කමුද අපේ දේ?

 ඡායාරූපය:

කමුද අපේ දේ?

පහුණු දොහක කොළඹ යද්දි කිතුල් පිටි ටිකක් ඇරගෙන ගියේ සීතා රංජනී අක්කණ්ඩිට දෙන්ඩ. උන්දැ ඩිංගිත්තක් ලෙඩින්නෙ ඉන්නෙ. ඉතින් ඔය ලෙඩ දෝෂවලට හයි හත්තිය තුනී වෙනව නම් ඇඟ මස දාලා හයිය එන්ඩ කදිම කෑමක් තමයි කිතුල් පිටි. ඕං මං හදන විදිහත් කියල දීලා ආවෙ. එක්කො කැඳක් බොන්ඩ නැත්තං තලපයක් කන්ඩ කියලා. ඔය තලපෙ තමයි අද කාලෙ පුඩිමක් විදියට හදා ගන්ඩ පුළුවන්. උඩින් කජු මද ටිකක් එහෙම ඉහලා ගත්ත නම් අහකයි. කඩෙන් එක එක ජාතියේ අගුණ කුඩු පැකට් ගෙනැල්ලා පොඩි එවුන්ට කවනවට වැඩිය ඒක කොයිතරම් හොඳයිද? ඒ විදියටම අරලොක්කාවලිනුත් පිටි ගන්ඩ පුළුවන්. ඇයි රාජ අල පිටිත් පුඩිම් හදන්ඩ කියාපු ජාතියක්. පහුණු දොහක මායි, රැසේ තිඹිරියි, වාරිමාර්ගෙ හර්ෂණයි තව දෙන්න තුන් දෙනෙකුයි වරුවක් ඔය ගැන කතා කර කර උන්නා. ඒ වෙලාවෙ මං වත් පොතේ දැක්ක හොරණ පැත්තෙ කාණ්ඩයක් කිතුල් පිටිවලින් අයිස්ක්‍රීම් හදනවා කියලා. අන්න වැඩ. එවුවටනෙ ආණ්ඩුව දිරි දෙන්ඩ වුවමනා.

ඔය අපේ බණ්ඩාරවෙල පැත්තෙ තියෙනවා ලොකට් කියලා පලතුරක්. ඉඳුණම හරිම කහ පාටයි. පොඩි ඈයො නම් කිව්වෙ ලොකට් කියලා නෙවෙයි කහ ජම්බු කියලා. පැණි මුසු ඇඹුල් රහක් තියෙන්නෙ. යුෂ පිරිච්ච පලතුරක්. දත් හිරි වට්ටගෙන කොලු කෙල්ලො කෑවෙ පොකුරු පිටින් කඩා ගෙන. අපේ අම්මලා ඉතිං හිඟ පාඩු වෙලාවට ලොකට් වුණත් මාළුවක් උයා ගත්තා. මේ ලොකට් සුද්දගෙ කාලෙ ගෙනැල්ලා පුරුදු කරපු පලතුරක් කියලයි මට හිතෙන්නෙ. කොහොම හරි දවසක් අපේ ශිරාල් ජපානේ ඉඳලා පින්තූරයක් එවලා තිබ්බා. ඒකෙ ලේබලේ තියෙන්නෙ ලොකට්වල පින්තූරයක්. බැලින්නම් මේ බෝතලේ ලොකට් යුෂ. අන්න වැඩ කරනවා නම්. කෝ ඒකට අපේ කුණු වෙනවා ගස් යට. මට තායිලන්තෙ බැංකොක් නුවරදිත් දුක හිතුණා වරකා පැකට් දැකලා. ඇයි දෙවියනේ අපිට බැරි? මේ ආණ්ඩුවවත් ඔය වාගෙ කාරණා ගැන කයිවාරු ගගහ ඉන්නෙ නැතුව කරන්ඩ පුළුවන් උදවියට අත හිත දෙනවා නම් මොනව කරන්ඩ බැරිද?

