වහින්න වැස්සක් වහින්න...

 ඡායාරූපය:

වහින්න වැස්සක් වහින්න...

ජීවිතය සැරිසැරීමකි. සංස්කාරයන්ගේ එකතුවකි. මිනිස් ජීවිතයේ ස්වභාවය විස්තර කිරීමට මෙන්ම අරුත් ගැන්වීමට මිනිසා විසින්ම විවිධ සම්මුති නාමයන් භාවිත කරයි. එහෙත් එදිනෙදා ජීවිතයේදී සියලු සම්මුති නාමයන් සමඟ බැඳී ඒවා සත්‍ය ලෙස පිළිගෙන මිනිසා එකිනෙකා සමඟ ගනුදෙනුවක යෙදෙයි. මානවයා වර්ගීකරණය කොට ගැහැනු සහ පිරිමි ලෙස නම් කළ තැන පටන්ම එම නම්වල සහ ආවේණික සංකල්ප තුළ එල්ලී ලිංගික පාර්ශ්වයන් දෙක අතර යුද ප්‍රකාශ කොට තිබේ. ඉන් හටගත් මතවාද ශානරගතව ලෝකය තුළ මතවාදී ගැටුම් හටගෙන තිබේ.

මතවාදය ලොව විවිධත්වය නිර්මාණය කරයි. සෑම මිනිසෙක්ම ඔහු පමණක්ම නොවනවා සේම ලොව අසහාය සුවිශේෂී ප්‍රපංචයකි. හැම මිනිසකුටම වරක් පමණක් මුණ ගැසෙන වටිනාම අපූර්ව සන්ධිස්ථාන හමුවේ. එය එකිනෙකාගෙන් වෙන්වූ විශේෂිතයකි. ඔහු කුමන හෝ ආකාරයකින් මහ පොළොව මත ජීවත්වෙමින් ස්වභාවධර්මයේ අභිලාෂයන් සපුරයි; ජීවත් වෙයි. ජීවත්වීම පිණිසම අරගලයක යෙදෙයි.

ජීවත්වීමේ අරගලය දුෂ්කරය. එහෙත් එවැන්නෝ ධෛර්යවන්තව තම වෘත්තිය අභිමානයෙන් ඉටු කරති. එකිනෙකා වෙනුවෙන් වෘත්තිය ගෞරවය සමාජගත වන්නේ එය හඳුනාගත් පරිසරයක පමණි. එවැන්නක් සමාජ තලයක් තුළ ගොඩනැඟෙන්නට මිනිසා යනු කවරෙක්දැයි මිනිසා දැන හඳුනාගෙන සිටිය යුතුය. එහෙත් එලෙස මිනිසත් බව හඳුනන්නේ ස්වල්ප දෙනෙක් පමණි. ජාතියක් දියුණුයැයි සැලකෙන්නේ මෙම අවබෝධය මතය. බොහෝ මිනිස්සු ජීවත් වෙති. ඔහේ මිය ඇදෙති.

මිනිසා සමඟම ඔහු වටා ඇති සමාජය ව්‍යාකූලත්වයට පත්ව තිබේ. ලෝකය පවතින්නේ ඉතා තදින් කැලඹුණු ස්වභාවයෙනි. මිනිස් හිතේ කැමැත්ත අකමැත්ත තීරණය වන්නේද තීරණ වෙනස් වන්නේද මෙම කැලඹීමේ ප්‍රතිඵලයක් ලෙසය. මිනිසා උගත යුත්තේ කැලඹෙන ලෝකය තුළ මනස නිශ්චල කරගැනීමටය. සමාජයක් නිරූපණය කරන රිද්මය, එහි ස්වභාවය සහ වේගය, එම සමාජයේ ගති ලක්ෂණ මැනවින් නිරුපණය කරයි. මිනිසා නිර්මාණය කර ඇත්තේ එකිනෙකා තේරුම් ගැනීම පිණිසය. එහෙත් යමකුට යමක් අර්ථකථනය කළ හැක්කේ අවබෝධ කරගත් අංශුමාත්‍රීය සීමාව තුළ පමණි.

සමාජයේ සාමූහික පැවැත්ම සාමූහික වටිනාකම් ගොඩනඟයි. මිනිසාගේ පෞද්ගලිකත්වය නිර්මාණය කරන්නේ එම පැවැත්මය. මම යනු සමාජය විසින් මා යැයි පැවතීමට ඉඩ ලබා දී ඇති පුද්ගලයාය. මනුෂ්‍යත්වය ලැබීම දුර්ලභ කරුණක් වුවද මිනිසකු ලෙස ජීවිත කාලය ගත කිරීමට ප්‍රතිභානය අවශ්‍යමය. භාෂා සාහිත්‍ය උපයෝගී කොට විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ දැනුම ප්‍රගුණ කළ යුතුය. කලාවක් විඳින්නට, සෞන්දර්යාත්මකව යමක් දකින්නට, ඒ කෙරෙහි ආදරය කරන්නට, මිනිසකු නොදන්නේනම් ඔවුන්ගේ ජීවිතවල මනුෂ්‍ය ගුණාංග තිබේද යන්න විමසා බැලිය යුතුය. පශ්චාත් නූතන මිනිසා ජීවිතයේ විඥාණාත්මක විඳීම අත්හැර බොහෝ කල්ය. ඒ වෙනුවට ඔවුන්ට ඇත්තේ භෞතිකව විඳීමකි.

