තරු මිනිසා

 ඡායාරූපය:

තරු මිනිසා

2013 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ගල්ගුහා ගවේෂණ කණ්ඩායමක සමාජිකයන් වන රික් හන්ටර් සහ ස්ටීවන් ටකර් යන දෙදෙනා දකුණු අප්‍රිකාවේ 'නැඟෙන තාරුකා ගුහා සංකීර්ණයේ' ( Rising star cave complex) අඳුරු මුල්ලක් ගවේෂණය කළේය. ගුහාවට ඇතුළු වීමට මත්තෙන් රික් හන්ටර් තම මුහුණු පොත් ගිණුමේ මෙවන් සටහනක් තැබුවේය. “අද 13 වන සිකුරාදා දිනය ගැන සුභදායක බලාපෙරොත්තුවක් ඇත. විනෝද වීමට නියම කාලයකි. ඇත්තෙන්ම අලුත් සොයාගැනීම් කළ හැකි බවට බලාපොරොත්තුවක් ඇත. සියලුම කැමරා වල බැටරි පනගන්වා ඇත. විදුලි පන්දම් සූදානම්ය, අවශ්‍ය සෑම දෙයක්ම ඇත. මෙය ආගාධ පත්ලක කරන ගවේෂණයකි”.

මඳ දුරක් ගමන් කළ තැන ඔවුන්ගේ හිසෙහි සවි කළ විදුලි පන්දම් එළියට දිස් වූයේ පොළව මත විසිරී පවතින යමකි. ළංවී බැලු කල, ඔවුන්ට තමන් දුටු දෙය අදහා ගත නොහැකි විය. බැලු බැලු අත අස්ථි කොටස් විසිරී තිබෙන බව හාත්පස නිරික්ෂණය කරද්දී දකින්නට ලැබිණ. සත්‍යවශ‍යෙන්ම ඔවුන්ගේ මෙම සොයාගැනීම මානව පරිණාමීය ඉතිහාසය උඩුයටිකුරු කරන්නක් බව ඔවුන් සිහිනෙකින් වත් නොසිතන්නට ඇත. අත්දැකීම මඟින් මුවහත් කළ මනසට යම් දෙයක් අවබෝධ විය. ඔවුන්ගේ අදහස වූයේ, සැබැවින්ම මෙම අස්ථි කොටස් මානවයින්ට අයත් ඒවා බව සහ ඒවා ඉතා පැරණි කාලයකට අයත් ඒවා විය යුතු බවය. එහෙත් ඒ පිළිබඳ විශේෂඥතාවයක් නොමැති වීම නිසා පසුව ඔවුන් මෙම පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියා වන ලී බර්ගර් මුණ ගැසී මේ පිළිබඳ කරුණු පවසා සිටියහ.

මෙම සාධක ඔවුන්ට හමුවන්නේ දකුණු අප්‍රිකාවේ මානව වර්ගයාගේ තොටිල්ල වශයෙන් හැඳින්වෙන ලෝක උරුම ස්ථානයේ (Cradle of Humankind World Heritage Site) ව්‍යාප්තව ඇති ප්ලයෝසීන - ප්ලයිස්ටොසීන තැන්පතු වලින් යුත්, 'නැඟෙන තාරකා ගුහා සංකීර්ණයේ' (Rising Star cave system) පොළව තුළ පැවති අඳුරු අගාධ කුටියකිනි. එය මොවුන් විසින් නම් කරන ලද්දේ 'ඩිනැලඩි කුටිය' නමිනි. 'ඩිනැලඩි' යනු අප්‍රිකානු ස්වදේශීය බසක් වන සෙසෝතේ බසින් 'තාරකා' යන්න අරුත් ගන්වයි. දකුණු අප්‍රිකාවේ විට්වොටර්ස්රෑන්ඩ් විශ්වවිද්‍යාලය, ජෙම්ස් කුක් විශ්වවිද්‍යාලය (ඕස්ට්‍රේලියාව), විස්කොන්සින් විශ්වවිද්‍යාලය (ඇමරිකා එකසත් ජනපදයේ මැඩිසන්) යන විශ්වවිද්‍යාලවල සිටින පර්යේෂකයන් විශාල කණ්ඩායමක් විසින් 2013 වර්ෂයේදී මෙහි පර්යේෂණ කටයුතු සිදුකරනු ලැබීය. මෙම කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ විට්ස් විශ්වවිද්‍යාලයේ පරිණාමීය අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ලී බර්ගර් විසිනි.

ක්‍රිස්තු වර්ෂ 2013 සහ 2014 කාලය තුළදී ඩිනැලඩි කුටිය ආශ්‍රිතව විමර්ශන දෙකක් සිදු කළ අතර එයින් සොයාගත් මානව ෆොසිල එකතුවට අමතරව පක්ෂි අස්ථි කොටස් හයක් සහ කැඩී බිඳී ගිය කෘන්තක සතුන්ගේ කැඩී බිඳී ගිය අස්ථි කොටස් කිහිපයක්ද කැණීම් කළ ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකි විය. ඩිනැලඩි කුටිය පිහිටා තිබෙන්නේ මතුපිට පොළව මට්ටමෙන් මීටර් 30ක් පමණ ගැඹුරේය. මීට අමතරව මෙම ගුහා සංකීර්ණයේ ඇති 'ලෙසඩි කුටිය' (Lesedi Chmabr) තුළින්ද 2013 නොවැම්බර් මාසයේදී හන්ටර් සහ ටකර්ට තවත් 'හොමිනින් අවශේෂ' සොයාගැනීමට හැකි විය. සෙසොතේ බසින් ලෙසඩි යනුවෙන් හඳුන්වන්නේ 'ආලෝකය' යන්නය. මෙම කුටිය ඩිනැලඩි කුටියට කිසිදු භූවිද්‍යාත්මක සබඳතාවක් දක්වන්නේ නැති අතර එම කුටි දෙක අතර සෘජු ප්‍රවේශ මාර්ගයක්ද නොමැත.

නූතන මානවයින් එසේත් නැතිනම් හෝමෝ සේපියන්වරුන් ඔවුන්ගේ ගණයට අයත් මේ වන විට ජීවත් වන එකම වර්ගයයි. එහෙත් අදින් වසර 100,000ක් තරම් මෑත කාලයේ හෝමෝ ගණයට අයත් තවත් බොහෝ වර්ග ජීවත් විය. මෙම නූතන මානවයින් මෙන්ම අපගේ ආසන්නම මුතුන්මිත්තන් වන වඳ වී ගිය මානව වර්ග සහ ඔවුන්ගේ ඥාතීන් පොදුවේ හඳුන්වන්නේ 'හොමීනින්' යනුවෙනි. මෙම ගුහා සංකීර්ණ දෙකෙන්ම හොමිනියන් ගණයට අයත් වඳවී ගිය මානව වර්ගයක් පිළිබඳ සාධක සොයා ගැනුණි. මෙම වර්ගය නම්කරන ලද්දේ 'හෝමෝ නැලඩි' යන නමිනි. සෙසෝතෝ බසින් නැලඩි යනු 'තාරකාව' යන අරුත් දෙයි. එහෙයින් එයින් සොයාගත් මානවයා හෝමෝ නැලඩි හෙවත් 'තරු මිනිසා' (star man) යනුවෙන් නම් කරන ලදි.

මෙහිදී කළ කැණීම්වලින් පුද්ගලයින් 15කට අයත් ෆොසිල මතුකරගත් අතර ඒවා ඇටසැකිල්ලේ විවිධ ස්ථාන වලට අයත් අස්ථි කොටස් බොහෝමයකින් යුක්තය. මෙම අස්ථි කොටස් විශ්ලේශනය කිරීමෙන් පර්යේෂකයන් දක්වා සිටියේ හෝමෝ නැලඩි ප්‍ර‍මාණයෙන් සහ බරින් මෙන්ම මනුෂ්‍ය අත් සහ කකුල්ද සහිත කුඩා ප්‍ර‍මාණයේ නූතන මානවයෙකුට සමාන විය හැකි බවයි. හිස් කබල සුවිශේෂී අංගවලින් යුක්ත වූ අතර කුඩා මස්තිෂ්ක කපාලයකින් යුක්ත වූ එය අදින් වසර මිලියන හතරක සිට දෙකක් දක්වා කාලයක ජීවත් වූ ආදී හොමිනින් වර්ග සතු වූ මස්තිෂ්ක ධාරිතාවට සමාන විය. හොමෝ නැලඩිගේ පපුකුහරය, උරහිස් සහ ශ්‍රෝණියද නූතන මානවයන්ට වඩා එම ආද්‍ය හොමිනින් වර්ගයට සමාන විය.

දකුණු අප්‍රිකාවේ The Rising Star ගුහා සංකීර්ණයෙන් තවත් සොයාගැනීම් බොහෝමයක් සිදු කර ඇති අතර අනාගතය සඳහාද බොහෝ වැඩ කොටසක් ඉතිරි වී ඇත. මෙම සොයාගැනීම පිළිබඳ පළමු විධිමත් වාර්තාව නිකුත් වන්නේ 2015 වර්ෂයේ වන අතර ඉන් පසුව වසර එකහාමාරක කාලයක් ගිය තැන අප්‍රිකා‍වේ මෙතෙක් සොයාගත් වඩා සාර්ථකම මානව ෆොසිල ඇති ස්ථානය මෙය බව නිවේදනය කෙරිණි.

මාතෘකා