රන්ජන් leaks සහ ස්වා-දීන කොමිෂන් සභා

 ඡායාරූපය:

රන්ජන් leaks සහ ස්වා-දීන කොමිෂන් සභා

යහපාලන ක්ෂමාලාපකයන් (apologetics) විසින් පසුගිය යහපාලන රජයේ පැවැත්ම සාධාරණීකරණය කිරීමට දැක්වූ ප්‍රධානම කාරණයක් නම් ඒ පාලනය යටතේ සිදුවූ ව්‍යස්ථාමය ප්‍රතිසංස්කරණ මඟින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූවාය යන්නය. ආර්ථිකය කඩා වැටුණත් ආරක්ෂාව දුර්වල වුණත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුවූ නිසා එකී පාලනය බලයට ගෙන ආ දේශපාලන පරිවර්තනය සාධාරණීකරණය කළ හැකිය යන්නයි එහි ඇති මූලික තර්කය. මේ තර්කය අභියෝගයට ලක්වන සිදුවීමක් පසුගිය සතියේ සිදුවිය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සන්තකයේ තිබුණු හඬපට සමාජගත වීමත් සමඟ 2015 සිදුවූ යහපාලන පෙරළිය සහ එයින් පසුව සිදුවූ 19 සංශෝධනය මඟින් සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුවූයේය යන මතයට බරපතල අභියෝගයක් එල්ල වෙයි. මේ හඬපටවලින් විනිසුරුවන් සහ පොලිසිය සමඟ එකල පැවති දේශපාලන අධිකාරිය ඉතා කිට්ටු සම්බන්ධයක් තිබූ බව සහ දෙපිරිස අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කර ගත් බවත් තහවුරු වෙයි. මේ හඬපට ගැන රන්ජන් මන්ත්‍රීවරයාට හෝ අදාළ විනිසුරුවරුන්ට සහ පොලිස් නිලධාරීන්ට කරන චෝදනා සමාජ මාධ්‍යවල බහුලව දැකිය හැකිය. ඒ චෝදනා ඇත්තටම සාධාරණය. එමෙන්ම මේ චෝදනා කලක පටන් නැඟුණු අතර ඒවා තහවුරු කරන වැදගත් සාක්ෂි හඬපට හරහා මතු වෙයි.

නමුත් මෙයින් මතු වන මූලික ප්‍රශ්නය මෙය නොවේ. යම් හෙයකින් අදාළ විනිසුරුවරුන්ගේ හෝ පොලිස් නිලධාරීන්ගේ පුද්ගලික දුර්වලතාවන් හෝ වැරදි නිසා මේ තත්ත්වය උදා වූයේ නම් එයින් හැඟවෙන්නෙ හුදෙක් ඔවුන්ට දඬුවම් කිරීමෙන් හෝ විනය පියවර ගැනීමෙන් පමණක් මෙය නිරාකරණය කරගත හැකි බවයි. නමුත් ප්‍රශ්නය අධිකරණ සහ නීති පද්ධතියේම ප්‍රශ්නයක් නම් එසේත් නැත්නම් මුළුමහත් රාජ්‍යතන්ත්‍රයේම ප්‍රශ්නයක් නම් මේ ප්‍රශ්නය නිරාකරණය වේයැයි සිතිය නොහැකිය. එවැනි පියවර නොගත යුතුයැයි මෙයින් නොහැඟවෙන අතර මේ දක්වා එවැනි පියවරවත් ගැනීමට රාජ්‍යය අපොහොසත්වීමද ප්‍රශ්නයේම කොටසකි.

19 වැනි සංශෝධනය මඟින් මතු කළ මූලික තර්කය වූයේ දේශපාලන නායකයන් වෙනුවට ස්වාධීන සිවිල් පුරවැසියන් විසින් පොලිසියේ සහ අධිකරණයේ කටයුතු අධීක්ෂණය විය යුතු බවයි; අදාළ තනතුරුවලට පත් කිරීම කොමිෂන් සභාවලින් කළ යුතු බවයි. එයින් අධිකරණය සහ නීතිය ස්වාධීන වන බව මූලික තර්කය විය. නමුත් අද වන විට මේ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය ස්වාධීන රූපවාහිනියේ ස්වාධීනත්වයට වැඩි නොවන බව පෙනී ගොස් ඇත. ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක වූයේ ස්වා-දීන කොමිෂන් සභා ලෙසය.