කලාව සහ එහි භාවිතය ශීඝ්‍ර ලෙස සෝදා පාළුවට ලක්ව ඇති සමාජයක අභිමානය කෙසේ විය හැකිද? ජාතියක ලස්සන නිර්මාණය වන්නේ කලාව භාවිතයේ හැකියාව මතය. මිනිසා යනු යුග යුග නිර්මිත කලාගාරයකි. කලාව කර්මාන්තයක් වී ඇති යුගයක ඉන් සමාජ විපර්යාසයන් සිදුව ඇත්තේ කෙසේද යන්න විමසිය යුතුය. සෝප් ඔපෙරාවේ සිට විවිධ ආඛ්‍යානයන් බිහිව ඇත්තේ කලාව අවබෝධ කරගැනීමේ හැකියාවන් වර්ධනය කිරීමට වඩා ඥානනය මොට කිරීමටය. ඇතැමකුට ගායනා කළ හැකිය. එහෙත් තමා ගායනා කළේ කුමක්ද යන්න අවබෝධ කරගත නොහැකිය. එබැවින් හැඟීම නිර්මාණයන්ට ඇතුළු වන්නේ අඩු ධාරිතාවෙනි. ශ්‍රාවකයන් සහ ප්‍රේක්ෂකයන් නොමැති සමාජයක අසන්නෝ සහ නරඹන්නෝ බහුතරයක් බිහිවී සිටිති. ඔවුහු උසස් කලා කෘතියක් ඇසුරු කිරීමේ භීතිකාවක පෙළෙති. සමාජයේ බහුතරය ඔවුන් බැවින් එය සමාජයේම භීතිකාවක් බවට පත්ව තිබේ.

සමාජය ඥානනය කිරීම යනු මතුපිට අරුතට වඩා යටිපෙළ තේරුම් ගැනීමට සැලැස්වීමය. යටි පෙළ දෘෂ්ටියක් සහිත සමාජය විසින් සමාජය තුළින්ම සොයා ගන්නා සත්‍යයක් තිබේ. එය නිර්මාණකරුවා ගොඩනඟන මිථ්‍යාවක් වුවද අවබෝධ කරගත යුතු සමාජ සත්‍යයකි. මිනිසුන් අතර ඉඳහිට බිහිවන කලාකරුවෙක් සමාජය ඥානනය කිරීම පිණිස වෙහෙසෙයි. ජීවත්වීමෙන් හෙම්බත් වූ ඕලාරික මිනිසා එවන් නිර්මාණයන්ගෙන් ජීවිතයට නව පණක් ලබා ගනියි. ඔහු සමාජයේ තාවකාලික පෙර ගමන්කරුවෙක් බවට පත්වෙයි. මතවාදයන් ගොඩනැඟෙන්නේ එවන් මිනිසුන්ගේ මැදිහත්වීම තුළය. ඔවුන්ගේ මතය සමාජයට නව දෘෂ්ටිවාදයකි. සමාජයට අවතීර්ණය වන මිනිසා මුළුමහත් සමාජය තුළින් දැනුම උකහා ගනියි. අඩක් පිරුණු මිනිසා සම්පුර්ණ වීමට නම් සමාජයෙන් යමක් ලබා ගත යුතුමය. එසේ ගනු ලබන්නේ අත්දැකීම්ය.

මිනිස් ජීවිතය යනු විවෘත ආඛ්‍යානයකි. එය කියවා අවසන් කළ නොහැකිය. ආපසු ගොස් අතීතය කියැවීමට උත්සාහ කළද කියවාගත නොහැකි අනාගතයක් හැමවිටම ඉතිරිව තිබේ. අතීත සිදුවීම් මඟින් තේරුම් ගැනීමට උත්සාහ කළද එළැඹෙන මොහොත වෙනස් මිනිසකු නිර්මාණය කරයි. එසේ වන්නේ සිතීමට සහ පරිකල්පනය කිරීමට ඔහුට හැකි බැවිනි. එම පරිකල්පනය අතීතයෙන් දැනගත් දේ සහ ඉදිරියට සිදුවන්නට ඇති දේ පිළිබඳ ආතතියක් නිර්මාණය කරයි. එම පරතරය මිනිසා ඥානනය වීමයි.

සංස්කෘතික කර්මාන්තය සමාජය පාලනය කිරීමට සහ මිනිසුන් හැඩ ගැස්වීම සඳහා බහුල ලෙස භාවිත වෙයි. එබැවින් සත්‍ය ගොඩනැඟිය යුතුය. ඒවාට අර්ථ සපයන්නේ ඉන් වින්දනය ලබන මිනිසුන්ය. මතුපිටින් නොපෙනෙන යටි අරුත් කියැවීමට මිනිසා හුරුපුරුදු වන්නේ එවන් නිර්මාණ නිතර භාවිත වන විටය; භාවිතය කතිකාවක් වන විටය. ඉන් මිනිසා ඥානනය වී සමාජය එය සාහිත්‍යයක් ලෙස තේරුම් ගන්නා විටය.

News Order: 
1
මාතෘකා