තිත් හයකින් ලොව දැකීම

 ඡායාරූපය:

තිත් හයකින් ලොව දැකීම

අතීත සමාජය මිථ්‍යා මතවලින් රජ කරන්නට විය. විද්‍යාව හා තාක්ෂණයෙන් දියුණු වුවද අද මිථ්‍යා මත සමාජයේ සැරිසරන විට එදා කෙසේ වන්නට ඇතිද?

එකල ඇතැම් රෝග තත්ත්ව, ශාරීරික දුබලතා දේව ශාප ලෙස සලකා ඇත. විශේෂයෙන් විවිධ ආබාධ තත්ත්වයන් පිළිබඳව නොදැනුවත් සමාජය ඔවුන් නොසලකා කොන් කරන්නට විය. ප්ලේටෝගේ ජන රජය නම් කෘතියේ ආබාධ සහිත පුද්ගලයන් සමාජයෙන් ඉවත් කළ යුතු බව සඳහන් වන අතර එයින්ම එකල ග්‍රීක සමාජයේ ආබාධිත පුද්ගලයන් පිළිබඳ වූ මතය පිළිබිඹු වේ. රටින් රටට සමාජයෙන් සමාජයට ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වූ ආකල්පය සැලකීම එදා සිට අද දක්වාම වෙනස්ය.

ප්‍රංශයේ උපන් ලුවී බ්‍රේල් දෘශ්‍යාබාධිත ජනතාවගේ තත්ත්වය වෙනස් කරන්නට උපන්නෙකි. ඔහුද එදා සමාජය තුළ විවිධ ගැටලුවලට මුහුණපාන්නට ඇත. ඒ කෙසේවුවද ඔහු ගැටලු රැසක් මැද සොයා ගිය අරමුණ ඉලක්කය හමු විය. ඒ ජයග්‍රහණය ලොව සියලු දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට දෑස පෑදීමට මඟක් විය. පහන් ටැඹක් විය. අද වන විට ලොව සෑම රටකම පාහේ රටේ අක්ෂර හෝඩියට සාපේක්ෂව බ්‍රේල් හෝඩියක් ද පවතී. මෑතකදීම බ්‍රේල් හෝඩියක් හඳුන්වාදී ඇත්තේ ටිබෙට් රාජ්‍යට ය. විශේෂයෙන් කිව යුතු යමක් ඇත. බොහෝදෙනා දෘශ්‍යාබාධිත අපෙන් අසන්නේ බ්‍රේල් භාෂාව කියාය.

(බ්‍රේල් භාෂාව දන්නවාද? බ්‍රේල් භාෂාවෙන් ද ඉගෙන ගත්තේ ) ආදී වශයෙන් ප්‍රශ්න කරති. නමුත් එහි වරදක් ඇත. බ්‍රේල් යනු එක්තරා සංඥා ක්‍රමයක් පමණි. එක්තරා ක්‍රමයක් පමණි. එය භාෂාවක් නොව. භාෂාවක් යනු ලියන, කතා කරන වෙනස්ම ශබ්ද රටාවකි. එහෙත් බ්‍රේල් යනු තිත් ක්‍රමයකි. තිත් 6කින් සියලු අක්ෂර සෑදේ. එය අද වන විට ඇතැම් රටවල තිත් 8කට ද නිර්මාණය කර ඇත.

ලුවී බ්‍රේල් මහතාට පින් සිදුවන්නට අද දෘශ්‍යාබාධිත පුද්ගලයන් අඳුර තුළින් ආලෝකය දකිති. තිත් හයකින් ලොව දකිති. ලොව පුරා ආබාධිත දරුවන්ට, දෘශ්‍යාබාධිත දරුවන්ට පාසල්, විශ්වවිද්‍යාල ඇරඹෙන විට අප රට තුළ ද 1912දී මේරි චැප්මන් මහත්මිය දෘශ්‍යාබාධිත දරුවන්ට පාසලක් රත්මලාන ප්‍රදේශයේ ඇරඹීය. ඒ අනුව සිංහල භාෂාවට ද බ්‍රේල් හෝඩියක් නිර්මාණය වූ අතර එය ඉංග්‍රීසි බ්‍රේල් හෝඩියට සමරූපී විය.