උදාහරණයක් ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල්ගේ ප්‍රකාශ මෙකී ඊනියා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට පෙර සිටි කිසිම මැතිවරණ කොමසාරිස්වරයෙක් නොකළ තරම් පක්ෂග්‍රාහීය. රන්ජන් මන්ත්‍රීවරයාගේ බලපෑම්ද සිදුව ඇත්තේ ස්වාධීන පොලිස් කොමිසම සහ ස්වාධීන අධිකරණ සේවා කොමිසම සක්‍රියව තිබුණු විටකදීය. එසේනම් මෙම ස්වාධීන කොමිෂන් සභාවලින් සිදුවූයේ මෙකී ආයතනවල තිබූ ස්වාධීනත්වය නැතිවීමද යන්න සිතා බැලිය යුතුය. අඩුම තරමින් පෙර තිබූ ආයතනවල සහ ඒ ආයතන භාරව සිටි දේශපාලන අධිකාරියේ තිබූ වගවීමවත් (accountability) අද නැති බව පෙනෙන්නට ඇත. රන්ජන් මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කළ විනිසුරුවන් සම්බන්ධව ස්වාධීන අධිකරණ කොමිසම කරන්නේ කුමක්ද? සංවාදවලින් හෙළි වන නිශාන්ත කන්දප්පා පොලිස් නිලධාරියාගේ මාරුවීම අවලංගු වීම ගැන ස්වාධීන පොලිස් කොමිසම කියන්නේ කුමක්ද? ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය පරීක්ෂා කරන්නේ කවුද? හඬපට ගැන දේශපාලකයන්ට, පොලිස් නිලධාරීන්ට හෝ විනිසුරුවන්ට පමණක් චෝදනා කිරීම නොසෑහෙන්නේ මේ නිසයි. මේ ගැන ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් සෘජුවම වගකිව යුතුයි. නමුත් කොමිෂන් සභාවලින් ප්‍රශ්න කිරීම තබා ඒවායේ සාමාජිකයන් කවුද යන්නවත් පොදු අවකාශයේ සාකච්ඡා නොවේ.

ඒ කොමිෂන් සභාවල සංයුතිය කවරෙක්ද, නියෝජනය කරන්නේ කවරෙක්ද යන්න සාමාන්‍ය ජනතාව දන්නේ නැත. ඔවුන් ඡන්දයෙන් පත් කරන පිරිසක් නොවන නිසා ඔවුන්ව ඉවත් කිරීමේ හැකියාවක්ද ඔවුන්ට නැත. ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාටද ඔවුන්ව ඉවත් කිරීමේ හැකියාවක් නැත. ස්වාධීන කොමිෂන් සභාවලට පුද්ගලයන් පත් කරන්නේ දේශපාලකයන් නිසා එහිදී දේශපාලන නැමියාවන් සලකා නොබැලෙනු ඇතැයි සිතිය නොහැකිය. ස්වාධීන පුද්ගලයන් තවම ඉපදී නැත හෝ නැතහොත් ඔවුන් ඉන්නේ කනත්තේ යැයි කියමනක් ඇත.

මේ නිසා අවසානයේ ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයෙන් (අඩුම තරමින් 19 වන සංශෝධනයට පසුව ක්‍රියාත්මක වූ ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයෙන්) සිදුව ඇත්තේ එතෙක් රාජ්‍ය සේවය ගැන දේශපාලන අධිකාරියට තිබූ වගවීම අහෝසි වීමත් එසේ වුවත් රාජ්‍ය සේවය දේශපාලනීකරණය නතර නොවීම සහ සමහර විට වඩාත් තදින් සිදුවීමත්ය. වගවීම අහෝසි වීමත් දේශපාලනීකරණය වැඩිවීමත් අතර ඇත්තේ සෘජු සම්බන්ධයකි. වගවීමක් ඇත්නම් දේශපාලකයෙක් වුවද බලපෑමක් සිදුකිරීමට පසුබට විය හැකිය. අද වන විට සිදුව ඇත්තේ තමන් පත් කළ ඊනියා ස්වාධීන කොමිෂන් සභා පෙන්වා දේශපාලකයන්ට තම දේශපාලන බලපෑම්වල වගවීමෙන් ගැලවීමට හැකි වීමයි.

ස්වාධීන කොමිෂන් සභා මඟින් විසඳීමට තැත්කළ ප්‍රශ්නය කුමක්ද? අඩුම තරමින් එයට දෙන politically correct හෝ ප්‍රකාශිත උත්තරය රාජ්‍ය සේවය නිර්දේශපානීකරණය කිරීමය (politically correct නොවන හෝ අප්‍රකාශිත උත්තරය රාජ්‍ය දුර්වල කිරීම විය හැකිය). අඩුම තරමින් මෙකී ප්‍රකාශිත අරමුණ සාධනීය අරමුණක් වන අතර රාජ්‍ය ශක්තිමත් කිරීමට නම් සාක්ෂාත් කළ යුතු අරමුණකි. කෙසේ වුවත් ඉතා පැහැදිලිව ඊනියා ස්වාධීන කොමිෂන් සභාවලින් රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය නොවේ. එපමණක් නොව එය වක්‍රව රාජ්‍ය සේවය දේශපාලනීකරණය කරන, දේශපාලන නායකත්වය ආරක්ෂා කරන ‘බෆර්’ එකක් ලෙසද ක්‍රියා කරයි. එසේ නම් රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කිරීමට රාජ්‍ය සේවයේ කළ හැකි ව්‍යුහාත්මක වෙනස්කම් සහ ව්‍යවස්ථාමය වෙනස්කම් මොනවාද යන්න මේ සිදුවීම් මාලාව හරහා මතුවන වැදගත් ප්‍රශ්නයකි.

[දර්ශන කස්තුරිරත්න]

මාතෘකා