අවරසිකත්වය!

 ඡායාරූපය:

අවරසිකත්වය!

පසුගිය සතියේ රජය බස් සිංදු ගැන තීරණයකට එළඹුණි. ඒ අනුව මෙම ජනවාරි 15 වෙනිදා සිට බස් රථවල ප්‍රචාරය කෙරෙන්නේ බස් රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට ඕනෑ සිංදු නොව ජාතික ගමනාගමන කොමිසම විසින් සකස් කර ඇති සිංදුය. ඒ සිංදු ඇතුළත් වූ සංයුක්ත තැටියට සුභාවිත ගීත දහසක් අඩංගු වී ඇතැයි පවසන ගමනාගමන කොමිසම ඉන් අපේක්ෂා කරන්නේ මගී ජනයාට අත්වන ශ්‍රවණ පීඩාව අවසන් කිරීමට යැයිද කියයි. තාවකාලිකව හෝ මේ පියවර හොඳය. එහෙත් ගැටලුව ඉන් අපේක්ෂිත ප්‍රතිඵල අත්වේද යන්නය. බස්රියදුරන්ගේ, කොන්දොස්තරලාගේ රසිකත්වය අනෙකකුට වෙනස් කළ නොහැකි බැවිනි.

බස් සිංදු ප්‍රශ්නය රසිකත්වයේ ප්‍රශ්නයකි. ඒ සිංදු අසවන රියදුරනට, කොන්දොස්තරවරුනට කලා කෘති රස විඳීමේ ශක්තිය නැත. රසඥතා ශක්තියක් නැති ඔවුන් අසන්නේ කලා කෘති යැයි හැඳින්වීමට බැරි දේය. එහිදී ඔවුන් අසන දෙයින් විනෝදයක් ලබන ඔවුහු ඒ උසස්ම කලාවකැයි සිතා ඒවා තමන් මතු නොව සෙස්සන්ද ඇසිය යුතු යැයි, නැරඹිය යුතු යැයි කල්පනා කරති. ගැටලුව එයයි. එහෙත් එය අහිංසක ක්‍රියාවකි. ඔවුන් ඉන් මගී ජනතාව පීඩාවට පත් කිරීමට අදහස් කර නැති බැවිනි. අනෙක ඇයි අප මෙහිදී බස්රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ටම දොස් කියන්නේ? ඒ බස් සිංදු කියන ගායක ගායිකාවන්ට දොස් නොකියන්නේ ඇයි?

බස් සිංදු ප්‍රශ්නය ගැන ඉහතාකාරයට තර්ක කළ හැකිය. එහෙත් මේ කී පැතිකඩට වෙනස් තවත් පැත්තක්ද මෙහි තිබේ. එය ඇත්තේ රසිකත්වය හා රසිකයන් ලෙස අප පිළිගෙන ඇති පාර්ශ්වයේය.

රසිකත්වය යනු රස විඳීමට ඇති හැකියාවය. රස ඇත්තේ කලාවේය. කලා කෘතියක ඇති රස වින්දනය කිරීමේ ශක්තිය ඇත්තා රසිකයාය. ඒ අනුව රසිකයා කරන්නේ කලා රස විඳීමය. රස නැති තැන කලාවක් නැති අතර රස වින්දනයක්ද නැත. අනෙක් අතින් කලා රස නිපයන්නා කලාකරුවාය. කලා රස නිපයන්නාගේ සංවේදී හෘදය හා සමාන හෘදයක් ඇත්තා සහෘදයාය. එවැනි සමාන හෘදයක් පැවතීම සහෘදත්වයය. දැන් ගැටලුව කුමක්ද? අප කලාකරුවන් ලෙස හඳුනාගෙන ඇති පිරිස රස නිපයයිද යන්නය. අප රසිකයන් යැයි හඳුනාගෙන ඇති පිරිස රස වින්දනය කරයිද යන්නය.

ඇත්ත වශයෙන් අද බොහෝ විට කලාකරුවන් කලා නිර්මාණ යැයි ඉදිරිපත් කරන දෙයින් කරන්නේ රස නිපයීම වෙනුවට දේශපාලනය කිරීමය. අදහස් හා මතවාද කියාපෑමය. ‘කලා කෘතියේ’ දේශපාලනය තරම් අන් කිසිවක් ඔවුනට වැදගත් නැති සේය. ‘60, ‘70, ‘80 දශකවල කලාවෙන් දේශපාලනය කිරීමට ගිය පිරිස ජනතාවාදීන් යැයි අවප්‍රමාණ කළ ඔවුහුම තමන්ගේ කෘතිවලින් දේශපාලනය කරති!

