකස් වර්ගය සහ ආද්‍ය හෝමෝසේපියන් වර්ගය මාවත් දෙකක ගමන් කරමින් ඔස්ට්‍රොලොපිතිකස් ගණය ශරීර ප්‍රමාණයෙන් වැඩෙමින් තම වානර දිවිය අත්නොහැරි අතර හෝමෝ ගණය මොළ ධාරිතාව ක්‍රමක්‍රමයෙන් වර්ධනය කර ගනිමින් අනාගතය කරා පියමැන්නහ. කොටසක් සුපුරුදු කොළ අඹරණ යන්ත්‍ර බවට පත්වෙමින් වනය අතනොහැරි අතර අනෙක් කොටස දෙපයින් නැඟී සිට අප්‍රිකාවේ සිට දකුණු දිගින් මධ්‍යධරණී ප්‍රදේශය, ආසියාව හරහා ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කළ දියුණු මානවයකු බවට පත්වීමේ විභවයක් දැරුවේය. මෙයට සමාන්තරව ඔවුන්ගේ මෙවලම් තැනීමේ නිපුණත්වයද වර්ධනය විය.

නමුත් පුරාවිද්‍යාත්මක දත්ත වාර්තාව මඟින් හෙළිදරව් කරනුයේ මහා ශිලා යුගය පුරාවට ශිලා මෙවලම් තාක්ෂණය යම් ස්ථිතික ස්වාභාවයක් ගත් බවයි. එනම් වසර මිලියන 1.5ක් තිස්සේ මානවයන් සෑදුවේ එකම ආකාරයේ මෙවලම් ගොන්නකි. සුළු වෙනස්කම් පැවතියද සැලකිය යුතු මට්ටමේ ඒවා නොවේ. එහෙත් ඉතා ළංව සූක්ෂ්මව බලද්දී නව්‍යකරණය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවත ඇති බව පෙනෙන කරුණකි. පැහැදිලි වෙනස්කම් දැකගත හැක්කේ මධ්‍ය ශිලා යුගයේදීය. මෙම තාක්ෂණික සංක්‍රාන්තියට පුරාවිද්‍යාඥයන් විසින් විවිධ මත පළ කරනු ලැබ ඇත. ඒ සඳහා සකස් වූ සුවිශේෂී මානව මොළයක් නොමැතිව එම නිර්මාණ කිසිවක් කළ නොහැකි බව අපට අවබෝධ වන කරුණකි. එමෙන්ම මානවයන් සතු වූ ප්‍රජානාත්මක ධාරිතාව එනම්, අප වර්ගයාගේ නවෝත්පාදනයට ඇති සුවිශේෂී හැකියාවේ පරිණාමීය ඉතිහාසය සොයාගත හැක්කේ ශිලා මෙවලම් අධ්‍යයනය කිරීමෙනි.

පුරාවිද්‍යාත්මක දත්ත වාර්තාවක් තුළ එහි පවතින දීර්ඝකාලීන පැවැත්ම සහ පුද්ගල තාක්ෂණික ක්‍රියා පිළිබඳ සාක්ෂි සපයන නිසා ශිලා මෙවලම් ප්‍රාග් ඓතිහාසික සහ පුර්ව නූතන මානව මනසේ ශක්‍යතා පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ මූලාශ්‍රයක් වශයෙන් භාවිත කරයි. ශිලා මෙවලම් මඟින් එහි නිර්මාතෘවරුන්ගේ මානසික ශක්‍යතා පිළිබඳ පුළුල් චිත්‍රයක් ලබා නුදුන්නද එමඟින් එක්තරා දුරකට ඔවුන් සතු වූ ශක්‍යතා දර්ශනය කරයි. රුසියානු මනෝ විද්‍යාඥයකු විසින් හඳුනාගත් පරිදි මානව මෙවලම් භාවිතය ‘ප්‍රායෝගික ඥානය’ හෝ තාක්ෂණික චින්තනය සමඟ ප්‍රජානාත්මක සහ සංකේතීය ක්‍රියාවලි සමඟ ඉතා සමීප මුහුවීමක් පවතින බව අනාවරණය කළේය. නිපුණ තාක්ෂණික ක්‍රියාකාරීත්වය සඳහා මානවයන් සතු ධාරිතාව මානව මනස තුළ ඇති කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර එහි ඇතැම් විට සමස්ත මානව වර්ගය අන් සත්ත්වයන්ගෙන් වෙන් කොට දක්වන සංකේතීය මුද්‍රාවද වෙයි.

මෙවන් මානව තාක්ෂණික භාවිතාවේ පරිණාමීය ඉතිහාසය අවබෝධ කර ගනිමින් අප සමාජය දෙස බලන විට ජීව විද්‍යාත්මක පරිණාමීය ක්‍රියාවලිය කෙසේ වෙතත් සමාජ පරීණාමය මඟින් අප ශ්‍රී ලාංකිකයන්ට තාක්ෂණික ප්‍රබුද්ධත්වයක් අත්පත් කර දුන්නේද යන පැනය ප්‍රබලව මතුවෙයි. එහිදී අප සමාජය තාක්ෂණය සමඟ නිතැතින්ම බද්ධව පවතින තාක්ෂණික සංස්කෘතිය (techno-culture) මඟහැර තාක්ෂණික භාවිතයට පමණක් හුරු වී ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. එයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එකී තාක්ෂණික මෙවලම් අප සමාජය තුළ නිර්මාණය නොවු දේ නිසාය. යම් තාක්ෂණික මෙවලමක් සමඟ එයට අනන්‍ය සංස්කෘතියක්ද බිහි වෙයි. දුරකථන සමඟ එකී මෙවලම භාවිතයට අදාළ සංස්කෘතිය සහ එහි සීමාවන්ද බිහි වුවද අප සමාජය මඟින් වැළඳගත්තේ එකී මෙවලම පමණි. මෙවන් පසුබිමක තාක්ෂණයට අනන්‍ය එකී සංස්කෘතික භාවිතයට හුරු වෙනතුරු අප සමස්ත සමාජයම මානව සංවර්ධන දර්ශකයේ පහළ අඩියකම රැඳී සිටීම නොවැළැක්විය හැකි කරුණකි.

News Order: 
1
මාතෘකා