අතීතයේ ලංකාවේ දෘශ්‍යාබාධිත පුද්ගලයට පැවතියේ එතරම් හොඳ පසුබිමක් නොවේ. දෘශ්‍යාබාධිත දරුවකු පවුලට උපන් විට දරුවා අනාථ නිවාසවලට බාර දී ඇත. මහමඟ දමා ගොස් ඇති බව වාර්තා වේ. එහෙත් බ්‍රේල් ක්‍රමය ඇරඹීම, පාසල් ව්‍යුර්ථ වීමත් සමඟ ඒ සියල්ල වෙනස් විය. අද වන විට දෘශ්‍යාබාධිත දරුවන් පාසල් අධ්‍යාපනය ලබයි. විශ්වවි‍ද්‍යාල ප්‍රවේශය ලබති. ඒ වගේම රජයේ රැකිය කරති. සරලවම කිවහොත් සමාජයේ සාර්ථක මිනිසුන් ය.

අද දෘශ්‍යාබාධිත අපි කවුරුන් වුවද පරිගණක තාක්ෂණය භාවිත කරමින් ලේඛනයේ යෙදුන ද අපට මඟ පෑදුණේ ලුවී බ්‍රේල් නම් ඒ අසහාය මිනිසාගේ සොයා ගැනීම හේතුවෙනි. ලංකාවේ ප්‍රකට සම්භාව්‍ය භාෂා පිළිබඳව මහාචාර්යවරයකු වූ වීරක්කොඩි මහතා, ලොව පළමු ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාව වූ බිසෝමැණිකේ ග්‍රේරෝ, සංගීතඥ හේමපාල මහතා, වැනි චරිත බිහිවුණේ ද බොහෝ දෘශ්‍යාබාධිත සිසුන් නීති පීඨයට, සෞදර්ය විශ්වවිද්‍යාලයට වගේම වෙනත් විශ්වවිද්‍යාලවලට පවා ප්‍රවේශය ලැබුවේ බ්‍රේල් ක්‍රමය වැනි ක්‍රමයක් අපටත් පවතින බැවිනි.

එසේ නොවන්නට ඒ කිසිවෙක් තබා දෘශ්‍යාබාධිත ඔබ මමවත් මෙතන නොවන්නට පුළුවන.

අද පහ ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ වගේම රජයේ තරග විභාග, විශ්වවිද්‍යාල විභාගවලට දෘශ්‍යාබාධිත අප සාමාන්‍ය පුද්ගලයන් හා කරට කර තරගවදින්නේ බ්‍රේල් ක්‍රමය පැවතීම තුළිනි. අද වන විට බ්‍රේල් මුද්‍රණ යන්ත්‍ර පවා පවතින බැවින් පාසල් පෙළ පොත් සිට වෙනත් ග්‍රන්ථ දක්වා මුද්‍රණය වේ. එතරම් දියුණු තාක්ෂණය ලංකාවට නොආවත් පවතින මට්ටමට අනුව දෘශ්‍යාබාධිත ජනයාට ඉතා හොඳ සමාජ මට්ටමක් කරා යන්නට හැකිව ඇත. අතීත සමාජ පසුබිම හුදෙක්ම වෙනස් කිරීමට, ද‍ෘශ්‍යාබාධිත පුද්ගලයාගේ ජීවන රටාව සුබදායී කිරීමට ලුවී බ්‍රේල්ගේ සොයා ගැනීම පාදක විය.

ඉදින් පසුගිය 4 වැනිදා ලෝක ලුවී බ්‍රේල් දිනය විය. වෙන කාට එහි වටිනාකම නොවැටහුන ද දෘශ්‍යාබාධිත ජනයාට එහි වටිනාකම දැනිය යුතුය. කනගාටුවට කාරණය නම් අප අතර වුවද ඒ සැමරුම එතරම් හොඳ මට්ටමක නොවීම ය. දෘශ්‍යාබාධිත අප ආලෝකය දකින්නේ ලුවී බ්‍රේල් මහතා නිසාය. එබැවින් මේ ලියමන ඔහුට උපහාරයක්ම වේවා.

News Order: 
2
මාතෘකා