කලාවෙන් දේශපාලනය ඉල්ලන ඔවුන්ගෙන් වන හානිදායකම දේ කෘතියක් කලා කෘතියක් වීමට ඇවැසි මූලික දේ ඉවත් කිරීමය. එනම් චමත්කාරය, රස නිෂ්පත්තිය, කල්පනා ලෝකය, ආනන්දය, ආනන්දයෙන් ඇති වන ප්‍රඥාව ආදිය බැහැර කිරීමය - ඒ අයට සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ බාල බොළඳ නිර්මාණ ලෙස පෙනෙන්නේද මෙනිසාය. මෙසේ කලාවේ මූලිකාංග බැහැර ලන ඔවුන් එහි අංගෝපාංග ලෙස පිළිගෙන ඇත්තේ මොනවාද? එකක් මුලින් කී දේශපාලනයය. අනෙක නස්තිකවාදයය. එනම් සියලු හර පද්ධතීන් බැහැර ලීමය. හර පද්ධති, පුරුෂාර්ථ බැහැර ලන කවරෙකු හෝ අතින් සිදු වන ඊළඟ දේ කලාව කිරීමට ඇවැසි ඓතිහාසික වශයෙන් විකාශය වූ බස - කලාවේ වියරණය - පිරිහෙළීමය. සාහිත්‍ය කෘතියක් සැලකූ විට කතාකරුවකුට එහි බසෙහි වියරණය බිඳිය හැකිය. අක්ෂර වින්‍යාසය හා සම්මත රීති කැඩිය හැකිය. එහෙත් සන්දර්භයෙන් එවැන්නක් නොඉල්ලන විටද එසේ බිඳීම, කැඩීම සාහිත්‍ය කෘතියට හානිකරය. මොවුන්ගෙන් සිදු වන්නේ ඒ දේය. ඒ දේ මොවුන්ගෙන් සිදු වන්නේ රීතිය දැන නොව රීතිය ගැන කිසි අවබෝධයක් නැතිවය. ඉදින් අද අප සාහිත්‍යකරුවන්, කලාකරුවන් ලෙස හඳුන්වන්නේ කලාව ගැන කිසි අවබෝධයක්, ප්‍රතිභාවක් නැති මේ අයය - එවැනි අවබෝධයක්, ප්‍රතිභාවක් තිබුණේ නම් ඔවුහු තමන් අත ඇති ඓතිහාසික පරිනාමික බස හිතුමතේ බැහැරලන්නේ නැත. ඒ වෙනුවට වියවුල් බසක් භාවිතයට ගන්නේ නැත.

මෙසේ කලාකරුවන් නොවන පිරිසක් කලාකරුවන් යැයි, සාහිත්‍යකරුවන් යැයි පිළිගන්නා අපි ඔවුන් ඉදිරිපත් කරන දේද කලාව ලෙස පිළිගමු. එසේ නම් අප කවුරුන්ද? අප රසිකයන් ලෙස හැඳින්විය නොහැකිය. සහෘදයන් ලෙස සැලකිය නොහැකිය.

නිදසුනකට අපි කේ.කේ. සමන් කුමාරගේ ‘මහිලා වංශය’ නවකතාවක් ලෙස පිළිගනිමු. චින්තන ධර්මදාසගේ ‘ෆැකල්ටි ඔෆ් සෙක්ස්’ ද එසේම පිළිගනිමු. එහෙත් එහි ඉහත කී කලාවේ අංගෝපාංග වේද? නැත. වර්තමානයේ විකල්ප සිනමාවක් ලෙස බිහි වී ඇති දේද සැලකිය හැක්කේ මේ ලෙසටමය. මට හැඟෙන ලෙස නම් ඒ කියන විකල්ප සිනමාවවත් ඒවායේ නිර්මාපකයන්වත් කලා කෘති හෝ සිනමා කලාකරුවන් ලෙස හැඳින්විය නොහැකිය. තවද රූපවාහිනී චැනලවලින් බිහි වන සුපිරි තරුද ඒවායේ ටෙලි නළු නිළියන්ද කලාකරුවන් ලෙස දැක්විය නොහැකිය. ඔවුන් එහි ඉදිරිපත් කරන සිංදු හා ටෙලිනාට්‍යද කලා කෘති නොවේ. එහෙත් ගැටලුව කුමක්ද? බහුතර සමාජය ගත් විට ඔවුන් මේ අය හා ඔවුන් ඉදිරිපත් කරන දේ විසල් කලාකරුවන් හා කලා නිර්මාණ ලෙස ගැනීමය. සමාජ මාධ්‍යයේ හා ඉන් පිටත ඔවුන් ගොඩනඟාගෙන ඇති ප්‍රජාවේ අදහස් විමසූ විටද තහවුරු වන්නේ ඒ දේය. කොටින්ම ප්‍රධාන සාහිත කලා, සිනමා කලා සම්මාන උලෙළවලත් ඔවුන් කලාකරුවන් ලෙස පිළිගෙන ඇති බව එම උලෙළවල ඔවුන් ලබන පිළිගැනීම - විනිශ්චය මණ්ඩලවලටද ඔවුන් පත් කරගෙන ඇති ආකාරය - බැලූ විට පැහැදිලි වේ. එහෙත් මෙහි අසාධාරණය ජාතික ගමනාගමන මණ්ඩලය අවරසිකයන් ලෙස හඳුනාගෙන ඇති පිරිසට මේ අය ඇතුළත්ව නොවීමය.