ඉතිං මෙයාකාරෙට ඔය කොයි දේටත් විකල්ප හොයන්ඩ බැරි කමක් අපිට නැහැ. හැන්දෑවට කන කොත්තුවට වුණත් පිටි කෑලි එක්කහු නොකර කොස් දෙල් නැත්තං මඤ්ඤොක්කා දාන්ඩ බැරිවයෑ. එහෙනම් කියන්ඩද කොස් කොත්තුවක් හදාගන්න හැටි. එහෙම කිව්වම මතක් කරගන්ඩ ඕන අපේ මුස්ලිම් ඇත්තො හරක් මසුත් දාලම කොස් ඉව්ව වග. කොත්තු හදන්ඩ ගන්න කැරට්, ලීක්ස්, ගෝවා වාගේ දේවල් මේකෙ දිත් දික් අතට හීනිවට කපා ගන්නවා. ඒ අතරෙ කොසුත් හීනිවට දිගට කපලා තම්බ ගන්නවා. මං නම් ආස බෙරි වෙන්නෙ නැතිව හුමාලෙන් තම්බ ගන්ඩ පුළුවන් නම් තමයි. තව වුවමනයි කෑලි මිරිස්, ගම්මිරිස්, අබ, සුදු ලූනු, ඉඟුරු, බිත්තර, හොඳට සෝදලා වේල ගත්ත කූනිස්සො ටිකක්, කරපිංච එහෙම. හා දැන් මතක් කරන්ඩ හන්දියෙ කොත්තු බාස්ව. තෙල් ටික තැටියෙ හරි තාච්චියේ හරි දාලා රත්වෙද්දි අබ සුදු ලූනු, ඉඟුරු, කරපිංච බැදෙන්ඩ අරිනවා. ඒකටම කූනිත් දාලා බැදෙද්දි ආ කූනිස්සො නැත්නම් තම්බගත්ත මස් හරි මාලු හරි දාන්න පුළුවන් ඉතිං බැදෙද්දි අර හීනියට කපපු එළවලු ටිකයි මිරිස් ගම්මිරිස් හෙම දාලා කොස් ටිකත් දාලා කළවම් කරනවා. දෙල් හරි මඤ්ඤොක්කා හරි ගත්තත් මෙහෙම තමයි. ඒ වුණාට මඤ්ඤොක්කා ගන්නවා නම් අමු ඉඟුරු වද්ද ගන්නවා එහෙම නෙවෙයි ඔන්න.

මෙයාකාර පුරුදු වුණොත් වේලක් පිරිමහගන්න එක එක කතාවක් වෙද්දි නිකම්ම නිකම් පිටි ගුලි ගිලින එකෙන් අහක් වෙන්ඩත් පුළුවන්. මේ වාගේ දේවල් ඒ කියන්නෙ තම්බගත්ත කොස් දෙල්, අල වර්ග විතරක් නෙවෙයි තම්බපු පොළොස් පවා ඔය කඩේ තියෙන ෂෝටීස් කියන කෑම ජාති හදන්ඩ එක්කහු කරගන්ඩ පුළුවන්නෙ. ඇයි ඉතිං ඔය වගේ දෙයක් මුහු කරලා රොටියක් එහෙම හදලා බලන්ඩකෝ වෙනසකටත් එක්ක. අපේ අම්මා පොළොස් දාලා හදන කට්ලට් දිවියලෝක රහයි මට නම්. බතල තම්බලා පොඩිකරලා දාලා හදන රොටී කන්ඩ පොඩි ඈයො මනාප වෙයි එව්ව ටිකක් පැණි රහත් එක්ක හින්දා. ආ මට කියන්ඩ අමතක වුණා ඔය කහ බතලත් කොටලා මිරිකල පෙරෙන්ඩ ඇරලා පිටි ගන්ඩ පුළුවන් අරලොක්කා නැත්තං හුළංකීරියවලින් ගන්නවා වාගෙ. දන්නවනෙ නේද කිතුල් පිටිත් ගන්නෙ එහෙමමයි. බේසං අඩියට පෙරෙන්ඩ ඇරල. ආ එහෙම ගත්තොත් බතල තලපෙකුත් කන්ඩ පුළුවන්. සීනි පොල් කිරි එහෙම එක්කහු කරලා.

News Order: 
2
මාතෘකා