මිත්‍රත්වයේ දෑත්

 ඡායාරූපය:

මිත්‍රත්වයේ දෑත්

ඔබේ හොඳම යහළුවන් ඉන්නේ කොහේද? ඔබෙන් හුඟක් දුර ඈතද?. ඔබ ළඟ නිතර ගැවසෙන අය අතරින් කීදෙනෙක් ඔබේ හොඳම මිතුරු ලැයිස්තුවේ ඉන්නවද? මේ ගැන සිහිපත් වුණේ එක්තරා වදන් පෙළක් ඇසුණ මොහොතකයි. මේ කතාව ඔබේ ළඟම ගැවසෙන අය හොඳම මිතුරු ලයිස්තුවට එකතු කරගන්න කල්පනා නොකරන අය ගැනයි.

"මෙතන මට ඉන්නේ පැය අටේ යහළුවෝ විතරයි" මිතුරෙක් එහෙම කියනවා ඇහුණා.

මේ කතාව රැකියා කරන අය සිය සහෝදර සේවක පිරිස ගැන දරන මතයක්. මේ කතාව සමහර විට ඔබට හිතිලවත් ඇති. මෙහෙම කියන්න වෙන්නේ ඇයි කියන එකයි, තමා නිතර මුණ ගැහෙන අය අතරින් මිතුරන් ඇති කර ගැනීම ගැන තියෙන අවස්ථා ගැනයි මේ කියන්නේ. ඔබේ සේවක පිරිස අතරින් හොඳම මිතුරන් කවුද කියලා හඳුනා ගන්න මේ ආකල්පය වෙනස් කර ගන්න වෙනවා.

මෙහෙම ආකල්පයක් ඇති වන්නේ ඇයි කියලා මුලින් සොයා බලමු. ඔබට ඉන්න හොඳම යහළුවා හමුවුණේ පාසල් වියේදී විය හැකියි. බහුතරයක් පිරිස සිය හොඳම යහළුවා ලෙස සලකන්නේ පාසල්වියේ මිත්‍රයෙක්ව. එහෙම නැතුව තමා රැකියා කරන තැන කෙනෙක් ඒ මට්ටමට නොගන්නේ ඇයි. ඇත්තෙන්ම අපි පාසල් වියේදී ජීවන තරගය දකින්නේ නැහැ. මිත්‍රකම් දලුලා වැඩෙන ආත්මාර්ථයෙන් තොර හැඟීම් ඒ කාලේ තිබුණද රැකියාව ඇතුළේ මේ තත්ත්වය වෙනස් වෙනවා.

අපිට රැකියාව ඇතුළේ කරන්න තියෙන කියලා සලකන කාරණා අතර වැරදි කිහිපයක් ඇතුළු කරගෙන තියෙනවා. අනෙකා එක්ක තියෙන තරගය කියන කාරණේ මින් ප්‍රධාන දෙයක්. ඊළඟ උසස්වීම, වැටුප් වර්ධකය, විදේශ සංචාරය කෙරෙහි වැඩ කරන්න වෙද්දි අනෙකාගේ හිත් රිදීම් නොසලකා හරින්න වෙනවා. ඉතින් මේ තරගය ආයතනයක පාලනයට අත්වැලක් වෙන්නේ සේවක එකතුව අඩුවීමෙන්. පිරිසක් අතර එකතුව තුළින් බොහෝ දේ දිනාගන්න පුළුවන්. එහෙත් තනි තනිව දේවල් හඹා යෑමෙන් එය අහිමි වෙනවා.

ඔබ ආයතනය ගැන එහි සේවක පිරිස ගැන දරන මේ පැය අටේ මිතුරු සිතිවිල්ල කිසිවිටෙක එළියට දෙන එක ඔබ කරන්න අවශ්‍ය පළමු කාරණය. ඔබ නිතර ගැවසෙන තැන ඔබේ ප්‍රියතම තැන කරගන්න පුළුවන් ඔබටමයි. ඒ සිතිවිල්ල වෙනස් කිරීමෙන්. මිනිසා සතු විශාලම හැකියාවනම් සිතිවිලි වෙනස් කරගැනීමට ඇති හැකියාවයි.

හැකිවිටකම අනෙක් අයට අවැසි දෙයක් කරදීමට යම් මොහොතක් ගත කිරීමෙන් මේ සබඳතාව යළි ඇති කරගන්න උත්සාහයක් දරන්න. මිනිසුන් දිනාගන්න නම් ඔබේ වචනය සහ ක්‍රියාව අතර වෙනසක් නොවන ආකාරයට වැඩ කළ යුතුයි. මුහුණට හමුවෙන පුද්ගලයාට "සුබ උදෑසනක්" ලෙස සුබ පතන්න. ඕනෑම කෙනෙක් එක්ක කතාව ආරම්භ කරන්න මෙය සුදුසු ආරම්භයක්.

අනෙකා කෙරෙහි අප ඇති කරගෙන තියෙන ආකල්පය වෙනස් කරගන්න වෙනවා. වෙනත් අය කියන දෙයකින් පුද්ගලයෙක් මැන බලන්න යන්නේ නැතුව ඔහු එක්ක කතාබහ කරලා ඇසුරු කරලා බලනකොට ඒ කතා බොරුවෙන්න ඉඩ තියෙන බව වටහාගත හැකි වෙනවා. අන් අයගේ මිමිවලින් ඔබ මනින්නේ නැතුව ඔබේම මිමිවලින් මනින්න උත්සාහ කරන්න. මතක තියාගන්න මේ පුද්ගලයාගෙන් ඔබ පෙරළා කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. එතකොට තමයි හිත් රිදීම් ඇති වෙන්නේ. යහළුකම් වෙනුවට සතුරුකම් වැඩිවෙන්නේ මෙන්න මේ බලාපොරොත්තු බිඳ වැටුණම තමයි.

ඔබ වෙනුවෙන් යමක් කරයි, ඉදිරිපත් වෙයි කියලා හිතාගෙන ඉන්න එපා. සියල්ල හොයා බලා වැඩ කරන්න. එතකොට හිත් රිදීම් වෙන්නෙ නැහැ.

ඔබේ සේවා ස්ථානයේ ඉඳහිට හෝ සංවිධානය වෙන අමතර වැඩසටහන්වලට මඟ නොහැර සහභාගීවීමෙන් මේ සබඳතා ශක්තිමත් කරගන්න පුළුවන්. එවැනි දේවල් අතර වාර්ෂික සුහද හමුව, වාර්ෂික චාරිකව, සමාජ සුබසාධන ව්‍යාපෘති වැනි වැඩසටහන් හඳුන්වන්න පුළුවන්. මේවාට සම්බන්ධ වෙන අය අතර වෘත්තීය මට්ටමේ තරගයක් ඇති නොවන නිසාත් එය වැඩ පරිසරයෙන් මිදුන අවස්ථාවක් බැවින් මිතුරු සබඳතා කෙරෙහි යොමුවෙන්න පුළුවන්.

සේවා ස්ථානයේ හොඳම මිතුරන් ඉන්න, ඔබ ආසම තැන කරගන්න ඔබේ මැදිහත්වීම ඉතා වැදගත්. සමහර විට ඔබ හින්දා ඔවුන් අපහසුතාවයෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඔබේ හිතේ තියෙන අදහස වෙනස් කරගන්න. ඔබ අඩියක් ඉස්සරහට තියලා මිත්‍රත්වයේ දෑත දිගු කරන්න. පෙරළා ඔවුන් දිගුකරන දෑත උණුසුම්ව ග්‍රහණය කරගන්න. කෙමෙන් කෙමෙන් ඔබේ වටපිටාව වෙනස්වෙන අරුමය අත්දකින්න. වෙනස් වෙන්න හිතෙන ඔබ හදවත් දිනාගන්නා රහස තව කෙනෙක්ටත් කියා දෙන්න.!!

මාතෘකා