කලා රසිකයකුට, කලා විචාරකයකුට තිබිය යුතු මූලික දේ සහෘදත්වයය. රසිකත්වයය. සැබෑ කලා කෘතියක් රස විඳීම සිදු වන්නේ එහි මතුපිට කරුණු විමසීමෙන් නොවේ, කෘතියට සහෘදයකු ලෙස ඇතුල් වී එහි රස වින්දනය කිරීමෙනි. අද විචාරයේදී මුලින්ම සිදු වන්නේ කෘතියට සහෘදයකු ලෙස ප්‍රවිෂ්ට වීම බැහැර ලීමය. අශෝක හඳගමගේ මෑත නිකුත් වූ ‘අසන්ධිමිත්තා’ සිනමාපටයේ මහත්ම ගැටලුව ඊට කිසිවකුට සහෘදයකු ලෙස, රසිකයකු ලෙස ඇතුල් වීමට අපොහොසත් වීමය - ඊට කෙනෙකු යථාර්ථවාදීව ඇතුල් වීම වැළැක්වීම සිනමාකරුවාගේ උත්සාහය වී යැයි එක් විචාරකයකු දක්වා තිබුණි! එහෙත් සහෘදත්වයට ඉඩක් නැති, දේශපාලන කරුණුවලින් රස මැරූ කෘතියක් කලා කෘතියක් වන්නේ කෙසේද? කලා කෘතියේ සහෘදත්වය යටපත් කරන කෙනෙක් සිනමා කලාකරුවෙකු වන්නේ කෙසේද? ආනන්දයෙන් එළඹෙන ප්‍රඥාව වෙනුවට අමුවෙන් මනසට දෙන දැනුම රැගත් යමක් කලාව වන්නේ කෙසේද? එහෙත් මේවා නිපයන්නන් හෝ ඒ එසේ වීම සැබෑ කලාව යැයි ඔසොවන අය අප අර බස්රියදුරන්ගේ ගොඩට, බස්කොන්දොස්තරලාගේ ගොඩට දමන්නේ නැත.

ඉදින් මේ සියල්ල පිළිසකර විය යුතුය. කොහොමටත් කෙනෙකුට බලෙන් රසිකත්වය පැටවිය නොහැකිය. කලා රසිකත්වයත් කලා ප්‍රතිභානයත් කෙනෙකුට උපතින් - සංස්කෘත විචාරවේදීන් දක්වන ලෙස වාසනා ගුණය අනුව - ලැබෙන දේය. එහෙත් සැබෑ කලාව කෙනෙකුට බලෙන් හෝ පැටවීම වැදගත් වන්නේ රසිකත්වය නැත්තකුට වුව ඉන් කිසියම් හික්මීමක් ලැබිය හැකි බැවිනි. සියුම්භාවයක් ඇති කරගත හැකි බැවිනි. තමා වෙත හැරීමට බල කිරීමක් සිදු විය හැකි බැවිනි. රසිකයකුට, සහෘදයකුට තරම් ඒ දෙයින් අනෙකෙකුට ප්‍රයෝජනයක් අත් නොවූවත් පොදු පාඨකයාටත් එවැනි හික්මීමක්, විනයක් වැදගත්ය. ඇත්ත වශයෙන් සෝවියට් ජනතාවාදී කෘතිවලින් සිදු වූයේ ඒ කාර්යභාරයයි. ඒවායේ දේශපාලනික අරමුණක් පැවතියත් එවැනි කෘති මගින් පාඨකයාට මිනිස් ජීවිතය දෙස හැරී බැලීමට බල කෙරිණි. එනිසා එම කතා ඇසුරු කළ පිරිස් වයසින් මුහුකුරා ගිය විටද අනෙකාගේ ජීවිතවලට ගරු කිරීමට, ඔවුන්ගේ කතාවට ඇහුන්කම් දීමට පෙළඹිණි. පැරණි කතන්දර කලාවෙන්ද සිදු වූයේ එයය. අද මුත්තනු - මිත්තනියන්, මව් - පියවරුන් දරුවන්ට කතා කියා දීමක් නැති පරිසරයක සැබෑ කලාව රස වින්දනයට ඉඩ සැලසීම වැදගත්ය. එහෙත් බස් සිංදු ප්‍රශ්නයේදී නම් ඒ සිංදු වෙනුවට මේ සිංදු ඊට ඇතුළත් කර ඵලක් නැත. ඔවුන්ට සිංදුවලින් එහා ගිය සැබෑ සංගීතය ඇසීමට ඉඩ සැලසිය යුතුය. සිංදු යනු කලාවක් නොවේ, කලාවේ අංගයකි. අපේ සිංදු නම් කලාවේ කිසිදු අංගයක් නොවේ. ඒ අනුව මේ මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන - ප්‍රායෝගික තත්ත්වය කෙසේ වතුදු - සැබෑ සංගීතය හුරු කිරීමට හැකි වුවහොත් එය මහා පිම්මකි.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා